සොයා දියව් මට සරණක් – දැනෙන්න ගැයූ භාෂි

0
3637

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක වෙනසක් ඇති කළ කලාවක් ලෙස රියැලිටි වැඩසටහන් හැඳින්විය හැකිය. මෙම රියැලිටි වැඩසටහන් හරහා බො‍හෝවිට දක්ෂ තරුණ ගායික ගායිකාවෝ රැසක් අපගේ සංගීත ලෝකයට බිහි වූහ. මීට අවුරුදු කිහිපයකට පෙර ආරම්භ වූ රියැලිටි වැඩසටහන් අදියරෙන් අදියරයට දීර්ඝ වෙමින් තවමත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් විකාශය වෙයි.

ඒ අතුරින් Sirasa Super Star Season 7 මේ දිනවල විකාශය වන අතර එය මේ වන විට අවසන් 8 දෙනාගේ වටය දක්වා පැමිණ ඇත. මෙම අවසන් 8 දෙනා අතර සිටින එකම කාන්තා නියෝජනය වන්නේ භාෂි මධුභාෂිණීයි. ඇය මෙම තරගය පුරාවටම කතාබහට ලක්වූ තරගකාරියකි.

*  භාෂි, කොහොමද සුපර් ස්ටාර් තරගයට ලැබෙන ප්‍රතිචාර?

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ ගම උඩුගම්පොළ. උඩුගම්පොළ ජනතාවගෙන් වගේම මුළු රටේම ජනතාවගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් දෙනා කතා කරලා මට සුබ පතනවා‍. ගම්පහ ජනතාවගෙනුත් සමස්ත දිවයිනෙනුත් මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්.

*  සුපර් ස්ටාර් හරහා ප්‍රේක්ෂක ජනතාව අතරට පැමිණි ඔබේ සංගීත දිවිය ඇරැඹුණු හැටි කියමු?

පොඩි කාලේ ඉඳලාම මම සංගීතය ඉගෙනගත්තා. මගේ පාසල ගම්පහ සිරි කුරුස විද්‍යාලය. පාසලේ විෂයක් විදියට සංගීතය හැදෑරුවා. සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළටත් සංගිතය කළා. පාසල් කාලයේදීම විශාරද උපාධිය ලබා ගැනිමට මට හැකි වුණා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංගීත විශේෂ උපාධිය ලබාගත්තා. සංගීතයෙන් ශාස්ත්‍රපති පශ්චාත් උපාධියන් කැලණිය සරසවියෙන් ලබාගත්තා.

*  ඔබ වෘත්තියෙන් ගුරුවරියක් නේද?

ඔව්. මම ගම්පහ කැප්පොටිපොළ මධ්‍ය මහ විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. මම පාසලේ උගන්වන්නේ නාට්‍ය හා රංග කලාව විෂයයි.

 

*  වෘත්තියක් සමඟ සංගීත කටයුතු සමබරව කරගෙන යාම අපහසු ඇති නේද?

ගොඩාක් අමාරුවෙන් තමයි මේ දෙකම සමබරව කරගෙන යන්නේ. මට මේ වෙද්දිම සංගීත ප්‍රසංගවලට විශාල ලෙස ආරාධනා ලැබෙනවා. සංගීත කටයුතු හා ප්‍රසංගවලට සහභාගි වීමත් සමඟ රැකියාවේ කටයුතුත් වේලාව බෙදා හදාගෙන සිදු කරනවා. මගේ පවුලේ අයගෙනුත් මගේ වැඩ කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.

*  සුපර් ස්ටාර් තරගය හරහා ප්‍රේක්ෂකයන් ඔබව හඳුනාගත්තේ විනෝදාත්මක ගීත ගායනා කරන කෙනෙක් විදියටයි. ඉදිරියටත් ඒ ශෛලියම අනුගමනය කරයිද?

හැමෝම මාව දන්නේ විනෝදාත්මක ගීත ගායනා කරන කෙනෙක් හැටියට තමයි. සුපර් ස්ටාර් වේදිකාවේ මම තබපු ලකුණ එයයි. මම සුපර් ස්ටාර් වේදිකාවේ මුලින්ම ගායනා කළ සොයාදියව්, මට සරණක් ගීතයත් දෙවනුව ගායනා කළ ‘ හන්තාන අඩවියේ’ ගීතයත් නිසා ලොකු ආන්දෝලනයක් ඇති වුණා.

විශ්වවිද්‍යාලවල පවා ඒ ගැන කතා කළා. මම ගායනා කළ ශෛලිය එවැනි මට්ටමක කතාබහ කරන තත්ත්වයකට පවා ගෙනයාමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. ඉදිරියේදීත් මම වැඩිපුර එම ශෛලියේ ගීත ගායනා කරනවා. අනෙකුත් ගීතත් ගායනා කරනවා.

*  සුපර් ස්ටාර් කිරුළ හිමිකර ගැනීමට හැකි වේවි කියා ඔබ හිතනවාද?

මෙතෙක් ආපු ගමන ගැන මට ගොඩාක් සතුටුයි. සුපර් ස්ටාර් කිරුළ සිහිනයක් නොවීමට ඉඩ තැබීම තමයි මගේ බලාපොරොත්තුව.

*  සංගීතයෙන් ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරියේදී මගේම ගීත නිර්මාණය කරනවා. ගීතයෙන් සමාජයේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. මගේ වෘත්තියත් සමඟ සමාජයට වැඩදායි ගායිකාවක් බවට පත්වෙනවා.

ජානුකා බෝම්බු‍වල 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY