ලසන්ත මැරුවේ මමයි -එල්ලී මිය ගිය බුද්ධි අංශනිලධාරියා ගේ වගතුග

0
862


* පදිංචිය කෑගල්ල කරඬුපන

* වයස අවුරුදු 53
* දරුවන් තිදෙනයි

* බිරිඳ විදේශ රැකියාවක

 

“සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ මම. ඒ නිසා මගේ යාළුවා මලින්ද උදුලාගම වැරදිකාරයෙක්‌ නොවෙයි. එයාව නිදහස්‌ කරන්න” යනුවෙන් ලිපියක්‌ ලියා තැබූ යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික සාජන්ට්‌ මේජර්වරයකු කෑගල්ලේ පිහිටි සිය නිවෙසේ බාල්කයේ එල්ලී පෙරේදා (14 වැනිදා) පෙරවරුවේ අභිරහස්‌ අන්දමින් මියගොස්‌ ඇත.

මෙම සාජන්ට්‌ මේජර්වරයාගේ අභිරහස්‌ මරණයත් සමඟම ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්‍ෂණ කටයුතු නව මගකට යොමු වී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙහිදී මියගොස්‌ ඇත්තේ කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 52 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ සාජන්ට්‌ මේජර් ජයමාන්න නමැති අය බව හඳුනාගෙන ඇත.

මෙසේ මියගොස්‌ ඇති හිටපු බුද්ධි අංශ සාමාජිකයා තිදරු පියෙකි. ජයමාන්න මහතාගේ බිරිඳ විදේශ රැකියාවක නිරත වී සිටින අතර මොහු සිය දරුවන් තිදෙනා ද සමඟ කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ පිහිටි නිවෙසේ ජීවත් වී සිටියහ.

පෙරේදා (14 දා) පෙරවරුවේ ජයමාන්නගේ දෙවැනි පුත්‍රයා ක්‍රීඩා කටයුත්තකට විදේශගත වීමට නියමිතව සිටියේය. ජයමාන්න සිය දරුවා විදේශගත වීම සඳහා පාසල වෙත භාරදී නිවෙසට පැමිණ ඇත.

ඔහුගේ වැඩිමහල් දරුවා ද ඒ වන විට රැකියාවකට ගොස්‌ සිටි අතර බාල දරුවා පාසල් ගොස්‌ සිට ඇත.

පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ජයමාන්න නිවෙසේ බාල්කයේ එල්ලී ඇත්තේ පෙරේදා පෙරවරු 8.30 ට පමණය. ජයමාන්න නිවෙසේ එල්ලී සිටිනු මුලින්ම දැක ඇත්තේ නිවෙස ආසන්නයේ ත්‍රිරෝද රථයක්‌ එළවන තරුණයකු විසින්ය.

පසුව මේ බව කෑගල්ල පොලිසියට දැනුම් දීමට ත්‍රිරෝද රථ රියෑදුරු කටයුතු කර ඇත.

ඒ අනුව එහි පැමිණි පොලිසිය නිවෙසේ බාල්කයේ එල්ලී මියගොස්‌ සිටි ජයමාන්නගේ සිරුර සොයාගෙන තිබේ.

ජයමාන්න විසින් ලියා තැබූ බවට සැක කරන ලිපිය ද එම කාමරයේ මේසයක්‌ මත තිබී පොලිසිය සොයාගෙන ඇත.

ජයමාන්නගේ පුත්‍රයා මෙම ලිපිය පරීක්‍ෂා කර ඇති අතර එහි අත් අකුරු තම පියාගේ බවට ඔහු තහවුරු කළ බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම අභිරහස්‌ මරණය පිළිබඳව සෙවීමට කෑගල්ල පොලිසියේ විශේෂ කණ්‌ඩායම් දෙකක්‌ ඊයේ දහවල් සිට සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් විසින් බවට මොහු කර ඇති ප්‍රකාශය මහත් ආන්දොaලනයට ලක්‌වී ඇති අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළ බව ද කෑගල්ල පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

අභිරහස්‌ අන්දමින් මරුමුවට පත්ව ඇති ජයමාන්නගේ සිරුර කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පෙරේදා දහවල් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

 

හේමන්ත රන්දුණු සහ එම්. බී. පහළවත්ත

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY