ඔස්‌ටේ්‍රලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මහජනතාව මුලාකර රුපියල් ලක්‌ෂ ගණනින් මුදල් ඉපැයු කාන්තාවක රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල වැඩබලන මහෙස්‌ත්‍රාත් ශ්‍යාමලී වෙදසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව මෙම මස 18 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලදී.

වල්ගම්පොත ප්‍රදේශයේ පිරිසකට මෙම කාන්තාවට හමුවී ඇත්තේ ශාන්ති කර්මයක්‌ සඳහා මින්නේරිය ප්‍රදේශයේ දේවාලයකට ගොස්‌ සිටියදීය. එහිදී මෙම පිරිස සමඟ වල්ගම්පොතට පැමිණි ඇය නිවසක නතර වී සිය මව වෛද්‍යවරියක්‌ ලෙස ඔස්‌ටේ්‍රලියාවේ රෝහලක්‌ පවත්වාගෙන යන බැව් නිවැසියන්ට පවසා තිබේ.

එසේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ ලොකු තාත්තා බවත් සීයා නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු බවත් පවසා ඇත.

ඒ අනුව කැමැති අයකුට ඔස්‌ටේ්‍රලියාවේ රැකියා ලබාදිය හැකි බව පවසා නිවැසියන්ගෙන් රුපියල් එක්‌ලක්‍ෂ පහළොස්‌ දහසක්‌ ද අසල්වැසි තරුණයකුගෙන් රුපියල් අටලක්‌ෂ හැටපන් දහසක්‌ද වංචාකාරි ලෙස ලබාගෙන තිබේ.

මෙසේ මුදල් උපයා ගනිමින් සිටි මෙම කාන්තාව පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ රුවන්වැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සියනම හසිනි සෙනාලි වික්‍රමසිංහ වග පවසා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි බවට ලිපිනයක්‌ද ලබාදී ඇත. ඒ අනුව පරීක්‌ෂණ පැවැත්වූ පොලිසිය එවැනි නමක්‌ හා ලිපිනයක්‌ නොමැති බව අනාවරණය කර ගෙන ඇත.

එහිදී පොලිසිය මගින් කාන්තාවගේ ඡායාරූපය හා තොරතුරු පොලිස්‌ විද්යුත් තැපෑල ඔස්‌සේ පොලිස්‌ ස්‌ථානවලට දැනුම් දීමෙන් පසු කොල්ලුපිටිය පොලිසියෙන් පැමිණි නිලධාරීන් පිරිසක්‌ ඇය මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් වරෙන්තු පිට සිටි තැනැත්තියක්‌ බව හඳුනාගෙන තිබේ.

බන්ධනාගාර නියාමකවරියන් විසින් ඇය පරීක්‌ෂා කරන ලදුව ඇයගේ රහස්‌ ප්‍රදේශයේ සඟවා ගෙන සිටි රුපියල් අට ලක්‌ෂ අසූ දහසක්‌ සොයා ගනු ලැබීය. එකී මුදල් අයිතිකරුවන් හට භාරදෙන තුරු බන්ධනාගාරය භාරයේ තබන ලෙසද මහෙස්‌ත්‍රාත්වරිය විසින් නියම කරනු ලැබුවාය.

රුවන්වැල්ල – විමලරත්න සමරක්‌කොඩි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY