එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු තනතුරු කිහිපයක්‌ම වෙනස්‌ කිරීම ඉතා ඉක්‌මනින්ම සිදුවනු ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

ඒ අනුව එජාපයේ මහලේකම් ධුරය දෙවන පෙළ නායකත්වයට පැවරෙන අතර ඊට යෝජනා වූ නම් අතර අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාගේ නම ඉහළින්ම ඇතැයි ද ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව පක්‍ෂයේ වෘත්තීය සමිති කටයුතු ද ඒ මහතාට පැවරෙනු ඇති අතර ඒ සමඟම එජාපයේ තරුණ නායකයන් වන ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන මහතාට බෞද්ධ කටයුතු ද, විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට මධ්‍යම පංතියේ ආර්ථික කටයුතු යන වගකීම් ද හිමිවනු ඇතැයි පැවසේ.

එජාප ව්‍යවස්‌ථාවට පිටින් ඇති කළ නායකත්ව මණ්‌ඩලය නියෝජ්‍ය නායක, උප නායක යන ධුර මෙන්ම මෑත කාලයේදී ඇති කරන ලද ජාතික නායක ධුරය වෙනුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පක්‍ෂ නායක යන නමින් නම් වෙනු ඇතැයි ද ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එජාපයේ දැනට පවතින ප්‍රධාන තනතුරු එජාප ව්‍යවස්‌ථාවට අනුකූලව පිහිටුවා ඇති අතර පක්‍ෂ දෙවැනි පෙළ හා තෙවැනි පෙළ නායකයන්ට ද විවිධ වගකීම් හිමි වනු ඇත.

අකිත පෙරේරා

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY