රත්මල්ගොඩ විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබන දිලිනි දිනේෂිකා ඒකනායක සිසුවිය පාසල් එද්දී වන ලැහැබක සැඟවී ඇයගේ හිසට පොල්ලකින් පහරදී ඇය බිම දමා ඇයට අනර්ථයක්‌ කිරීමට උත්සාහ දැරු පුද්ගලයකු පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොල්ගහවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක හේමන්ත මහතා පැවැසීය.

හිසට වැදුණු පහර නිසා තදබල ලෙස රෝගාතුර වූ සිසුවිය කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර කරමින් සිටියි.

ඊයේ 30 පෙරවරුවේ පොල්අබේගෙදර සිට පාසල වෙත එමින් සිටියදී කැලෑබද ප්‍රදේශයේදී සිසුවියගේ පිටු පසින් පැමිණි පුද්ගලයකු ඇයගේ හිසට මෙසේ පහරදී ඇත.

සිසුවියගේ හිසට පහර වැදීමත් සමඟම ඇය සිහිසුන්ව බිම වැටී ඇත. බිම වැටුණු සිසුවිය රැගෙන සැකකරු කැලෑවට යැමට සූදානම් වෙද්දී පිටුපසින් පැමිණි යතුරු පැදියකින් පැමිණි පාසලේ ගුරුවරියක්‌ කෑ ගසා සිසුවියට සිදුවීමට ගිය අතවරය මඟ හරවාගෙන ඇති බව පොලිසිය පවසයි.

පවුලේ තෙවැනි දරුවා වන ඇය පොල්ගහවෙල අධ්‍යාපන කොටසේ රත්මල්ගොඩ විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකි. මීට පෙර ඇය සමඟ දිනපතා පාසල් යැමට මිතුරියන් තිදෙනකු හිටියත් මෙදින ඇය පමණක්‌ පාසලට පැමිණ ඇත්තේ දින දෙකකින් පසු බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. මෙම සිදුවීම සැලසුම් සහගතව පළිගැනීමට කළ ක්‍රියාවක්‌ බවත් සිසුවියට පහර දුන් පුද්ගලයා ඉතා කඩිනමින් පොලිස්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කරන බවත් පොල්ගහවෙල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැවැසීය

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර – කුරුණෑගල

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY