හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්‍රං කිලෝවකට වැඩි ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

බොරලැස්‌ගමුව වැව පාරේ පිහිටි නිවසක සූක්‍ෂම ලෙස සඟවා තිබියදී මෙම රත්‍රං තොගය සොයාගෙන තිබේ. මෙම රත්‍රං තොගය ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව කිසිවක්‌ හෙළි නොකළ නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කටයුතු කර තිබිණි.

පසුගිය රජය සමයේ දී ප්‍රධාන ආයතන 3 ක සේවය කරමින් වැටුප් ලබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර සිටි මෙම සැකකරුට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගණනාවක්‌ සම්බන්ධයෙන්ද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණ සිදු කරගෙන යයි.

හිටපු ජනාධිපතිවරයාගේද ලේකම්වරයකු වන සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් රත්‍රං ග්‍රෑම් 1108 යි මිලිග්‍රෑම් 540 ක්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් පෙරේදා (26 දා) කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් අධිකරණය ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත අත්අඩංගුවට ගත් රන් භාණ්‌ඩ අතර රන් බිස්‌කට්‌ 7 ක්‌ සහ ස්‌වර්ණාභරන තිබූ බැව් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. අංක 472, වැව පාර, බොරලැස්‌ගමුව යන ස්‌ථානයේ පදිංචි හේවාබෝරුප්ගේ දීගමෙවන් චම්පික කරුණාරත්න යන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර හා මුදල් ඇප මත මුදාහැරීමට වැඩබලන මහෙස්‌ත්‍රාත් දීමනී බැද්දේවෙල මහත්මිය පෙරේදා (26 දා) නියෝග කළාය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY