‘ඇමැති ඉවත් කිරීම නොනගතයෙන් පසු කරමු’

වරාය සේවකයන් හට විශේෂ අලුත් අවුරුදු දීමනාවක්‌ ඇතුළු තවත් ඉල්ලීම් තුනක්‌ ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී එකඟවීම නිසා වරාය සේවකයන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.

ඒ අනුව වරාය වෘත්තීය සමිති 17 ක්‌ විසින් ඉකුත් 06 වැනිදා සිට ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ඊයේ (11 දා) දහවල් සිට අත්හිටුවා තිබේ.

වරායේ උද්ගත වී තිබූ තත්ත්වය පිළිබඳව වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා සමඟ ඊයේ (11 දා) උදේ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇති වූ එකඟතාවකට අනුව මෙම පියවර ගෙන ඇත.

වරාය සේවකයන්ට විශේෂ අවුරුදු දීමනාවක්‌ ගෙවීම, ඵලදායීතාව අනුව ගණනය කර දෙසැම්බර් මාසයේ විශේෂ දීමනාවක්‌ ගෙවීම, ජයබහළු පර්යන්තයේ දිරිදීමනාව සම්බන්ධව කමිටුවක්‌ පත්කිරීම, වෘත්තීය සමිති කටයුතුවල නිරත සේවකයන්ට එරෙහි චෝදනා ඉවත් කිරීම යන එකඟතාවන්ට පැමිණීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව කළුතරගේ මහතා පැවසීය.

වරාය ඇමැතිවරයා සහ සභාපතිවරයා ඉවත් කිරීම, වරාය දේපළ පෞද්ගලීකරණය කිරීම නැවැත්වීම, බඳවාගැනීමේ පටිපාටියේ විෂමතා ඉවත් කිරීම, දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම යන වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳව මෙම 22 වැනිදාට පසුව සාකච්ඡා කර විසඳුම් ලබාදීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බව ද කළුතරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මෙහිදී වරාය ඇමැතිවරයා ඉවත් කරන ලෙස අවධාරණය කළ අවස්‌ථාවේ “ඇමැතිවරයා ඉවත් කිරීම නොනගතයෙන් පසුව කරමු” යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව පවසා ඇතැයි ද කළුතරගේ මහතා පැවසීය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චිගේ පුවතක් ඇසුරෙන්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY