ප්‍රයෝගික අලුත් අවුරුද්ද බරපතළ රවටා ගැනීමක් යැයි මට හිතේ
වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ! කියූ විගසම මුළු වාක්‍යයම වාස්තවික නැත
වාසනාව යනු කුමක්ද ? සිතන පතන දේ ඉබේ ලැබෙන යාන්ත්‍රණයකි
එවන්නක් මිහිපිට තිබේද ? වෙහෙස මහන්සි වී නිසි ක්‍රමවේද හරහා මිස කිසිවක් වාසනාවට ලැබේයැයි විශ්වාස කරණ සමාජයකට අනාගතයක් නැත
වාසනාවට ඉඩ දී සිටින්නේ වෙන කළ හැකි කිසිවක්ම නැති වූ කලය

සුභ යන වචනය විවිධාර්ථ දෙන චපල වචනයකි
රෝගියාට සුභ වන්නට සනීප විය යුතුය . එය මිණී පෙට්ටි සාප්පු කරුට අසුභය
එක පිලකට සුභ වන විට අනෙක් පිළට සුභ නොවේ

අවුරුද්ද මුළුල්ලේ වෙලාවට වැඩක් නොකරන සියලු දෙනා නැකතට වැඩ අල්ලති
එකිනෙකාගේ ඔරලෝසු වල ඇත්තේ තම තමන්ගේ වෙලාවයි .එයද කලින් කලට ආණ්ඩු විසින් වෙනස් කරනු ලැබ තිබේ
සුර්යා ඒ වෙනස්කම් ගැන දන්නවා විය යුතුය
රතිඥ්ඥා සද්දයට නැකත යැයි සිතා ලිප ගිණි මොලවති එක්කෝ නැකතට කළින්ය , නැතිනම් පසුවය

නාණු ගා නානු ! කී විට අවුරුද්ද පුරා නොනා හඩු ගඳ ගසන වුන් නැකතට වත් නාන එක නම් හොඳය
නැකැත් පතේ කියා ඇති වර්ණයේ වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නට බැරි වුන්ට හෙණයක් වත් නැත
රන් පැහැති ඇඳුමෙන් සැරසී සිටිය යුතු යයි කී විට බොත්තමක් රත්තරන් පැහැයෙන් ඇති ඇඳුමක් ඇඳ රවටා ගනිති

පැරණි තරහ මරහ අමතක කර බුලත් දී වැඳ සමාදාන වූ අය පසුවදා සිට තැන තැන බැණ බැණ යති .
හිතේ ඇති මාත්සර්යය කෙතරම්ද යත් “ඌ ඇවිත් මගෙන් සමාව ගත්තා “යැයි පුරසාරම්ද බෙණෙති
අවුරුද්දට පැරණි තරහ මරහ ඇත්තටම අමතක කරයි නම් අවුරුදු පතා සමාදාන වන්නට මේ වන විට තරහ කරුවන් සිටිය නොහැක .
සිදු වන්නේ සිරිතක් වශයෙන් පැරණි ක්‍රෝධය දින කිහිපයකට යටපත් කිරීම පමණි

ගණුදෙනු කිරීමත් , කැවිලි පෙවිළි හුවමාරුවත් තම මහන්තත්ත කම පෙන්වීමේ උපායන් පමණි
ඒ ගෙදරින් එන කැවිලි පිඟානේ කැවුමක් දෙකක් මාරු වී සුළු වෙනසක් සිදු වී ආපසු එන්නේ එහෙයිනි
ගණුදෙනුවට ගොස් හොඳ ගාණක් නොලැබුනොත් යටි හිතින් අම්මා මතක් එයි .

පුණ්‍ය කාලයට පෙර නොනගතයයි .ඒ විට ගෙයි ලිප් දැල්විය යුතු නැත . එහෙයින් පිළිකන්නේ ලිපක් දල්වා කෑම බිම හදාගෙන කති .
සුර්ය දිව්‍ය රාජයාවද අන්දති
බේබද්දෝද ; සූදු අන්තුවෝද වෙඩි බෙහෙත් නිෂ්පාදකයෝද රජ වෙති , රජයේ සේවකයා තවත් ණය වෙති
බල්ලන් බළලුන් සහ එරබොදු අත්තේ සිට නාද කල කෝකිලයන්ද මර ළතෝනි දී ගොස් රතිඥ්ඥා හඬට බියෙන් සැඟවෙති
වෙරි මතින් වාහන අනතුරු සිය ගණනක්ද , සාද අවසානයේ මරා ගැනීමද සිදුවේ .පිළිස්සුම් තුවාළ වලින් රෝහල් ගත වන සංක්‍යාව ඉහළ යයි

වසර පුරා අනුන්ට උගුල් අදිමින් , ක්‍රෝධ කරමින් සිටින මිනිසුන් තමාව රවටාගෙන අනුන්වද රවටන චාරිත්‍රයක් බවට අලුත් අවුරුද්ද පත්ව ඇත
එය තනිකරම වෙළඳ පොළ විසින් හසුරවන සේල් දමා පාරිභෝගිකයා බිළි බාන ප්‍රචාරක උපක්‍රමයක් පමණි
වෙළඳුන්ද , උන්ගෙන් යැපෙන මාධ්‍ය වෙළඳුන්ද පාට කර , බෙරිහන් දී අවුරුදු අළෙවි කරති

වැඩිහිටියන්ට සලකන්නට ; අසල්වැසියන්ට සංග්‍රහ කරන්නට , තරහ මරහ අමතක කර සමාදාන වන්නට , වේලාවට වැඩ කරන්නට , අලුත් අවුරුද්දක්ම එනතුරු බලා සිටින සමාජයක් ගැන ලැජ්ජා හිතේ
සම්ප්‍රදායයේ ගිලී අලුතෙන් හිතන්නට බැරි කිසිවෙකු අවුරුදු චාරිත්‍ර නිසා හොඳ සිරිත් අමතක වීමෙන් වළකින බව කියනු ඇත
හොඳ සිරිත් අමතක වන සමාජයකට අවුරුදු උත්සව පවත්වා ඒවා කියාදෙන්නට සිදුවන්නේ නම් ඒ සමාජය මොන්ටිසෝරි තත්වයේ අඳ බාල එකක් බවට තව තර්ක කළ යුතු නොවේ

රටකට යහපත් දේ කරන්නට නැකත් හෝ කාලයක් අවශ්‍ය නොවේ
භාග්‍යය උදා කළ අරුතෙන් බක් මාසයේ අතීතයේ අස්වනු ගෙට ගත් මිනිසා උත්සව පැවැත්වුහ
අද ණයට ගත් මුදලින් මහජනයාද , පාලකයෝද අවුරුදු කති . දින ගණනක් තිස්සේ සුරාවෙන් මත් වන්නට නැකැත් බලති .
මනුස්සකම නොදත් , අන්තයටම පිරිහුණු සමාජයක කුණු වී ඕජස් ගලන නිරුවත අලුත් වස්ත්රාභාරණයෙන් වසා ගනිති
කෙතරම් කාල කන්නි සමාජයක්ද ?

වසර ගණනක් තිස්සේ අධ්‍යාපනය , සෞඛ්‍යය , ගමනා ගමනය විදුළි බලය සහ නීතිය සමග පාලකයෝ කණා මුට්ටි ගසමින් සිටි
ඇස් බැඳගත් පුජ්‍ය පක්ෂය පාලක අලියාට ඇස් තබමින් විනෝද වෙමින් සිටී
දෙපිළ බෙදුණු මහ ජනතාව , කොට්ට පොර ගසමින් කඹ අදිමින් ජය ඝෝෂා නගති ,
හන්දි ගානේ , බස් රථ වල , දවස පුරා පංච කල්යාණියන්ගේ ඉඟ සුඟ ලැම නිතඹ මණින සැඟවුන අමුත්තන් නිමක් නැත
විපක්ෂ මංත්‍රී වරු ඇමතිකම් පතා වාරම් කියමින් ඔංචිලි පදිති
මුළු රටම දින 365 ම අවුරුදු කෙළිති සහ කෙලවති
ඒ අතර එක දිනක් සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි කිසිම හැඟීමකින් තොරව කියති
අපි කාව රවටමුද ?

නාරද විජයසුරිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY