“ කපිල හැමදාම මගෙන් කප්පම් ගන්නවා. මම දුක්‌ මහන්සි වෙලා හොයන සල්ලි මිනිහට දෙන්න ඕන. ගිය 10 වැනිදා රාත්‍රියෙත් මිනිහා මගෙන් කප්පම් ගන්න ආවා.

එදා මම කපිලටයි ගෝලයෝ හතර දෙනාටයි හොඳට බොන්න දීලා පස්‌ දෙනාටම ගහලා මරලා වෑන් එකේම දාගෙන ගිහින් පෙට්‍රල් දාලා ගිනි තිබ්බා.“ යෑයි දංකොටුව පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මනෝඡ් අමිල නමැත්තා රහස්‌ පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කරමින් කියා තිබේ.

දංකොටුව පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දංකොටුව ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු වූ ප්‍රධාන සැකකරු මනෝඡ් අමිල නමැත්තා ඇතුළු පස්‌ දෙනෙකු ඊයේ (13 දා) අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් මාරවිල අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක බොයිලේරුව ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත. මනෝඡ් අමිල නමැත්තා එම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමෙන් පසුව ඝාතනයට ලක්‌වූ නේවි කපිල ඔහුගෙන් මාසිකව රුපියල් 50000 ක කප්පම් මුදලක්‌ ඉල්ලා ඇත.

මනෝඡ් අමිල අදාළ කප්පම් මුදල මාසිකව නේවි කපිල නමැත්තාට ටික කාලයක් ලබා දී තිබුණි. කපිල දියණිය දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත කරන්නෙ ඒ අතරතුරය.

කපිල බන්ධනාගාරගත කිරීමෙන් පසුද මනෝඡ් අමිල නමැත්තාට දුරකථනයෙන් කතාකර අදාළ කප්පම් මුදල තම නිවසට ලබා දෙන ලෙස තර්ජනය කර ඇත. එහෙත් මනෝඡ් අමිල එම මුදල් ලබාදී නැත.

නේවි කපිල නමැත්තා ඇප මත මුදා හැරීමෙන් පසුව නැවත දංකොටුව ප්‍රදේශයට පැමිණ මනෝඡ් මුණගැසී අදාළ කප්පම් මුදල මාසිකව ලබා නොදීම පිළිබඳව ඔහුට බැණවැදී ඇත. තම නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා රුපියල් 50000 වෙනුවට මාසිකව රුපියල් 70000 කප්පම් මුදලක්‌ ලබා දිය යුතු බව කියමින් නේවි කපිල මනෝඡ්ට තර්ජනය කර තිබේ.

පසුගිය 10 දා රාත්‍රි නේවි කපිල මනෝඡ්ගේ දංකොටුවේ පිහිටි නිවසට පැමිණ ඇත්තේ අදාළ කප්පම් මුදල ලබා ගැනීම සඳහායි. එදින මනෝඡ් නේවි කපිලට හා ඔහුගේ සගයන් වෙනුවෙන් මත්පැන් සාදයක්‌ පවත්වා ඇත.

එදින රාත්‍රි 12.30 ට පමණ සාදය නිමකර ආපසු යන්නට සූදානම් වී නේවි කපිල රුපියල් 70,000 කප්පම් මුදල මනෝඡ්ගෙන් ඉල්ලා ඇත. අදාළ මුදල ලබා දීම සඳහා දංකොටුව පොළ ප්‍රදේශයට යායුතු බව මනෝඡ් නේවි කපිලට දැනුම් දී ඇත. පසුව ඔවුන් වෑන් රථයේ නැගී දංකොටුව පොළ ප්‍රදේශයට ගොස්‌ තිබේ.

එහිදී මනෝඡ් නේවි කපිල කැඳවාගෙන ගොස්‌ මාකඳුර සතිපොළට නුදුරු පාළු ස්‌ථානයකදී ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත. ඒ ආකාරයටම නේවි කපිලගේ මිතුරන්ද එක්‌ පුද්ගලයා බැගින් පොළට නුදුරු ස්‌ථානයට රැගෙන ගොස්‌ පහරදී ඝාතනය කර තිබේ.

අනතුරුව ඇඟලුම් කම්හලේ බොයිලේරුවේ සේවය කරන තරුණයන් සිව් දෙනකු කැඳවූ මනෝඡ් ඔවුන් සමඟ එක්‌ව මළ සිරුරු වෑන් රථයේ පටවාගෙන දංකොටුව පාළු ප්‍රදේශයකට රැගෙන ගොස්‌ පෙට්‍රල් දමා ගිනි තබා විනාශ කර පලාගොස්‌ ඇත.

ඝාතනයට ලක්‌වූ නේවි කපිල නමැත්තා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි. (අයි. ආර්. සී.) සිය දියණිය දූෂණය කිරීම, මංකොල්ල කෑම් ඇතුළු අපරාධ 15 කට ආසන්න සංඛ්‍යාවකට ඔහුට චෝදනා එල්ල වී ඇත.

කල්බදු සමාගමක කොන්ත්‍රාත් පනදම යටතේ සේවය කර ඇති නේවි කපිල නමැත්තා ඝාතනයට ලක්‌වන අවස්‌ථාවේ දංකොටුවට ගොස්‌ තිබුණේ එම ආයතනයටම අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් බවද හෙළිවී ඇත.

 

 

nethfm

https://www.facebook.com/bruno.diwakara/videos/1099861180053507/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY