කරවනැල්ල රුවන්වැල්ල අවිස්සාවේල්ල විදුලි ඉංජිනේරුවරුන් පවසන අන්දමට ආකාසයේ ‘අකුණු බෙල්ට්’ එක හැටන් සිට ම පහළටම වැටී ඇත්තේ සීතාවක ගම් පියෙස උඩිනි.

“අපට ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. එහෙත් රටේ වෙනත් ප්‍රදේශවලට වඩා වැඩි ප්‍රතිශතයකින් මේ පෙදෙස්වලට අකුණු පාත් වෙනවා. විශේෂයෙන් කඳු මුදුන්වල තිබෙන ගෙවල් අවදානමට දැඩිව හසුවෙනවා.” ඔවුහු එසේ කියති.

කෙසේ වෙතත් මේ පුංචි සමනලිය කවීෂා (12) අකුණු සරින් බිලිගත් දෙහිඕවිට පොල්පැරෝව ජනපදයට මීට වසර කීපයක සිට නිතර නිතර එල්ලවන අකුණු ගැසීමේ හේතුවෙන් එගම්වැසියන් දිවි ගෙවන්නේ දැඩි භීතියකිනි.

කවිෂාගේ පියා ප්‍රදේශයේ කුලී වැඩ කරන අහිංසකයෙකි. ඒ පියාට හා මවට කවීෂා හැර තවත් දරුවන් දෙදෙනෙකි. වැඩිමල් දුව කවීෂාය.

ප්‍රදේශයට නිතර නිතර අකුණු සර වැදීම නිසා ඉකුත් 2 දා කවීෂාගේ අම්මා තම දරු තිදෙනාට හා සැමියාට රාත්‍රී ආහාරය පිළියෙල කිරීම නතර කැර ඔවුන් සමඟ නිවසේ නිදන කාමරයේ ඇඳ මතට ගියේ ආරක්ෂිත ස්ථානයක් සොයමිනි.

යකඩ ඇඳක් නොව ලී ඇඳක් වූ මේ ඇඳ තමන්ට මහත් රැකවරණයක් බව ඕ සිතුවාය. කවීෂා සිටියේ ඇඳ අයිනේ ඊට සමාන්තරව බිත්තියට සවි කැර තිබූ විදුලි කණුවට කිට්ටුවය.

මහ අසනි වරුසාව වැටෙන්නාක් මෙන් දිගින් දිගට ම හෙණ හඬ තළමින් තුෂර පිනි කැට වැටෙන්නට විය. අහස් තලය පුරා ගොර බීරම් හඬ එක දිගට ම පැවැතියේ අකුණු එක දිගට පුපුරමිනි.

අනේ මගෙ දෙයියො, මට කිට්ටුවෙන්ඩ… ඒ අම්මා පුංචි එවුවන් එක පොදියට ගුලිකොට ගත්තේ මහ හඬට ඔවුන් සලිත වනු වැළැක්වීමටය. එහෙත් අවුරුදු 12ක කවිෂා පවුලේ ලොකු දුව සිටියේ ඊට මඳක් මෙහායින් ඇඳ උඩමය.

තවත් ගතවූයේ නිමේෂයකි. ගන අඳුර සතරවටින් ගලා විත් කවීෂාගේ නිවෙස කළුවර ගුලියක් ම කළේ ය. මහ හඬින් ‘ඩාං’ ගා අධික ශබ්දයක් නැඟිණ. මහ අකුණක් පුපුරා ගියා යැයි සිතමින් කුඩා දරුවන් හා ඒ අම්මා තම දෙකන් සිදුරු වසා ගත්තාය.

එහෙත් කවීෂාගේ කෙඳිරිල්ලත් සමඟ ම ඇ‍ගේ පපුව මැද්දෙන් ගිනි බෝලයක් මතුවීම අම්මා කෙනෙකු කෙසේ ඉවසා සිටින්නද? කනංගම පොල්පැරෝව ජනපදයට ම ඇසෙන්නට ඇය විලාප නැඟුවේ එනිසාය. මුළු මහත් අවිස්සාවේල්ලේම හදවත් මේ හඬින් තවත් බියපත් විය.

වගේ ඇස් ඉදිරිපිටම ඒ පාසල් දැරිය මෙලොව හැර ගියාය. ඇගේ හෘදය වස්තුව පැළී ගියේ යැයි දැන් නිගමනය වී ඇත්තේය.

කරවනැල්ල පොලිසියේ අපරාධ අංශයේ පෙරේරා මහතා ඒ පිළිබඳ අපට කීවේ මෙහෙමය.

මේ ගේ පිහිටලා තියෙන්නෙ තරමක කඳු වැටියක් උඩ. බිම ඉඳන් බැලුවා ම කිලෝ මීටර 3/4 කට වැඩියි කන්ද. ඇඳට සමාන්තරව පිහිටි විදුලි පේනුවෙන් ගිනි පුළිඟු වීසිවෙලා තියෙනවා හෙණ පුපුරන හඬට.

ඊට අමතරව ගෙදර විදුලි උපකරණ විනාශ වෙලා තිබුණා. රේඩියෝ, රූපවාහිනී වගේ ඒවා. මං සොයා බැලුවා ඇය ආරක්ෂාවට ලැග උන් ඇඳ යකඩ එකක්ද කියලා. නෑ. ඒක ලී ඇඳක්. මේ දැරිවිගේ තාත්තා කුලීවැඩ කරන්නෙ. අහිංසක ළමයින් 3 දෙනෙක් හිටපු සාමකාමී පවුලක්. මියගිය කවීෂා පවුලෙ වැඩිමලා. 7 වසරේ ඉගෙන ගනිමින් හිටියෙ.

ගිනි බෝලයක් ඇගේ පපුව ඇතුළෙන් මතුවෙලා බිමට බැහැලා ගෙදර පිටුපස්සෙ කොටසක් කඩාගෙන එළියට ගිහින්. අකුණු ගැන කෙතරම් පැහැදිලි කිරීම් කළත් ජනතාව ඒවා පිළිපදින්නෙ නෑ. ඒත් මෙතැන මේ අය ආරක්ෂිත තැනකට ගියේ.

එහෙත් විදුලි පේනුව ක්‍රියාත්මකයි. ගෙදර විදුලි ස්විච නිසි පරිදි වහලා තිබුණාදැයි අපි පරීක්ෂණ පවත්වනවා. මේක බොහොම කනගාටුදායක මරණයක්. මේ අහිංසක දරුවා ඇඳට ගියේ තමන්ගෙ ආරක්ෂාව හොයාගෙන. ඒත් එයාට යන්න වුණේ මරුවාත් එක්ක.

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොල්පැරෝව ජනපදයට ආසන්නයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ඇති අතර, ප්‍රදේශයට නිතර නිතර අකුණු සර වැදීමට මෙම විදුලි රැහැන් පද්ධතියේ යම් බලපෑමක් ඇති බව මෙපෙදෙසේ ගැමියෝ විශ්වාස කරති.

එහෙත් සීතාවක කර්මාන්ත පුරය ළඟ ඇති විශාල ප්‍රමාණයේ කණු පිහිටියේ මේ ගම්වලට තරමක් ඈතිනි. ඒ ගැනනම් ඔවුන් මවන සැක සංකාවල පදනමක් නැත.

පොල්පැරෝව ජනපදයේ පදිංචි කේ.ඒ. ලයනල් සුමනරත්න මෙසේ කියයි.

කවීෂා දුව අකුණුසර වදින අවස්ථාවෙ හිටියෙ ඇඳ උඩ. එච්චර ආරක්ෂිත ස්ථානයක සිටි අයකුට අකුණු සර වැදුණා කියන්නේ ඉතාමත් භයානක තත්ත්වයක්. මේ ගම්මානයේ පදිංචි පුද්ගලයන්ගේ ජීවිත දැන් දැඩි අනතුරුදායක තැනකට පත්වෙලා. මේ අකුණු සර වැදීම හේතුවෙන් මීට පෙරත් ගමේ කාන්තාවක් මිය ගියා.

ඒ වගේ ම විටින් විට ඇතිවන අකුණු ගැසීම් නිසා ප්‍රදේශයේ නිවෙස්වල විදුලි උපකරණ රාශියක් විනාශ වෙලා තියෙනවා. අපි දැන් මේ ගම්මානයේ නිවාස හදලා ඔක්කොම ඉවරයි. අපට යන්න වෙනත් තැනක් නෑ. එනිසා බලධාරින්ගෙන් ඉල්ලන්නේ ජීවිත හා දේපළවල ආරක්ෂාව සඳහා අකුණු සන්නායක පද්ධතියක් ප්‍රදේශයේ සවිකරන ලෙසයි.

මීට පෙර අවුරුදු 3 – 4 කට පෙරදි එක්තරා ජාතික පුවත්පතක වාර්තාකරුවකු අඟුරුවැල්ල (මේ පෙදෙසට කිට්ටු) නම් ගමේ ගෙයක් අකුණු සරින් අඟුරු වූ හැටි ලියූ සටහනක් ද මට මතකය.

මේ මිනිසුන් අහිංසකය. අව්‍යාජය. ජීවත්වීම සඳහා මහත් අරගලයක් කරති. මේ දැරිය‍ගේ පියා දීප්ති ‍සොයා ගැනීමට වෙහෙස ගත්ත ද ඔහු කතාවට සම්බන්ධ කැර ගැනීම දුෂ්කර විය. මව තවමත් ඉන්නේ හැඬූ කඳුළින.

ජනශ්‍රැතියේ සඳහන් අන්දමට අකුණුවලට මහ වැස්සට අධිපති අරුච්චන නම් දෙවිඳුනි! ඇයි මෙතරම් හනිකට සුවඳැති මල් පරකරවන්නේ යැයි ඇසිය යුතුය. පොල්පැරෝව ජනපදයේ අහිංසක දැරියන් අතර ඇය මිනිස්කමේ ප්‍රතිමූර්තියක් බව බොහෝ දෙනා කීහ.

උපාලි සමරසිංහ

 

ekala

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY