මේ ආණ්‌ඩුවට ඕනෑම වැඩක්‌ කරගන්න බැරි වුණ ගමන් මතක්‌ වෙන්නේ රාජපක්‍ෂ නම පමණයි. මට මහරජාණෝ කියලා මිනිස්‌සු කියනවා කියා විවේචනය කරනවා.

මට මහ රජාණෝ කියන නම දැම්මේ හිටපු සෞඛ්‍ය ඇමැති වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. එසේ නැතිව මේක මම දාගත්තු නමක්‌ නොවෙයි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

බලන්ගොඩ මහවලතැන්න ශ්‍රී චන්ද්‍රසේකර මුදලින්දාරාම විහාරස්‌ථානයේ තෙමහල් සංඝාවාසයට ඊයේ  මුල්ගල් තැබීමෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

එහිදී පැමිණ සිටි ජනතාව ඇමතූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

ලෝකයේ ප්‍රථම අගමැතිතුමිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ගමට ඇවිත් එම විහාරස්‌ථානයේදී මෙම පිංකමට සහභාගි වීමට ලැබීම ගැන මට විශාල සතුටක්‌ තිබෙනවා. මැතිනිය මේ රටට කීර්තියක්‌ අත්කර දුන් විදේශීය ප්‍රතිපත්ති ක්‍රමවත්ව අනුගමනය කළ රාජ්‍ය නායිකාවක්‌.

ඇය කිසි විටෙක බටහිර ජාතීන්ගේ බලවේගවලට ගැති වුණේ නැහැ. අද අපේ රටේ වර්තමාන රාජ්‍ය නායකයා කටයුතු කරන ආකාරය ජනතාවට පීඩාකාරී බවින් යුක්‌තයි. ජාතිවාදයට අපිත් විරුද්ධයි.

නමුත් අද ජාතීන් අතර සංහිඳියාව ඇතිකරනවා යයි කියමින් රජය සිදු කරන්නේ සැමටම සමාන අයිතීන් රැකදෙන ක්‍රමයක්‌ නොවන බවයි වැටහෙන්නේ.

එසේම ජනතාව මත විශාල බදුබර පටවලා. මෙය පැල්පතට පවා දඩ ගහන යුගයක්‌. අධිරාජ්‍යවාදී පාලන සමයේ තිබුණු බලු බද්දත් දැන් ක්‍රියාත්මක වෙනවා. පසුගිය රජයේ හිටපු මැති ඇමැතිවරු මේ ආණ්‌ඩුවේ ඇමැතිකම් ලබාගෙන කතා කරන අයුරු අහන දකින විට මට හිතෙනවා කැබිනට්‌ එකේ ඉඳලා තියෙන්නේ මා විතරයි කියලා.

මේ ආණ්‌ඩුවට ඕනෑම වැඩක්‌ කරගන්න බැරිවුණ ගමන් මතක්‌ වෙන්නේ රාජපක්‍ෂ නම පමණයි. මහ රජාණෝ කියලා මිනිස්‌සු කියනවා කියා විවේචනය කරනවා. මට මහරජාණෝ කියන නම දැම්මේ මෛත්‍රිපාල සිරිසේන මහතායි. එසේ නොමැතිව මේක මම දාගත්තු නමක්‌ නොවෙයි.

අධ්‍යාපනයට, විශ්වවිද්‍යාලවලට සෞඛ්‍යයට ඇති පහසුකම් අඩුනොකරන ලෙස ජනතාව වෙනුවෙන් අපි රජයට බලකර සිටිනවා. වෙනසකට ඡන්දෙ දීපු අය කළේ ඉල්ලන කෑමක්‌. මොවුන්ට ඡන්දෙ නොදීපු අයටත් ඒක අද බලපෑවා. සතියේ වැඩකරන දිනයක්‌ වුවත් මෙම අවස්‌ථාවට විශාල පිරිසක්‌ සහභාගි වී සිටිනවා.

ගමේ පන්සලට අතීතයේ පටන් ජනතාව එක්‌වුණා. අද මේ ආගමික කටයුත්තට සහභාගීවීම ගැන සතුටුයි. ජනතාව වේදනාවට පත් කරමින් මේ රජය ගෙන යන වැඩපිළිවෙළ වහාම නතර විය යුතු බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

බලංගොඩ – එන්. එච්. පියසේන

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY