පාර්ලිමේන්තුවේදී ගහන කොට block කරන්නේ මෙහෙමයි .තෙවරප්පෙරුම

0
2192

පාර්ලිමේන්තුවේ කටයුතු අවහිර කරමින් නැවත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැසිරුණ හොත් තමන්ට පාර්ලිමේන්තු ගැටුමේ ගත් ක්‍රියාමාර්ගය නැවතත් ගැනීමට සිදු වන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසයි.

අඟහරුවාදා පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම පිළිබඳව කළ පාර්ලිමේන්තු පරීක්ෂණ වාර්තාව මුල් කර ගෙන තමාට ලබා දී ඇති සතියක පාර්ලිමේන්තු තහනම ගැන බිබිසි සමග සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

‘මගේ අතින් වරදක් වුනේ නැහැ. බොහොම හොඳ දෙයක් වුනේ, මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට හිරිහැර කරන එක නවතින්නේ නැත්නම්, හරියන්නේ නැත්නම් හෙට දවසෙත් මේ ගත්ත ක්‍රියාමාර්ගය ගන්නවා’ ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ ජනතා ගැටළු ගැන සිදුවන සාකච්ඡා වළක්වමින් දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කටයුතු අවහිර කරන බව චෝදනා කරන පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ගැට‍ළුව විසඳනවා නම් ඒ සදහා තම මන්ත්‍රී ධුරයද පුජා කිරීමට සුදානම් බවයි පැවසුවේ.

‘මම ගැහුවේ නැහැ. හැබැයි මම ගැහුවයි කියල පිළිගන්නම්කෝ, අපිව පත්කරන්නේ දිස්ත්‍රික්කේ ජනතාව. පාර්ලිමේන්තු ඇවිල්ල ඒගොල්ලොන්ගේ ප්‍රශ්න විසඳන්න, මේ බාධා කරන ක්‍රමය නවත්වන්න ඕනේ’

‘ ඒ තරමට අශෝභන ලෙස මේ ගොල්ලෝ හැසිරෙන්නේ, උඩ ගැලරියේ ඉන්නවා ළමයි, හැමදාම මේක අපිට දරාගන්න බැහැ, පාර්ලිමේන්තුවේ අයිතිය එහෙම කාටවත් ගන්න බැහැ’ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

‘ආත්මාරක්ෂාව’

පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම තමා නිසා සිදුවූ එකක් බවට එල්ල වෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා තමා එහිදී ආත්මාරක්ෂාව පතා කටයුතු කල බවයි පැවසුවේ.

‘ඔවුන් අපේ පැත්තට ඇවිල්ලා කෑගහන නිසා ෆොන්සේකා මහත්තයාට ප්‍රශ්නයක් වෙයි කියලයි මම පල්ලෙහාට ආවේ, එතකොට ප්‍රසන්න රණවිර මන්ත්‍රීවරයා ඉතාම අශෝබන ලෙස හැසිරුනා, මම ඇහුවා මර්වින් සිල්වගෙන්ද ඉගෙන ගත්තේ කියලා. මේක ඇහුවම ඔහු මට ගහන්න ආව’

‘ගහ ගන්න දෙයක් නෙවෙයි ඇහුවේ, මගේ ඇඟේත් සටන් කාමිත්වය තියෙනවා, ඒ වෙලාවට මේක පාර්ලිමේන්තුව ද කොහෙද කියල මතක් වෙන්නේ නැහැ, පහරෙන් බේරීමයි අරමුණ, අපිට ගුටිකන්න බැහැ’ ඔහු පැවසීය.

තමන් ආත්මාරක්ෂාව සඳහා අත ඉහලට එසවීම පහර දීමක් හැටියට පෙනෙන්නට හැකි බවයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා, තමන් එම ස්ථානයේ කල දේ නැවත නිරූපනය කරමින් පැවසුවේ.

‘මම මෙහෙම කරලා බ්ලොක් කළා, බ්ලොක් කරන ක්‍රමයක් තියෙනවා, මෙහෙම බ්ලොක් කළොත් ඔයාට පෙනෙන්නේ ගහනවා වගේ ‘

‘මම බ්ලොක් කරලා එයාගේ මුණ පිළිගන්න හදන කොට අපේ ඇමතිතුමන්ලා මගේ ඇඟේ එල්ලිලා මාව අරගෙන ගියා, ඒ පාර වැදුනනම් ප්‍රසන්නට කතා කරන්න වෙන්නේ නහයෙන්’

‘හරි දේ හොඳින් හෝ නරකින් කිරීම’ තම ප්‍රතිපත්තිය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම තමන් සැමවිටම පෙනී සිට තිබෙන්නේ සමාජ සාධාරණත්වය සඳහා බවයි පැවසුවේ.

bbc/hiru

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY