එය භීෂණ සමයකි …. සරසවියේ සිටි නිසා අප අවට උදවිය සිටියේද භීතියකිනි
ඒ කිසිවක් අපට තැකීමක් නොවූයේ අප බොහෝ දෙනෙකුගේ හදවත් ගිනියම් වී තිබීම නිසා වන්නට ඇත
පැහැරගෙන යාම් , ඇඳිරි නීතිය , මළ කඳන් දෛනික අත් දැකීම් විය
ඒ අතරේ හදවත නවතින පණිවිඩයක් ලැබිණි

ප්‍රේමකීර්ති නම් වූ අහිංසක මිනිසා ඝාතණය කර ඇති බවයි
ඔහු වැනි දුප්පතෙකු , නිරහංකාර මිනිසෙකු , ඝාතණය කරන්නට හේතුවක් ඇති දැයි මම කල්පනා කලෙමි
අපේ රටේ නම් එකම හේතුව ඔහු සතුව කිසිවෙකුට ලඟා විය නොහැකි දක්ෂතා තිබීමයි

ගීතයක ගලා යා යුතු නිසග ලාලිත්‍යය ඔහු ලියූ වචන වල ගැබ් විය
එපමණක්ද නොව ඔහුගෙන් ලියැවුණු ගේය පද වල අපූරු භාෂාමය නිරුක්තීන් සැඟවී තිබිණි
සිංහල ගීත රචනා සාහිත්‍යයේ ඔහු සතු දැවැන්ත පා යුග්ම වල නිය රැස් දහරේ අවලංගු වූ කදෝකිමියන් ලෙස බොහෝ ගී පද රචකයන් පෙනේ

ඒවන් මිනිසෙකු කිසි දවසක යළි බිහිවෙතැයි සිතිය නොහැකිය
කවියක් ,ගීතයක් ලියන්නට හැකි බොහෝ දෙනෙක් අප අතර සිටිති ,
මෘදු ලෙස කථා කරන්නට හැකි අයද සිටිති
කෙනෙකුගේ දුකකදී සංවේදී වන හදවත් ඇත්තන්ද සිටිති
එහෙත් ඒ පින්වන්ත හැකියාවන් එකම මිනිසෙකු තුල පිහිටන්නේ කලාතුරකිනි

එවැනි ම්නිසෙකු මරා දැමීම වසර සිය ගණනක් සෙවන දුන් වනස්පති ශාකයක් කපා බිම හෙලීමක් බඳුය
වසර දහස් ගණනක් කාන්තාර බිමක් හරහා සා පිපාසා නිවමින් ගලා ගිය ගංගාවක් බැමි බැඳ හරස් කිරීමක් වැන්න
වසර ලක්ෂ ගණනක් එළිය දුන් තාරකාවක් පුපුරවා දැමීමක් වැන්න

ඉන් නිර්මාණය වූ දැවැන්ත කළු කුහරය අදටත් සිංහල ගී පද රචනා අවකාශය ගිල ගනිමින් පවතී
හරසුන් ගී සිංදු ඇසෙන වාරයක් පාසා , අරුත් සුන් නිවේදන හඬ තැලීම් ඇසෙන වාරයක් පාසා ….

ඒ අහිංසක මිනිසාගේ හර්දයන්ගම සිනහවද ,ආදරණීය වදන්ද පිටකළ මුවට ගිණිඅවිය ඇතුළු කර වෙඩි තබන්නට සැලසුම් කළ තිරිසනුන්ට සාප කරමි

නාරද විජයසුරිය

https://youtu.be/OUYdnoI25Rs

https://www.youtube.com/watch?v=OUYdnoI25Rs

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY