පාර්ලිමේන්තු සභා ගැබ මැද ඊයේ (03 දා) මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක්‌ නිසා බරපතළ තුවාල ලැබූ කෑගල්ල දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන්, විපක්‍ෂ මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු සුළු තුවාල ලබා ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සභාගැබ මැද බිම පෙරළාගෙන අතින් පයින් පහරදීම නිසා සන්දිත් සමරසිංහ මහතාගේ නහයෙන් සහ මුවින් ලේ වහනය වෙමින් තිබූ අතර මන්ත්‍රීවරුන්ගේ සපත්තු ප්‍රහාරයට ලක්‌වීම නිසා ඒ මහතාගේ මුහුණ ද තුවාල වී තිබෙනු දක්‌නට ලැබිණි.

 

 

 

 

මන්ත්‍රීවරුන් මෙසේ ගුටි බැට හුවමාරු කරගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අසුන්ගෙන සිටින ආසනය ඉදිරිපිටදීමය. මේ අවස්‌ථාවේ කථානායකවරයා ද මුලසුනේ සිටි අතර මන්ත්‍රීවරු පිරිස සන්දිත් සමරසිංහ මන්ත්‍රීවරයාට පහර දෙද්දී අගමැතිවරයා සභාගැබෙන් පිටව ගියේය. කථානායක කරු ජයසූරිය මහතා සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා මුලසුනෙන් නැගිට ගියේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභාගැබ මැදට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රකාශයක්‌ කළ පසුවය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී මන්ත්‍රීවරුන්ගේ පෙත්සම් ඉදිරිපත් කළ පසු දිනේෂ් ගුණවර්ධන මහතා යමක්‌ ප්‍රකාශ කිරීමට නැඟී සිටියේය.

“මන්ත්‍රීතුමා ප්‍රශ්න – උත්තර ඉදිරිපත් කළ පසුව ඔබතුමාට ඉඩ දෙන්නම්… යෑයි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළ ද දිනේෂ් ගුණවර්ධන මහතා නැගිට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කළේය.

“අගමැතිතුමා දැන්ම උත්තර දෙනවාද… නැත්නම් ප්‍රශ්න උත්තර වෙලාවෙන් පසු උත්තරයක්‌ දෙනවාදැ”යි කථානායකවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසුවේය. ඒ අවස්‌ථාවේදීම නැගී සිටි අගමැතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිතුරු දී “ආරක්‍ෂාව ගැන තාක්‍ෂණික කරුණු මම දන්නේ නෑ… ඒ ගැන හිටපු හමුදාපති µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිතුමා පැහැදිලි කරයි” යෑයි කියමින් අසුන් ගත්තේය.

මෙම අවස්‌ථාවේදී සිය අසුන් මතින් නැගී සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු කෑගසමින් ඉදිරියට ආවේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අඩු කිරීම සම්බන්ධව සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ කතාවට විරෝධය දක්‌වමිනි.

සභාගැබට පැමිණි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් හූ තබමින් ෆොන්සේකා මහතාගේ කතාවට බාධා කළහ. බාධා කිරීම් මැද ෆොන්සේකා මහතා සිය කතාව නොනවත්වා කරගෙන යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විරෝධය දක්‌වමින් සභා ගැබ මැදට පැමිණියහ.

* ෆොන්සේකාගේ කතාවට එජාපයෙන් අත්පුඩි( ඒකාබද්ධ විපක්‍ෂයෙන් බාධා ෆොන්සේකා මහතා කතා කරද්දී ඒ මහතා වටා එජාප ඇමැතිවරු පිරිසක්‌ අත්පුඩි ගසමින් සිටි අතර අගමැතිවරයා නිසොල්මනේ සිය අසුනට වී සිටියේය.

මන්ත්‍රීවරුන්ගේ හූ හඬ, අත්පොළසන් හඬ නිසා ෆොන්සේකා මහතාගේ කතාව පැහැදිලිව ශ්‍රවණය වූයේ නැත.

“වෙල් විදානේ…. වෙල් විදානේ…” යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කෑගසද්දී “මන්ත්‍රීතුමන්ලා ගෞරවනීය ලෙස ආසනවලට යන්නැයි” කථානායකවරයා ඉල්ලා සිටියේය.

එහෙත් සභා ගැබ මැද මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරීම වැඩි වන්නට විය.

“කථානායක…. යෑයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කරු ජයසූරිය මහතා ඇමතුවේය.

“මොකක්‌ද…. මොකක්‌ද… ඔයා ඉතිහාසයේ හැමදාම අවුල් කරන එකනේ කළේ….” කථානායකවරයා කීවේය.

“අගමැති වෙනුවට මුරකාරයාට කතා දෙන්නෙ නෑ…” දිනේෂ් ගුණවර්ධන මහතා යළි කීවේය.

“එතුමාත් යුද්දෙට හවුල් වුණා. එතුමාටත් කතා කරන්න අයිතිය තියෙනවා. දැන් ගිහින් වාඩිවෙන්න…” කථානායකවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට කියද්දී මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව වැඩි විය.

“ෆොන්සේකා ඇමැතිතුමා කතාව නතර කරන්න…” කථානායකවරයා ෆොන්සේකා මහතාට නියම කළ ද ඝෝෂාව නිසා ෆොන්සේකා මහතාට එය ඇසුණේ නැත. හෙතෙම දිගටම කතා කරගෙන ගියේය. එනිසාම ඔහුගේ මයික්‍රපෝනය ක්‍රියාවිරහිත කළේය. එහෙත් ෆොන්සේකා මහතා එජාප මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් හඬ මැද්දේ තවදුරටත් කතාව කළේය.

03

* එජාප – ඒකාබද්ධ විපක්‍ෂය බහින්බස්‌වීම්

මේ අවස්‌ථාවේදී සභා ගැබ මැද ඒකාබද්ධ විපක්‍ෂයේ සහ එජාපයේ තරුණ මන්ත්‍රීවරුන් අතර බහින්බස්‌ වීමක්‌ ඇරැඹිණි. මෑතකදී පත්වූ නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ එක්‌වරම ප්‍රසන්න රණවීර මහතාට පහර දෙන්නට ඉදිරියට පැන්නේය. ඒ අවස්‌ථාවේදී දෙපාර්ශවයේ මන්ත්‍රීවරු එක පොදියට පොර කන්නට වූ අතර ඊට මැදි වූ සන්දිත් සමරසිංහ මන්ත්‍රීවරයා බිම වැටුණේය. බිම වැටුණු සමරසිංහ මන්ත්‍රීවරයා වටා රොක්‌ වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ඔහුට අතින් පයින් පහර එල්ල කරන අයුරු දක්‌නට ලැබිණි.

ඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් තමාට පහරදුන් බවය.

* බිම වැටුණු එජාප මන්ත්‍රීට වටකර පහර දෙති

විනාඩි පහක පමණ කාලයක්‌ මන්ත්‍රීවරුන් විසින් සමරසිංහ මන්ත්‍රීවරයාට බිම පෙරළාගෙන පහර දෙද්දී තවත් මන්ත්‍රීවරු පිරිසක්‌ ද එකිනෙකා අතර පහර එල්ල කරගත් අතර තවත් පිරිසක්‌ මෙම ආරවුල විසඳීමට ඒ මැදට පැන දැඩි උත්සාහයක නිරත වූහ.

මේ සියල්ල තමන් ඉදිරිපිට සිදුවන ආකාරය දෙස බලා සිටි අගමැතිවරයා සිය අසුනෙන් නැගිට සභාගැබෙන් පිටට ගියේය. ඒ සමඟම “ලැඡ්ජයි…. ලැඡ්ජයි….” කියමින් කථානායක කරු ජයසූරිය මහතා සභාවේ කටයුතු අත්හිටුවා මුලසුනෙන් නැගිට ගියේය. ඒ පස්‌වරු 1.30 ට පමණය.

සභාව අත්හිටුවූ පසුව ද මන්ත්‍රීවරුන් පිරිස සමරසිංහ මහතාට ප්‍රහාර එල්ල කළ අතර අනෙක්‌ මන්ත්‍රීවරුන් මැදිහත් වී සමරසිංහ මහතා නැගිටුවා සභාගැබෙන් පිටතට කැඳවාගෙන ගියේය. ඒ අවස්‌ථාවේදී සන්දිත් සමරසිංහ මහතාගේ නහයෙන් කටින් ලේ වහනය වන අයුරු ද දැකගත හැකිවිය.

මන්ත්‍රී පිරිසක්‌ සභාවේ මෙසේ හැසිරෙද්දී ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තම අසුන් මත හිඳ නිසොල්මනේ ඒ දෙස බලා උන්හ. ගුටිබැට හුවමාරු වන අවස්‌ථාවේදී පාර්ලිමේන්තු ගැලරියේ පාසල් සිසුන් රැසක්‌ සිටි අතර මඳ වේලාවක්‌ ගත වූ පසු පොලිසිය විසින් එම පාසල් සිසුන් ඉවත් කරන ලදී.

* ගැටුමෙන් පසු දෙපැත්තෙන්ම සුහද සිනා

සභාවේ කටයුතු අත්හිටුවූ පසු පැය එකහමාරක්‌ පමණ ආණ්‌ඩුවේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිනාසෙමින් ඉතා සුහදව එකිනෙකා සමඟ කතාබහ කරමින් සිටි අයුරු ද දැකගත හැකි විය.

අජිත් අලහකෝන් සහ අකිත පෙරේරා

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY