කප්පම් ඉල්ලා පැහැර ගත් දරුවා දමා ගිහින්

0
5699

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක්‌ ලබාගැනීම සඳහා වාරියපොල ප්‍රදේශයේදී පැහැරගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ 20 හැවිරිදි පුත්‍රයා නිකවැරටිය ඔරලෝසු කණුව අසල දමාගොස්‌ සිටියදී ඊයේ (15 වැනිදා) අලුයම පොලිසියට හමුවී ඇත.

තරුණයා පැහැරගැනීම සඳහා පිරමීඩ ජාවාරමේ යෙදෙන හයදෙනකුගෙන් සමන්විත සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ සහභාගි වී ඇති අතර ඉන් සැකකරුවන් දෙදෙනකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මුස්‌ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වන 20 හැවිරිදි මොහොමඩ් ආෂික්‌ ඉකුත් 12 වැනිදා රාත්‍රි 8.20 ට පමණ සිය පාපැදියේ නැගී ඔවුන්ට අයත් වාරියපොල සිටි සෙන්ටර් නමැති තොගබඩු වෙළෙඳසලට යමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක්‌ විසින් ඔහු පැහැර ගෙන තිබිණි.

පසුව එදිනම රාත්‍රි එම තරුණයාගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ ජංගම දුරකථනයට කතා කර අදාළ කප්පම් මුදල ඉල්ලා තිබේ.

එසේ මුදල් ලබාදීමට නොහැකි වුවහොත් ආෂික්‌ මරා දමන බවට ද තර්ජනය කර තිබිණි. ඒ අනුව ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත්‍රයා නිවසේ තිබූ රන් ආභරණ සහ මුදල් රැගෙන වාරියපොල ප්‍රදේශයේ ස්‌ථාන කිහිපයකට ගොස්‌ තිබුණත් කප්පම්කරුවන් ඒවා ලබාගැනීමට පැමිණ තිබුණේ නැත.

අනතුරුව මෙම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු පැමිණිල්ලක්‌ මත වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

මෙහිදී පොලිසිය විසින් ව්‍යාපාරිකයා මාර්ගයෙන් දුරකථන හරහා කප්පම් මුදල ලක්‍ෂ 60 දක්‌වා අඩු කර එය ලබාගැනීමට පැමිණෙන ලෙස කප්පම්කරුවන්ගෙන් ඉල්ලා ඇත. කප්පම්කරුවන් එම මුදල ලක්‍ෂ 85 දක්‌වා වැඩි කර ඇතත් එම මුදල් ද ලබාගැනීමට නොපැමිණෙන බව පෙනී ගොස්‌ ඇත.

පොලිසිය ජංගම දුරකථන වාර්තා පරීක්‍ෂා කිරීමේදී වාරියපොල සිටම ඇමතුම් ලබාදෙන බව තහවුරු කරගෙන ඇත. තවදුරටත් විමර්ශන කළ පොලිසිය වාරියපොළ ප්‍රදේශයේ හයිබ්‍රිඩ් මෝටර් රථ හිමියන් ගැන සොයා බලා මෝටර් රථයක්‌ සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණයා පැහැර ගැනීමට ඔහු සම්බන්ධ බව තහවුරු කරගෙන තරුණයා රඳවාගෙන සිටි මහව ප්‍රදේශයේ නිවස වටලා ඇත. ඒ වන විට මෝටර් රථය සමඟ එක්‌ අයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් කොල්ලකරුවන් තරුණයා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස්‌ ඇත.

අනතුරුව පොලිසිය මෙම කප්පම් සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ නිවෙස්‌ සෝදිසි කර ඇත. තරුණයාට යම් අනතුරක්‌ සිදුකළහොත් සිංහල මුස්‌ලිම් අරගලයක්‌ ඇතිවිය හැකි බවට දන්වා වහා ඔහු නිදහස්‌ කරන ලෙස පොලිසිය ජංගම දුරකථන මාර්ගයෙන් කප්පම්කරුවන්ට දැනුම් දී ඇත.

ඒ අනුව කප්පම්කරුවන් විසින් තරුණයා නිකවැරටිය ඔරලෝසු කණුව අසල දමා ඔහුගේ දෙමාපියන්ට තරුණයා මුදාහළ ස්‌ථානය පිළිබඳව දුරකථනයෙන් දැනුම් දී ඇත.

පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කප්පම මෙහෙයවා ඇත්තේ විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකුගේ පුත්‍රයකු බව හෙළිකරගෙන තිබේ. සැකකරුවන් පිරමීඩ ජාවාරම් හරහා මුදල් උපයා එම මුදල් නොලැබීම නිසා කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා පැහැරගෙන කප්පම් ඉල්ලා ඇතැයි පොලිසිය පවසයි.

 

‘දවස්‌ දෙක තුනක්‌ම කෑමට දුන්නේ බිස්‌කට්‌ විතරයි’
කප්පම් කල්ලියෙන් ගැලවුණු ආෂික්‌  කියයි

තමා පැහැරගත් කප්පම් කල්ලිය දින දෙක තුනක්‌ම තමාට කෑමට දුන්නේ බිස්‌කට්‌ පමණක්‌ යෑයි රුපියල් කෝටි දෙකක්‌ ඉල්ලා කප්පම් කල්ලියක්‌ විසින් පැහැරගෙන ගිය වාරියපොල මොහොමඩ් ආෂික්‌ නමැති  තරුණයා  පැවැසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. එදා 12 වැනිදා රෑ මම කඩේ ඉඳලා ගෙදර යනකොට සුදුපාට කාර් එකක්‌ මා ළඟ නැවැත්තුවා. ඒ කාර් එකේ හිටපු අය මගේ බෙල්ලෙන් අල්ලා කාර් එකේ දාගෙන ගියා.

ඔවුන් මගේ අත් ගැට ගැසුවා. කට සහ දැස්‌ බැඳලා ගෙදරකට ගෙනත් දැම්මා. මම ඒ ගේ ගැන හරියට කියන්න දන්නේ නැහැ. පැය 1/2 ක්‌ විතර දුර ගියාට පස්‌සෙයි ඒ ගෙදරට ගෙනත් දැම්මේ. මට බිස්‌කට්‌ කන්න දුන්නා. වතුර බොන්න දුන්නා. එච්චරයි.

එයාලා මගෙන් ඇහුවා උඹලගේ තාත්තාට සල්ලි තියෙනවා නේද කියලා. මම කිව්වා එච්චර සල්ලි නැහැ කියලා. එයාලා ඒක විශ්වාස කළේ නැහැ.

උඹ බොරු කියනවා නේද කියලා මගේ කටට පහරක්‌ ගැහුවා. මගේ ජංගම දුරකථනය අරගෙන ඒගොල්ලෝ අපේ ගෙදරට කතා කෙරුවා. පුතා අපි ගාව ඉන්නේ අපි පස්‌සේ කතා කරමු කියලා ඔවුන් මුලින්ම කිව්වා. ඊට පස්‌සේ ගෙදරින් සල්ලි ඉල්ලලා තර්ජනය කළා.

අන්තිම දවසේ එයාලා කලබල වෙලා වගේ මාව තැනකට ගෙනල්ලා දාලා යන්න ගියා. ඊට පස්‌සේ මම තනියම ඉදිරියට ආවා. මගේ තාත්තා එතන හිටියා. පොලිසියේ මහත්වරුන්ට මම ගොඩාක්‌ ස්‌තූති කරනවා. පොලිසියේ නිලධාරීන් නැතිනම් මට මොනවා වෙයිද දන්නේ නැහැ.

හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා සහ  – නන්දනසිරි ශාන්ත කුමාර ‘නෝමන් පළිහවඩන

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY