වීරයාගේ අසභ්‍ය හැසිරීම -සැමුවෙල්ස්‌ කකුල් උඩතියාගෙන

මම උදේ නැගිට්‌ටෙත් ෂේන් වෝන්ට පාඩමක්‌ කියා දෙන්න බලාගෙන

0
1421

 

බටහිර ඉන්දීය කොදෙව්වන් විස්‌සයි විස්‌ස ලෝක ශූරතාව දිනූ (2014-2016) දෙවතාවේදීම තරගයේ වීරයා වූයේ මාලන් සැමුවෙල්ස්‌ය. නමුත් ඔහුගේ තරග රටාව ඔස්‌ටේ්‍රලියාවේ ෂේන් වෝන්ට නම් එතරම් ‘දිරවන’ බවක්‌ පෙනෙන්නට නොතිබූ බැවින් සැමුවෙල්ස්‌ට හැමදාමත් වෝන්ව අභියෝගයක්‌ විය.

එබැවින් ඔහු තරගයේ වීරයා සඳහා ලැබුණු කුසලානද ”මේක වෝන්ට..’ යෑයි අවඥාවෙන් දක්‌වා සිටියේය.

නව වැනි වරටත් විස්‌සයි විස්‌ස අර්ධ ශතකයක්‌ (නොදැවී 85) වාර්තා කරමින් බටහිර ඉන්දීය කොදෙව්වන්ව ජයග්‍රහණය කරවන තෙක්‌ සටන දියත් කළ මාලන් සැමුවෙල්ස්‌ අවසන් මහා තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණියේද සිය පා ආවරණ සමගය.

”මම තවම අපේ ක්‍රීඩාගාරයට ගියේ නැහැ. ඔබලා ලෑස්‌තිද මගෙන් ප්‍රශ්න අහන්න. කවුරුත් විරුද්ධ නැහැනෙ මම මෙහෙම හිටියට.” යෑයි සැමුවෙල්ස්‌ පැවසුවේ පා ආවරණ සහිතව මේසය උඩට කකුල් දෙක තියා ගනිමිනි. ඔහු සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේද කකුල් දෙකම මේසය උඩ තබා ගෙනය.

 

”මගේ මුහුණ නම් හොඳට තියෙනවා. ඒත් ෂේන් වෝන්ගෙ නම් එහෙම නැහැ.” යනුවෙන් මුහුණ අතගාමින් සැමුවෙල්ස්‌ පැවසුවේ ඔහු ජයග්‍රහණයේ සතුට විඳින විට වෝන්ගේ මුහුණ කළු වී යනු ඇතැයි ඉඟි කරමිනි. විස්‌සයි විස්‌ස ලෝක කුසලානයක්‌ දිනා හිතේ තිබූ කෝපය පිට කර දැමූ සැමුවෙල්ස්‌ සිය ප්‍රතිවාදියා වන වෝන්ව මේ අවස්‌ථාවේ සිහිපත් කිරීමට හේතුවද අනාවරණය විය.

”මම දන්න විදිහට ඔහුට මම මුකුත් කියල නැහැ. හැබැයි හැමදාම වෝන් මාව පහත් කරල කතා කරනව කියල නම් මම දන්නවා. එයා ඉන්දියාව සමඟ අවසන් පූර්ව තරගයට අපි එන කොටත් මහා පහත් විදිහට මාව හඳුන්වල තිබුණා. අද උදෑසන ඇඳෙන් නැගිටින කොටත් මගේ හිතේ තිබුණෙත් එකම ප්‍රශ්නයයි. ඒ වෝන්ට පාඩමක්‌ කියා දෙන්න. ඔහු මාධ්‍ය කුටියේදීත් දිගටම මාව විවේචනය කළා.” යෑයි සැමුවෙල්ස්‌ පැවසීය.

වාර්තා වන අන්දමට ෂේන් වෝන් සහ මාලන් සැමුවෙල්ස්‌ අතර ආරවුල ඇති වී තිබෙන්නේ 2013 වසරේ ජනවාරි මාසයේ සිටය. එදා ඔස්‌ටේ්‍රලියාවේ බිග් බෑෂ් තරගාවලියේ මාලන් සැමුවෙල්ස්‌ ක්‍රීඩා කරන අතරතුර මෙල්බන් ස්‌ටාර් කණ්‌ඩායම නියෝජනය කළ ෂේන් වෝන් සැමුවෙල්ස්‌ දෙවැනි ලකුණ දිව යන අවස්‌ථාවේ ඔහුගේ ටීෂර්ටයෙන් ඇද දමා දුවද්දී දැවී යැමකට හසු කිරීමට උත්සහ කර තිබේ. එතැන් සිට වෝන් ලැබෙන සෑම අවස්‌ථාවකදී ‘වාග් ප්‍රහාර’ මඟින් සැමුවෙල්ස්‌ව බිංදුවටම දැමූ බව ඔහු පවසයි.

සිය ජයග්‍රහණයට කණ්‌ඩායමේ පහළොස්‌ දෙනාම එකා මෙන් සිටිය බවත් තමා ඇතුළු කණ්‌ඩායමට අවශ්‍ය වූයේ වැළලී ගිය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ඉතිහාසය යළිත් අළුතෙන් ලියන්නට බවත් සැමුවෙල්ස්‌ පවසයි. ”අපේ අවුරුදු 19 න් පහළ කණ්‌ඩායමත් ලෝක කුසලාන දිනුවා. කාන්තා පිලත් දිනුවා. ඊට පස්‌සෙ දැන් අපිත් දිනුවා. ඒ ගැන අපිට අද ගොඩක්‌ සතුටු වෙන්න පුළුවන්” යෑයි පැවසූ සැමුවෙල්ස්‌ අවසන් අවුරුදු පහේදී ඔහු උදෑසන අවදිවන්නේ කාරණා දෙකක්‌ හිතේ තියාගෙන බවද පැවසීය.

”අවසන් අවුරුදු පහේදී මම හැමදාම උදේ නැගිටින්නේ දෙවියන්ට සහ මගේ දරුවන්ට ස්‌තුති කරගෙන. මම හැමදාම හිතන්නෙ ඔවුන් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්‌ද කියලා. හැබැයි හැම තරගයකට එනකොට මට ප්‍රශ්නයක්‌ තියෙනවා. ඒ ෂේන් වෝන්” යෑයි සැමුවෙල්ස්‌ පැවසීය.

කොදෙව් මාධ්‍ය කළමනාකරු නොමැතිව මාධ්‍ය හමුවට පැමිණි සැමුවෙල්ස්‌ ”ඔහුට වැඩ තියෙනවා. මම ආවා” යෑයි පැවසූ අතර ඔහු මාධ්‍ය හමුවට එන විට ඔහුගේ මුහුණටම එංගලන්ත නායකයා හමුවුවත් සැමුවෙල්ස්‌ අහක බලාගෙන පැමිණියේය.”

 

අසේල විතාන ඉන්දියාවේ කොල්කටා නුවර සිට

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY