මේ මොහොත වන විට අපේ රටේ දරුවන් ගේ දරා ගැනීමේ ශක්තිය බෙහෙවින්ම පහළ මට්ටමක පවතී
මාධ්‍ය හරහා ඔවුන් දකින සිද්ධි සහ ආදර්ශ මේ නොදරුවන් අධි සංවේදී ඉක්මන් තීරණ ගන්නා පිරිසක් බවට පත් කර ඇත
සාමාන්‍ය පෙළ ප්‍රතිපල පිටවීමට නියමිත මේ මොහොතේ දෙමව්පියන්ට මතක් කළයුතු යමක් තිබේ

තම දරුවාගේ අනාගතය මේ ප්‍රතිපලය මත රඳා පවතින බව අදහන බොහෝ වැඩිහිටියන් දරුවන්ටත් වඩා ප්‍රතිපලය ගැන බලා පොරොත්තු තබාගෙන සිටි
ඒ නිසාම මේ මොහොත වන විට බොහෝ දරුවන් පසුවන්නේ දැඩි මානසික පීඩනයකිනි
බලමුකෝ ප්‍රතිපලය ….. වරෙන්කො ෆේල් වෙලා …. මම හොඳ වැඩක් කරන්නම් …. ආදී ලෙස දොඩන වහසි බස් නිසා දරුවන් අසරණව සිටී
තමන් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ කැප කිරීම් වල තරමට බලපෑමේ තරමද උග්‍ර වෙයි

hanged

අසමත් හෝ ප්‍රමාණවත් ප්‍රතිපල නොලද දරුවන් කර ගත හැකි කිසිවක් නොමැතිව සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ඉහළ යමින් පවතී

මාධ්‍ය හරහා ඒවාට දෙන ආකර්ශනීය ප්‍රචාරය සමග ළමා මනස තුළ තැන්පත් කර ඇති “අවසාන විසඳුම ලෙස සිය දිවි නසා ගැනීම” ඔබේ දරුවා තෝරා ගතහොත් ?
පසුගිය කාලය පුරා බොහෝ දෙමාපියන් වෙත උපදේශන සේවා පැවැත්වීමෙන් ලද අත්දැකීම් නිසා පමා වන්නට පෙර එවැනි දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරමි

ඔබේ දරුවාගේ ජීවිතයට සැබවින්ම ආදරය කරන්නේ නම් ඔවුන් මරණයේ කඩ ඉම දක්වා තල්ලු කිරීමෙන් වළකින්න
මේ වන විට ඔවුන් විභාගය ලියා අවසන්ය
දැන් ප්‍රතිඵලය වෙනස් කල නොහැක

එහෙයින් තර්ජනය කිරීමට හෝ දරුවා බිය ගැන්වීමට වඩා මේ මොහොතේ ඔවුන් අස්වසාලීම ඉතා වැදගත්ය
ඔබ අසමත් වීම පවා භාර ගැනීමට අකැමැති නැති බව දරුවාට ඒත්තු ගැන්වීම වඩා බුද්ධිමත්ය

අසමත් වී තිබුණහොත් ඊළඟ වතාවේ හොඳින් උත්සාහ කරණ බවට ඔවුන් පොරොන්දු කරවා ගැනීම තුළින් ඉලක්ක දෙකක් සපුරා ගැනීමට ඔබට හැකිය
දරුවාගේ බිය තුරන් කිරීමත් , ඊ ළඟ වතාව සඳහා අධිෂ්ඨානයක් ඇති කිරීමත් එමගින් කළ හැකිය
විභාගය අසමත් වුවහොත් තවත් විකල්ප අවස්ථා ඇති බව දරුවාට පෙන්වා දිය යුතුය

ඉවක් බවක් නොමැතිව දෙස් දෙවොල් තබනු වෙනුවට පිය වරුන්ටත් තැබූ බලාපොරොත්තු ගැන හඬා වැටෙනු වෙනුවට මව් වරුන්ටත් කළ හැකි වැදගත්ම කාර්යය වන්නේ අසමත් වූ දරුවා ගැන වැඩි අවධානයකින් සිටීමයි
පවුල සමග හොඳ බැඳීමක් නැති හෝ මුරණ්ඩු දරුවන් පිළිබඳවද මිතුරු සමාගම් නැති තනි වූ දරුවන් පිළිබඳවද ඔවුනට නොදැනෙන ලෙස වැඩි අවධානයකින් සිටීම වැදගත්ය

තම දරුවා සාරියකින් ගෙළ වැල ලා ගත් පසු මිණිය බදාගෙන හඬනවාට වඩා බුද්ධිමත්ව ක්‍රියා කිරීම පහසුය

නාරද විජයසුරිය

narada.wijesuriya@gmail.com

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY