වැලිකඩ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අදාළව ඇමැති පාඨලී චම්පික රණවක මහතා රියදුරු ලෙස ජිප් රථය පැදවූ බවට කිසිදු තොරතුරක් වාර්තා නොවන බවට පාදුක්ක පොලිසිය ඊයේ කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත්  ‍වෙත දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව පුද්ගලයන් 37කගේ ප්‍රකාශ ලබාගත් බවත් දුරකථන විශ්ලේෂණ වාර්තා හා අමාත්‍යවරයාගේ ප්‍රකාශ මත පදනම්ව මෙතෙක් කරන ලද විමර්ශනවලදී රියදුරු ලෙස අමාත්‍යවරයා කටයුතු කළ බවට කරුණු අනාවරණය නොවුණ බවට පොලිසිය පැවසීය.

සිද්ධිය ඊයේ (30) නැවත කැඳවුණු අතර, සැකකාර රියදුරු අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පාදුක්ක පොලිසිය එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කළමුත් එයින් ද කිසිවක් අනාවරණය කරගන්න නොහැකි වූ බවය.

ඉකුත් 28 වන දින අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ඔහුට අයත් දුරකථන අංක පිළිබඳව කුලුනු වාර්තා හා විශ්ලේෂණ වාර්තා කැඳවුව ද එහෙයින් ද කිසිවක් අනාවරණය නොවන බවට පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වා පැවසුවේ කැබිනට් අමාත්‍යවරයෙක් මෙම සිද්ධිය හරහා සිටින බැවින් පොලිසිය පක්ෂපාතීව ක්‍රියා කරන බවට චෝදනා එල්ල කළේය.

වාහනයට අදාළව ‘රනින් චාට්’ හෝ ලොග් සටහන් නොතිබීම පිළිබඳව විමතිය පළ කළ නීතිඥවරු ස්ථාන 20ක සී. සී. ටී. වී. දර්ශන අධිකරණය වෙත පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළේ ය.

දින පහකින් සී. සී. ටී. වී. දර්ශන මැකීයන බවට පොලිසිය කළ කරුණු දැක්වීම මොරටුව විශ්වවිද්‍යාලය හරහා සොයා බැලූ බව පැවසූ අගතියටපත් පාර්ශ්වයේ නීතිඥයන් එය දර්ශන මාස 6ක කාලයක් පවතින බව පැවසීය.

අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දින පොතේ හෝ අන්තර්ජාලයේ සටහන් වන දුරකථන අංකය සම්බන්ධව දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා නොමැති බවට නීතිඥවරු චෝදනා කෙ‍ෙළ් ය. මෙහිදී මෛත්‍රී ගුණරත්න නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ සිද්ධිය වූ ප්‍රථම අවස්ථාවේ දුන් කටඋත්තරය දුරකථන ඇමතුමකින් අනතුරුව සාක්කිකරුවන් වෙනස් කර ඇති බවත්, මෙය හුදෙක් දේශපාලන දඩමීමාවක් කරගෙන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ප්‍රහාර එල්ල කරන බවය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ධාවන සටහන් පොත සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් දිය නොහැකි බවත්, අනතුර සිදුකළ රියදුරු කවුද? යන්න සලකා බැලිය යුතු වන අතර, වැරදි නිවැරදිභාවය නඩු විභාගයකින් අනතුරුව තීරණය කරන බව පැවසීය. අගතියට පත් පාර්ශ්වයේ කරුණු සලකා අමාත්‍යවරයාට තවත් දුරකථන සබඳතා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් අමාත්‍යවරයාගේ හැඳුනුම්පත් අංකය ඔස්සේ ලබ‍ාගෙන ඇති දුරකථන සබඳතා වාර්තා කැඳවා වැඩිදුර විමර්ශන පවත්වන ලෙසට පොලිසියට නියම කළේය.

අනතුර වූ වේලාවේදී ගත් දුරකථන අංක පිළිබඳ පමණක් විමර්ශනය කරන ලෙස පොලිසියට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා, අගතියට පත් පාර්ශ්වය ලබාදුන් සී. සී. ටී. වී. දර්ශන පරීක්ෂා කරන ලෙසට ද පොලිසියට නියෝග කළේය.

මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන රහස් පොලිසියට ලබාදෙනවාද? යන්න තීරණය ඊළඟ නඩු දිනයේ ලබාදෙන බව පවසමින් නඩුව තුළට 4/27 දිනට කල් තැබිණි. නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ දීප්ති යුවතිලක, නීතිඥ නුවන් ජයවර්ධන ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

සිරන්ජනි කුමාරි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY