කරවිල ගෙඩියේ හැදුණු පණුවා කවදා හෝ නැසෙන්නෙත් කරවිල ගෙඩිය ඇතුළෙන්මලු කියලා අපේ ගැමි වහරේ කතාවක් තියෙනවා. පැටළුණු නූල් බෝලයක් සේ මගේ මතකයේ සටහන් වූ දේ එකින් එක දිග හැරෙද්දි මගේ මතකයට ආවෙත් ඒ කතාවයි. බොහෝම අමාරුවෙන් හැරමිටි වාරුවට පිංසිදු වෙන්නට උඩගලදෙබොක්කේ ගමට ගෑටුව ඔවුන්ගේ කතාවේ මගේ අමිහිරි මතකයයි.

උඩගලදෙබොක්කේ ගමේ රැයක් පහන් කරද්දි බොහෝ දේ හිතන්නට මගේ හිත පෙලඹුණා. දහවල් කාලයේ උඩගලදෙබොක්ක ගමේ දුටු සුන්දරත්වය නොඉඳුල්බව මේ ජීවිතවල අල්පමාත්‍රයකින්වත් දකින්න ලැබුණේ නැහැ. කෙනෙකුට හිතන්නට පවා බැරි බොහෝ දේ මේ ජීවිතවල සැඟවී තියෙනවා. මේ දේවල් මෙසේ වෙන්නේ පෙර කළ පාප කර්මයකට දෝයි මගේ හිත මගෙන්ම විමසන්නට වුණා.

ගමේ පන්සල

උඩගලදෙබොක්ක ගමනේ දුෂ්කර වෙහෙස ටිකක් හෝ සමනය වුණේ ගමේ පාසලේ විදුහල්පති දිලීප සර්ගේ කහට කෝප්පයෙන් හා ගමේ දිය පීල්ලෙන් යැයි කිව්වොත් නිවැරැදියි. ගතට වගේම හිතටත් පුංචි විවේකයක්. පාසල අසල පුංචි දිය පීල්ලෙන් දිය නාගත් අපි හොඳ කිතුල් හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්පයක රහ බැලුවේ වෙහෙස නිවාගෙන ගමේ ඇවිදින්න යන්න. මලහිරු බැස යන විට රජයන අඳුරට පෙර මේ ජීවිත දැන් සූදානම් වෙන්නේ රාත්‍රී නින්දටය. විදුලි ආලෝකයක් හෝ නොමැති මේ ගමේ රාත්‍රියට රජ කරන්නේ වල් අලි ය.

පාසල පිටුපසින් ඇති දෙවට දිගේ අපි නැවතත් කන්ද ගෑටුවේ මේ දුෂ්කර ජීවිත සැබෑ ලෙස අත්විඳින්නට. ඒ මොහොතේ අප නෙත ගැටුණේ කන්ද උඩ සිට පහතට බසින පිරිසකි. ඉන් දෙදෙනකුගේ කර මත කදකි. ගනකම් රෙද්දක සතර කොන සවි බලැති ලීයක ගැට ගසා එහි තබා ගත් රෝගියකු ද කැටුව ගමේ කීප දෙනෙක් පල්ලම් බසිති. අපට මඟ පෙන්වීමට පැමිණි ටිකිරි බණ්ඩා වෙද මහතා ඒ දැක අප හා කතා බහ ඇරැඹුවේ ලෙඩා රැගෙන රෝහලට යෑමට පැමිණෙන පිරිසට ඉඩ දෙමින් පසෙකට වෙමිනි.

රාත්‍රි ආහාරය පිසිමින්…

”මේ ගමේ හැම කෙනෙක්ම එකම නෑදැ පිරිසක් කිව්වොත් හරි . මගේ සහෝදර සහෝදරියෝ තමයි ඔක්කොම ඉන්නේ. විවාහයක් මරණයක් ලෙඩක් දුකක් වුණත් මේ හැමෝම එකතු වෙනවා. ඔය කට්ටියක් කන්ද බහින්නේ ලෙඩෙක් අරගෙන. උදේ අසනීප වුණා. දැන් ඔය ඉස්පිරිතාලෙට අරන් යනවා”

සතර පෙර නිමිති දකින්නා සේ මේ ගමේ කටුක දිවිය දැන් එකින් එක අපේ නෙත් ඉදිරියේ දිස්වෙයි. ”මහත්තයෝ මේ ගමේ කෙනෙකුට ලෙඩක් වුණොත් කද බැඳගෙන මේ හැතැප්ම ගාණම පහළට ගාටන්න ඕනැ ඉස්පිරිතාලෙකට යන්න. රෑකට අසනීප වුණොත් මැරෙන්නමයි හිතෙන්නේ.

හිතන්නකෝ ඔයගොල්ලෝ ආව කැලෑවේ ලෙඩෙක් කර පින්නා ගෙන රෑට යන්නේ කොහොමද කියලා. ඒ වෙලාවට ගමේම පිරිමි අය එකතු‍වෙලා අලි වෙඩි අරගෙන පන්දම් පත්තුකරගෙන කොහොම හරි කන්ද බැහැගෙන හැතැප්ම හයක් එපිටින් තියෙන ඉස්පිරිතාලෙට ලෙඩා කද බැඳගෙන අරගෙන යනවා. ගමට හරිහමන් වින්නඹු අම්මෙක් නැති නිසා දරුවෙක් හම්බුවෙන්න අමාරුවුණත් ගෙනියන්න ඕනැත් මේ විදියටමයි.

ඔය විදියට ගෙනියන කොට මඟදිම දරුවා හම්බවෙලා අම්මට යට වෙලා දෙතුන් දෙනෙක්ගේම දරුවෝ කැළේ මැදදීම නැතිවුණා. මේ ගමේ හැමෝම මැරෙන්න වුණත් එකට” ටිකිරි බණ්ඩා වෙද මහතා හුස්මක් නොගෙන කියවයි. ඒ කතා ඇසෙන අපේ හිත් වෙහෙසට පත්වෙයි.

පවුල් 37 ක් සිටින උඩගලදෙබොක්ක ගමේ අවමඟුල්, මඟුල් තුලා කෙරෙන හැටිද අසන්නට අපූරුය. ඒ ගමේ පවුල් කිහිපය අතරය. ජයට මඟුලක් කෑම මේ අයට නුහුරු නුපුරුදු නිසාදෝ බොහෝමයක් මඟුල කෙරෙන්නේ දීග යන කල වයසට නොවේ. රූපසිංහ උඩගලදෙබොක්ක ගමේ කොයි කාගේත් දුකේදි සැපේදි පිහිට වෙන්නෙකි. ඔහු දැන් අපටද ආගන්තුක නැත. මුවන්පැලැස්සේ කදිරා ගේ හැඩරුව ඇති ඔහු අපට ගමේ මඟුල්තුලා කෙරෙන හැටි විස්තර කළේය.

” අපේ ගමේ වයස 13ක්17ක් වෙනකොට මඟුලක් කර ගන්නවා. කොල්ලගේ පැත්තේ අය කෙල්ලගේ ගෙදරට ගිහින් දවාලට කාලා කෙල්ල ඇන්නගෙන එනවා. එහෙම බැඳලා වයස ආවහම ටවුමට ගිහින් කසාදේ පොතේ කුරුටු ගානවා.

එකගෙයි කෑම මේ ගමේ ඕන තරම්. කසාදේ වගේම තමයි , මරණයක් වුණත්. ගමේම තමයි එම්බාම් එක කර ගන්නේ. මිනියේ කට ඇතුළින් බඩට බටයක් යවලා ගමේ හදපු හොඳ මී පැණි බෝතල් භාගයක් මිනියට පොවනවා. සවුත්තු වෙනවා වගේ නම් තව බෝතලයක් පොවනවා.

පස්සේ ගමේම මිනී පෙට්ටියක් හදලා වළලනවා. ටවුමේ ඉස්පිරිතාලේදි කෙනෙක් මැරුණොත් මිනී පෙට්ටියට කඹ ගැටගහලා උස්සගෙන ගමට ගේනවා.”

මිරිස් කොටන ගල

මෙසේ මොවුන්ටම පොදු චාරිත්‍ර ගොඩනැගී ඇත්තේ සමාජයීය හුදකලා බවින් මේ ජීවිත අත්මිදෙන්නටය. උඩගලදෙබොක්ක ගැමියන්ගේ ජීවිත අඳුරින්ම පිරි ඇත. කිසිදා අවුරැල්ලක් වැටෙන්නේ නැත. වේලක් කෑවොත් දෙවේලක් බඩගින්නේය. උදේ පාන්දර පැලේ කටට සම්බෝලයකුත් බතකුත් පිසින්නේ උදේට හොඳ හැටි සප්පායම් වීමටය.

ඉතිරි වූ දංකුඩ දහවලේ දරුපැටවුන්ගේ කුසගින්නට ඉතිරි වෙයි. ගමේ කොළ, කොස්, කුරහන් තලප විනා රසවත් ආහාරයකින් මේ දිවවල් කිසිදා පිනවෙන්නේ නැත. කිතුල් ගහින් රා ටිකක්, කිතුල් පැණි ටිකක් හදා ගන්නා මෙම ගැමියන් ඒවා විකුණා ලැබෙන සොච්චම් මුදලෙන් හාල් ටිකක්, තේ කුඩු, සීනි ටිකක් මෙන්ම දරුවන්ට පොතක් පතක් ඇන්න එන්නට කොළොංගොඩ පොළට යන්නේ සතියේ සඳුදාය.

” අපේ ගමේ කඩයක් නැහැ. බඩුවක් ගන්න නම් මේ කැලෑවේ කන්ද බැහැලා කිලෝ මීටර් හයහමාරක් පයින් කොළොංගොඩ පොළටම යන්න ඕනැ. මාස ගාණක් තිස්සේ හදාපු පැණි හකුරු එකතු කරගෙන. එදාට ගමේ හැමෝම එකතු වෙලා උදේ 6.30 ට තමයි පහළට බහින්නේ. ආයිත් එන්න පිටත්වෙනකොට රෑ බෝ වෙනවා. අලින්ට බයේ කවුරුත් තනියම යන්නෑ.

ඒ ගේන බඩු උයාපිහා ගන්න මදිවුණොත් කුරහන් තලප හරි කාලා ජීවත් වෙනවා. තේ කහට ටිකක් බොන්න තේ කොළ නැති වුණාම අපි සීනි කරිඤ්ඤං කරලා බොනවා. ඒ කියන්නේ සිනි තාච්චියකට දාලා කර කරලා තේ වගේ වක්කරන් බොනවා. මෙහෙම තමයි අපේ ජිවිත ගෙවෙන්නේ ” ඒ ටිකිරි බණ්ඩාය. ඒත් කොතරම් නැතිබැරි වුණත් මොවුහූ ආගන්තුක සත්කාරයට රුසියෝය.

රාත්‍රි අඳුර වැටෙන්නට ආසන්නය. කටුමැටි වරිච්චියෙන් තැනණු පුංචි පැල් විනා හරිහමන් ගෙයක් දොරක් මේ ගමට ඇත්තේම නැත. කුප්පි ලාම්පු එළියෙන් රන්මැණිකාගේ නිවෙස හොඳට පෙනේ. නැතිබැරි වුණත් පිරිසුදු බවින් උසස් රන්මැණිකාගේ පැළේ රාත්‍රී ආහාරය පිසෙන්නේ අපිටය. මඤ්ඤොක්කා කොළ මැල්ලුමත් ගමේ අල බැදුමත් ගේ මුල්ලේ ළිපේ ඉදෙයි.

කට්ටෙන් බට්ටා පනිමින්…

” අපිට තියෙන දෙයින් නෝනලට හොඳට සංග්‍රහ කරන්නයි හදන්නේ.” ඒ රන්මැණිකාගෙන් නියෝජනය වන උඩගලදෙබොක්කේ ගැමියන්ගේ හදවතය.

” අපිට මිරිස් තුනපහ අඹරන්න ගලක් නැහැ. කොරහේ දාලා ලී දඬු මාතෙන් තමයි අඹරන්නේ. එදා වේල කන්න හාල් ටික කොටා ගන්න තැනක් නැහැ. අලි ඉන්න කැලෑවේ කිලෝ මීටර් 6 ක් ඒකටම කන්ද බහින්න බැහැ. එදා වේලේ හාල් ටික ගෙදර ගොම පොළොවේ දාලා මොල් ගහෙන් කොටලා තමයි උයන්න ගන්නේ. නැත්නම් වී කොටන ගලේ තමයි ඒ රාජකාරිය කොර ගන්නේ. ” ඒ දුක්බර ජීවිතයේ සදා අඳුරු කැඩපතයි.

වනචාරි ජීවිත මෙන් අදහන්නට ආගමක් පවා නොමැති මේ ජීවිත අතීතයටම උරුමකම් කියති. ගමට හරිහමන් පන්සලක් තිබුණත් එයත්ඉඩෝරයට හසුවූවා සේ පාළුවට ගොස්ය. ජරාජීර්ණ වූ පන්සලේ ස්වාමීන් වහන්සේ නමක වැඩ විසූ සලකුණක්ද නැත. වෙසක් පොසොන් පෝයට පමණක් පන්සලක් දකින මේ ගැමියන්ට පිහිට දෙවියන්ම පමණය. කන්දේ දෙවියන්, බණ්ඩාර දෙවියන් පමණක් නොව යක්කු ඇදහීමද ජයට කෙරෙන්නේ වෙනත් කිසිදු හව්හරණක් නොමැති නිසාය. හේනක් කොටද්දි පමණක් නොව වල් අලින්ගෙන් බේරෙන්නට, ලෙඩක දුකේදි පඬුරක් ගැට ගසන්නේද කන්දේ දෙවියන්ටය. අවසානයේ පඬුරේ බාරය ඔප්පු කරන්නට ගමම එකතු වී යන්නේ මහියංගනය පුදබිමටය.

කුඹුරක් කොටද්දි හේනක් අස්වද්දද්දි එන වල් අලි කරදරවලින් බේරෙන්නට ගැමියන් යදින්නේද මේ නොපෙනෙන බලවේගයන්ටය. දුක් මහන්සියෙන් හේනක් කොටා ලබා ගන්නා කුරක්කන් බඩ ඉරිඟු අස්වැන්න භුක්ති විදින්ට මේ ගැමියන්ට හැකිවෙන්නේ නැත. වල් අලි රජදහනක් වන උඩගලදෙබොක්කේ ගැමියන් සදා දුක් විඳින්නේ මේ වල් අලි හිරිහැර නිසාය.

කුරක්කන් අඹරන ගැමි

දුෂ්කර උඩගලදෙබොක්කේ කටුමැටි වරිච්චියෙන් හැඩවුණු මේ පුංචි පැල්පත්වල මේ පවුල් ගෙවන ජීවිත අති දුෂ්කරය. ගැමියන්ගේ සැබෑ දුක ඇසින් නොදැකූ කෙනෙකුට මේ පිළිබඳ සිතුවමක් පවා ගොඩ නගා ගන්නට අපහසු තරමට මේ ගමේ ජීවිත වියවුල්ය. නගරයක් දකින්නට නැති කඩමණ්ඩියක් දකින්නට නැති මේ ගැමියන්ගේ ජීවිතවල රැදි අඳුර පලවා හැර කිසිදා ආලෝකයක් කැන්දෙන්නේ නැත.

” මහත්තයෝ අපි දන්නවා අපේ ගමට යන්න එන්න කවමදාවත් පාරක් හදන්න බැරි බව. කවුරු හරි එහෙම කරලා අපේ ජීවිත ගොඩ ගන්න හදවනම් ඒක නිෂ්ඵල දෙයක්. ගොඩාක් අය මේ පාර හදලා දෙන්න උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. මේ ගමට යන්න තියෙන අමාරු ගමන නිසා තමයි අපි මේ තරම් හුදකලා වෙලා තියෙන්නේ. ඒ නිසා කවමදාවත් හදන්න බැරි මේ පාර හදන්න උත්සාහ කරන එකත් බොරු වැඩක්.

පුළුවන්නම් අපි වෙනුවෙන් වෙහෙසෙන අය මේ උදව්ව කරන්න. මේ ගමේ පහළ ඕන තරම් ඉඩම් තියෙනවා. අපි කැමතියි පහළට ඇවිල්ලා පැලක් අටවාගෙන හේනක් කාරිය කොටලා ජීවත් වෙන්න. අපිට කන්දෙන් පහළ ජීවත් වෙන්න තැනක් හදලා දෙන්න.” අපි ගමට ආයුබෝවන් කියද්දි හැමෝම එහෙම ඉලල්ලීමක් කළේ අපිට වඩා මේ ප්‍රදේශයේ බලවතුන්ගෙන්. රටේ දේශපාලන බලවතුන්ගේ අවධානයට යොමුකරන්නට.

මේ දුෂ්කරතා දෙනෙතින් අත්විඳි බොහෝ දේශපාලන බලවතුන් උඩගලදෙබොක්කේ ගැමියන්ගේ දුකට පිළියම් සපයන්නට විවිධ ආකාරයෙන් අතහිත දුන් අවස්ථා මේ ගැමියන් අදත් සිහිපත් කරන්නේ සෙනෙහසිනි. නමුත් ඒ කිසිවෙකිනුත් මේ ගැමියන්ගේ දුකට පිහිටක් වූයේ නැත. ගමට කපා අතරමඟ නැවතුණු පාරවල් තවමත් එලෙසමය.

මේ නිසා එදා ගමට ගිය කෙටි පාරවල් දැන් කැලෑවටම ගොස් ය. විටින් විට විවිධ දෙනා කරන මෙවැනි තාවකාලික විසඳුම් අද ගැමියන්ට රුස්සන්නේ නැත. ගමෙන් පහළ ඉඩම් හෝ ලබා දී වගා කටයුත්තක් කරන්නට අද මේ ගැමියන්ට අවැසිය. ඔවුන් කිසිදා නොදැක්ක දේශපාලන බලවතුන්ට මනාපයක් දෙන්නට රූප ඉදිරියේ කතිරය ගසන්නේ ඒ නිසා ය. ඔවුනට අවශ්‍ය මේ නරා වලෙන් ගොඩ එන්නටය.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY