ප්‍රේමදාස ඝාතකයා බාබු කොළඹට ආ හැටි

0
5060

හිටපු විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොට්‌ටු අම්මාන් පිඹුරුපත් සැකසීම අරඹන්නේ බස්‌නාහිර පළාතේ සිටින කොටි බුද්ධි අංශයේ අයවලුන් ලවා ජනපති ප්‍රේමදාස මහතා ගේ සම්පූර්ණ තොරතුරු ඇතුලත් වාර්තාවක්‌ ලබා ගැනීමෙන් අනතුරුවය.

එහි දෙවන පියවර ලෙස පොට්‌ටු අම්මාන් විසින් ප්‍රේමදාස මහතා ගේ ලඟම අතවැසියා ලෙස කටයුතු කළ ඊ. එම්. පී. මොහිදීන් පිළිබඳවද වාර්තාවක්‌ ලබා ගත්තේය


පොට්‌ටු අම්මාන්ගේ නග්න වියරු සිනාව තුළ ඇත්තේ තම නායකයා ගේ නියෝගය ඉටුකිරීම සඳහා සුදුසු වටපිටාවක්‌ ගොඩ නැගීමට මෙම වාර්තාවේ ඇති කරුණු ප්‍රමාණවත් බවට ඉඟියක්‌ යයි ළඟ සිටින අවශේශ කොටි ඝාතකයින්ටද වැටහිණි.

මේ වන විට රට පුරාම ගෙවෙමින් පවතින්නේ කොයි මොහොතක කුමක්‌ සිදුවේද යන්න සිතා ගත නොහැකි ඉතා අවදානම් මෙන්ම ගුප්තබව පිරි අවිනිශ්චිත කාල පරිච්ඡේදයකි. ඒ කෙසේ වෙතත් ජනපතිවරයා හමුවීම පිනිස සුවරිතයට එන ඕනෑම තරාතිරමක අයෙක්‌ මුලින්ම මොහිදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට මුහුන දියයුතු අතර මොහිදීන් ගේ අණසක සුරිතය පුරා පැතිර පැවතුනේය. එහි උණුසුම කෙසෙල්වත්තටද දැනිණි.
මොහිදීන්ගේ යම් යම් ක්‍රියාකළාපයන් පිළිබඳ සමහර දේශපාලකයන්ටද, ආරක්‌ෂක අංශවල ඉහළ පෙලේ සමහර අයටද බරපතළ ගැටළු තිබුණත් ඊට එරෙහිව කිසිම පියවරක්‌ ගැනීමට ඔවුන් ඉදිරිපත් නොවන්නේ මොහිදීන්ට තිබූ හෝ තිබෙන බවට රඟපාන මහා බලය හමුවේ තමන් ගන්නා ක්‍රියාමාර්ගය පාරාවලල්ලක්‌වී තමන්ටම ආපසු ඒදොaයි යන සැකය මතය..

ජනාධිපතිවරයා ගැනීමට නියමිත ආහාර වේලෙන් කොටසක්‌ ජනපතිවරයාට පෙර මොහිදීන් විසින් කා දමන්නේ රස බැලීමට වඩා එම ආහාරවලට යම් වසක්‌ විසක්‌ කළවම්වී ඇද්දැයි සොයා බැලීම පිනිසය.. එය ප්‍රසිද්ධ රහසකි..

ඒ පිළිබඳව නොදන්නා කෙනෙක්‌ සිටියානම් ඒ ජනපතිවරයාට, කෙසෙල්වත්තට, සුචරිතයට හෝ ආණ්‌ඩුවට සම්බන්ධ කෙනෙක්‌ නොවියුතුය. එසේම මේ බව කිළිනොච්චි මහ කැලේ රහස්‌ බංකරයක සිටින කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ද දැන සිටියේය..

ප්‍රේමදාස මහතාගේ සියලු වැඩ කටයුතු පිළිබඳ හොඳින්ම දත් මොහිදීන් කිසිවිටෙකත් තමන්ගේ දුශ්චරිත වැඩ, ජනපතිවරයාට දැනගැනීමට ඉඩ තැබුවේ නැත.

කාලය මෙසේ ගතවෙමින් පැවතියදී එක්‌දිනක රාත්‍රියේ මොහිදීන් මත්පැන් බී සුචරිතයට යන්නේ ජනපතිවරයා කිසියම් වැදගත් වැඩක යෙදී ඇති බව හොඳින්ම දැනගෙනය. එහෙත් අවාසනාවට මොහිදීන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ජනපතිවරයා මූනටම මුනගැසිණි.

මත්පැන් නුරුස්‌සන ප්‍රේමදාස මහතාට තමාගේ පෞද්ගලික සහායකයා දැඩිලෙස මත්පැන්බී සිටිනු දැකීමෙන් ආ කෝපය තරම් කෝපයක්‌ ඒ වකවානුවේ ලඟපාත දිනකදීනම් පැමිණ තිබුනේ නැත. ඉන්පසු සිදුවූදේ…………? හොඳින්ම දන්නේ මොහිදීන්ම පමණි.

ප්‍රේමදාස ජනපතිවරයාට මොහිදීන් කරන සේවය නිසාම නොවන්නට මොහිදීන්ට සුචරිතයට, කෙසෙල්වත්තට තබා පිටකොටුවටවත් පය තබන්නට ප්‍රේමදාස මහතා ඉඩ තබන්නේ නැත. එසේ වුණානම් සමහරවිට ජනාධිපති ප්‍රේමදාස මහතාත් තවත් විශාල පිරිසකුත් මොහිදීනුත් අදත් ජීවත්වීමට ඉඩතිබිණි.

තමන්ට කරන සේවය ගැන සළකා ප්‍රේමදාස ජනපතිවරයා මොහිදීන්ට සමාවක්‌ සහ දඬුවමක්‌ ලබාදෙන ලදී.. සමාව නම් නැවත තමන්ට අදාළ වෘත්තියේ යෙදීමට ඉඩ ලබා දීමයි.. දඬුවම නම් මොහිදීන්ගේ වැටුප මොහිදීන්ට නොදී බිරිඳට ලබා දීමයි.. එහිදී ඇයට අවවාද කරන ජනපතිවරයා මොනම හේතුවක්‌ නිසාවත් මොහිදීන් අතට මුදල් දීම නොකළයුතු බවට නියෝගයක්‌ද පනවන ලදී..

මේ සිදුවීම කොළඹ සිටින එල්ටීටීඊ රහස්‌ ඔත්තු සේවා විසින් පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ කොටි ඝාතන කණ්‌ඩායමට වාර්තා කරනු ලබන්නේ ඉතාම කෙටි කාලයකිනි. මේවනවිට ඉතාම රහසිගතව තම ඔත්තුසේවා ජාලය මුලු කොළඹම ආවරණය වෙන පරිදි පුළුල් කිරීමට එල්ටීටීඊ සංවිධානය සමත්ව සිටියේය.. ඔවුන්ගේ විශේෂ කාර්යය වූයේ මොහිදීන් ඇතුළු ජනාධිපති ප්‍රේමදාස මහතාට සම්බන්ධ උදවියගේ තොරතුරු සොයා බැලීමත් ඉහළට වාර්තා කිරීමත්ය.

මේ අතර මොහිදීන්ගේ ආදායම් තත්ත්වය ඉනාම දුර්වලවෙමින් පැවතිණි.. ඉස්‌තරම් වර්ගයේ මත්පැන් බීමටත් තමන් කැමති සුරූපිණියන් ඇසුරටත් අත්‍යාවශ්‍ය සාධකය වූ මුදල් හිඟවීම පිළිබඳ මොහිදීන් සිටියේ දැඩි කණස්‌සල්ලෙනි.

තමන්ට ඇති බළය හමුවේ රටේ දළකාරයන්ගෙන් ඕනෑම දෙයක්‌ ළඟට ගෙන්වා ගැනීමේ හැකියාවක්‌ තිබුණත් එවැනි දෙයක්‌ කිරීමට මොහිදීන් බියවූවේ ජනපතිවරයා දැනගතහොත් ඇතිවන ප්‍රථිපළය අනිත් අයට වඩා හොඳින්ම තමන්ම දන්නා නිසාවෙනි.

කෙසෙල්වත්තේ ඩයස්‌ පෙදෙසේ තමන්ට හිතවත් මෙන්ම තමන්ගෙන් උදව් ලබා ගන්නා විවිධ තරාතිරමේ අය සිටියත් ඔවුන්ගෙන් ඉතාම පරෙස්‌සමෙන් තෝරා බේරාගත් කිහිප දෙනකුගෙන් පමණක්‌ ඉතාම කළාතුරකින් මත් පැන් බොන මොහිදීන් එදිනට සුචරිතයට නොගිහින් රාත්‍රිය කෙසෙල්වත්තේ තම නිවසේම ගතකර පසුදින හිමිදිරියේම සුචරිතයට යන්නේ කිසිවක්‌ නොදන්නා අයකු මෙනි.

ඩයස්‌පෙදෙසේ එක්‌තරා ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන අයෙකු සමග මොහිදීන් වැඩි ඇයිහොඳයියක්‌ පවත්වා ගන්නේ ඔහු “එළකිරි පොරක්‌” ලෙස තමන්ට හිතෙන සහ දැනෙන නිසාය. (මෙම සාමාන්‍ය ව්‍යාපාරයේ හිමිකරු ප්‍රධාන නමට වඩා ප්‍රසිද්ධ අන්වර්ථ නාමයෙනි. මෙතැන් සිට අප ඔහු සරත් ලෙස හඳුන්වමු) සරත්ට මෙම සිල්ලර කඩේ තම පිය උරුමයෙන් ලැබී තිබුණු අතර එය එතරම් විශාල ආදායමක්‌ නැති කඩයකි.

අවස්‌ථාවක්‌ ලද වහාම සරත් සොයායන මොහිදීන්ට ඉතාම සතුටින් තමන්ට හැකි උපරිමයෙන් සැළකීම සරත් කරන්නේ මොහිදීන්ගෙන් තමන්ට ඕනෑම උදව්වක්‌ ලබා ගැනීමට හැකියාව පවතින බව දන්නා නිසාවෙනි..

සරත් ගේ කඩේ නිතරම සේවක පුරප්පාඩුවක්‌ ඇත. පැමිනෙන සේවකයන් මෙම කඩේ වැඩිකළක්‌ රැඳෙන්නේ නැත.

පඩි ප්‍රශ්න සහ වැඩ වැඩිකම නිසා එන එන සේවකයා ඉක්‌මනින්ම රැකියාව අතහැර යති. කඩේට එන සමහර පාරිභෝගිකයෝ ඇසිපිය ගහන ඇසිල්ලෙන් අතට අසුවූ යමක්‌ අරගෙන මාරුවීමේ ප්‍රවනතාවයද රටේ හැමතැනකම මෙන් ඩයස්‌ පෙදෙසේ සරත්ගේ කඩේද පැවතිණි. එනිසාත් වැඩ තනිවම කරගැනීමේ අපහසුතාවය නිසාත් අඩියක්‌ ගසා නිදහසේ සිටීමට විවේකයක්‌ නැතිකමත් නිසාත් සේවකයකු ගේ දැඩි අවශ්‍යතාවක්‌ද සරත්ට තිබිණි.

මේ සරත්ගේ කඩේ පවතින සාමාන්‍ය තත්ත්වයයි…

එල්ටීටීඊ සංවිධානයේ නායකයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීමේ භාරධූර කරතව්‍යයේ නියෑලී සිටින පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ ඝාතක කණ්‌ඩායම කොළඹින් එන සියලු වාර්තා අකුරක්‌ නෑර නිරීක්‌ෂණාත්මක විමර්ශණයකට ලක්‌කරන අතර මොහිදීන් සම්බන්ධ නවතම තොරතුරුවල සඳහන් කාරණා පිළිබඳ වැඩි සැළකිල්ලක්‌ දක්‌වමින් කටයුතු කරන්නට විය.. මොහිදීන් අරක්‌කු බීමටත්, වෙන වෙන උවමනාවන් සඳහා ඉඩලද හැම රාත්‍රියකදීම සරත්ගේ කඩේට රිංගන බවත්, සරත්ගේ කඩේ සේවක හිඟයක්‌ පවතින බවත් එල්ටීටී අපරාධ බුද්ධි අංශය මොහිදීන් සම්බන්ධ නවතම තොරතුරුවල වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

තවත් සති කිහිපයකදී පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ ඝාතක කණ්‌ඩායම අදියර පහක්‌ ලෙස සැළකිය හැකි ඝාතන සැළැස්‌ම නිර්මාණය කර තම නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙත බාරදී එකත්පස්‌ව සිටියේය.. බොහෝ සතුටට පත් ප්‍රභාකරන් ඔවුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක්‌ද පවත්වා සියලු අපරාධ (සැලැස්‌ම) සාර්ථක වේවා යයිද ප්‍රාර්ථනා කළේය..

තවත් කෙටි, එමෙන්ම අවිනිශ්චිත කාලපරිච්ඡේදයක්‌ ගෙවෙමින් පැවතිණි.. රටේ හතරවටේම භීෂණය උත්සන්නව පැවති යුගයකි. මරණය ඉතාම ලාබ අවධියකි. බාගෙට පිළිස්‌සුණු තරුණ මළමිණී පාර තොටේ බල්ලන් සහ කබරගොයික්‌ කාදමමින් තිබූ කාලයකි…

ඒ ආසන්න දිනක උදේ දහය පමණ වනවිට වයස 22, 23 පමණ යයි සිතිය හැකි ප්‍රියමනාප මෙන්ම අහින්සක පෙනුමකින් යුතු තරුණයෙක්‌ වටපිට බලමින් සාමාන්‍ය ගමනකින් පැමිණ ඩයස්‌ පෙදෙසේ සරත්ගේ කඩේ ඉදිරිපිට හිට ගත්තේය. ඔහු දිගු කලිසමකින් සහ නවන ලද අත් සහිත ලා පැහැති කමීසයකින් සැරසී සිටියේය. හම් පටි සහිත මදක්‌ පරණ සෙරෙප්පු දෙකක්‌ද ඉස්‌තරම් වර්ගයේ නොවන පරණ බෑගයක්‌ද ඔහු සන්තකයේ පෙනෙන්නට තිබිණි..

ඔහු තම සාක්‌කුවට අත දමා සිල්ලර කාසි කීපයක්‌ ගෙන කඩේට ගොඩවී “මහත්තයා මට පාන් කාලක්‌ දෙන්න” යයි කැඩුණු සිංහල භාෂාවෙන් ඉල්ලීමක්‌ කලේය.. කාසි කිSපය ගණන්කර ලාච්චුවට දැමූ සරත් මුදලාලි ඔහුගේ ඉල්ලීම ඉටු කළේය..

ඉන් අනතුරුව සරත්ට පෙණුනේ කඩේ දොරටුව අසළ පසෙකටවී ඉතා ගිජුලෙස අමුවෙන්ම පාන් කාල කාදමන අර අහින්සක පෙනුමැති තරුණයාගේ දර්ශණයයි… එය කොළඹට ඉතා සාමාන්‍ය දර්ශණයකි.

පාන් කෑමෙන් අනතුරුව පිටකොටුව පැත්තට පිටව ගිය තරුණයා නැවතත් සවස 2 පමණ වන විට සරත් ගේ කඩේට පැමිණ පාන් තිෙබිදැයි විමසීය..

“පාන් ඉවරයි..” පැවසූ සරත් මුදලාලි තරුණයාගේ හිසේ සිට දෙපතුළ දක්‌වා බැල්මක්‌ හෙළිය..

තමුසෙ උදෙත් ආවනේද..?

“ඔව් මහත්තයා.. මම මේ රස්‌සාවක්‌ හොයනවා.. පුලුවන්නම් මට මේ කඩේ රස්‌සාවක්‌ දෙන්නකෝ.. මම කියන ඕන වැඩක්‌ කරලා දෙන්නම්…”

හදිසියේම තමන්ගෙන් මේ තරුණ හාදයා කළ ඉල්ලීමට කුමක්‌ කියනවාදැයි සරත්ට සිතා ගැනීමට නොහැකිවිය..

“කොහේ තියෙන රස්‌සාවල්ද ඕයි.. තමුසෙට රස්‌සාවක්‌ දෙන්න තියා මටත් මේකෙන් හරි ආදායමක්‌ නැතිවයි ඉන්නේ…

“නොහේද තමුසෙගෙ ගම… මොකක්‌ද තමුසෙගෙ නම…”

” මගේ ගම යාපනේ ගුරුනගර්වල.. මගේ නම කුමාර් කුලසිංහම් වීරකුමාර්.. මට බාබු කියලත් කියනවා…

 

අමරසිංහ මාලගේ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY