ප්‍රේමය, අහිමිවීම සහ අපේ ආහාර ‘ (Love, Loss and What We Ate ) නම් වූ අමුතුම තාලයේ පොත නොවන්නට අපට මේ අපූරු ගැහැණිය පද්මා ලක්ෂ්මි ගැන කතා කරන්නට ඉතිරිව ඇත්තේ ඇය ‘සැටනික් වර්සස්‘ නමින් පොතක් ලියා මුස්ලිම් ලෝකයේ උදහසට ලක්ව සිටි බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දීය ලේඛක සල්මාන් රුෂ්ඩිගේ හිටපු බිරිය ලෙස හෝ අමෙරිකාවේ රියැලිටි කලාවේ අතිශය ජනප්‍රිය ‘ටොප් චෙෆ්‘ වැඩසටහන ඉදිරිපත් කරන්නිය ලෙස හෝ පමණි.

රුෂ්ඩිගේ සිවුවැනි බිරිය ලෙස ඔහු සමග වසර 8ක් දීග කෑ මේ මදුරාසි දෙමළ කාන්තාව ඔහුගෙන් දික්කසාද වූවාට පසුව අවධානයට ලක් වූයේ අමෙරිකානු රූපවාහිනියේ අතිශය ජනප්‍රිය ‘ටොප් චෙෆ්‘ රියැලිටි වැඩසටහනත් සමගිනි. එහෙත් ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු පසුගිය 8 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී ‘ප්‍රේමය, අහිමිවීම හා අපේ ආහාර‘ නමින් පිටු 324කින් සමන්විත කෘතියක් එළිදැක්වීමත් සමග ඇය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින්නීය.

අරුම පුදුම ගතිපැවතුම් ඇති මේ 45 හැවිරිදි කාන්තාව සිය කෘතිය මගින් ඇගේ ජීවිතයේ සියලු රහස් කවුලු පියන් කිසිදු චකිතයකින් තොරව හැර දැමුවේ සම්ප්‍රදායික මදුරාසි දෙමළ ගැහැණියක සතු සංස්කෘතික බැඳීම් එහෙම පිටින්ම උනා දමමිනි. කොහොමටත් ඇය කුඩා වියේදීම සිය මව සමග අමෙරිකාවට සංක්‍රමණය වීමෙන් පසුව ගෙවා දැමුවේ එවැනි සංස්කෘතික බැඳීම්වලින් තොර බටහිර පන්නයේ මෝස්තරකාරියක ලෙසිනි.

එලෙස දකුණු ඉන්දියාවෙන් අමෙරිකාවට සංක්‍රමණය වූ පද්මා ලොව සුන්දරතම කාන්තාවන් අතරින් කෙනෙකු ලෙස ඇතැමුන් හැඳින්වුවත් පාසල් වියේදී නම් ඇගේ පෙනුම නිසා ඇනුම්පද අසන්නට වූ සැටි මෙන්ම ඇගේ පැහැය නිසා වර්ගවාදී ඉලක්කයක් බවට පත්වී තිබූ අයුරු ඇය සිය කෘතියෙහි සඳහන් කරන්නීය.

‘මගේ හමේ පාට නිසා බොහෝ අමෙරිකානුවන්ට මාව නිකම් තුන්වැනි ලෝකයේ රටක මුඩුක්කු ළමයෙක් ගාණටයි පෙනුණේ. හරියට ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටවල වගේ. මැලේරියාව වගේ වසංගත රෝග බෝවෙන, කටේ තියන්න බැරි තරමට මිරිස් දැමූ සැර කෑම වගේම නරක්වුණු කෑම, තදපාට ඇඳුම් වගේ ඉන්දියාවට ආවේනික දේවල් ඔවුන්ට විකාරයක් වගේ පේන්න ඇති.‘

කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලක කුඩා පංතිවල ඉගෙනුම ලබද්දී ඇයට කවුරුත් ආමන්ත්‍රණය කළේ ‘බ්ලැකී‘ කියාය. පසුව ලොකු පංතිවලට යද්දී ‘බ්ලැක් ජිරාෆ්‘ කියා ආමන්ත්‍රණය කරන්නට පටන්ගත් බව පද්මා සිහිපත් කරන්නීය.

අඩි පහකුත්, අඟල් නවයක් උසැති මේ ගැහැණිය සිය ළමාවියේදීත් එවැනිම කැපී පෙනෙන උසකින් යුතු දැරියක වූවාය. මම අටවැනි පන්තියේ ඉන්නකොටත් සෑහෙන්න උසයි. මට උස බෙල්ලකුත් තිබුණු නිසා හැමෝම කිව්වේ ‘බ්ලැක් ජිරාෆ්‘ කියලයි.‘

‘ඒත් මට නම් මං පිටස්තරයෙක් කියලා කිසිම හැඟීමක් දැනුණේ නෑ. මම අපිටම ආවේනික ඉන්දියානු ආහාරපානවලට පුරුදුව සිටියත්, අම්මත් එක්ක අපේම භාෂාවෙන් කතාබහ කළත් පාසලේ දී මමත් අමෙරිකානුවෙක් කියන හැඟිමක් තමයි මට තිබුණේ. ඒත් එයාලට මම කොහෙත්ම අමෙරිකානුවෙක් වුණේ නෑ.‘

අමෙරිකාවේ මැසචුසේ විශ්ව විද්‍යාලයේ දී කලාව පිළිබඳ එම්.ඒ.උපාධිය ලබා අවුරුදු 21දී මෝස්තර නිරූපනයට පිවිසි පද්මා ඉංග්‍රීසි, දෙමළ, හින්දි භාෂාවලට අමතරව ඉතාලි හා ස්පාඤ්ඤ බසත් මැනවින් ප්‍රගුණ කළේ සිය වෘත්තීය ජීවිතයට පිටුවහලක් කරගැනීමටය.

‘මම තමයි පැරීසියේ වගේම මිලාන් හා නිව්යෝක්වලත් මෝස්තර නිරූපිකාවක් විදිහට රැකියාව පටන් ගත්තු මුල්ම ඉන්දියානු කෙල්ල.‘ ඇය එකළ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් සොයා ගත්තේ එලෙස මෝස්තර නිරූපිකාවක ලෙස සහ නිළියක ලෙස කෙටිකාලීන රැකියාවල නිරතවෙමිනි.

වසර 1999 දී නිව්යෝක් නුවර පැවැති ප්‍රියසම්භාෂණයක දී පද්මාට සල්මාන් රුෂ්ඩි මුණගැහෙන විට ඇය සිටියේ අවුරුදු විසිගණන්වල අගභාගයේය.

‘ඇත්තටම ඒ වෙද්දී මම හිටියේ ආදරය විඳීමේ ආසාවකින් වගේම තරුවක් වීමේ ආසාවකිනුයි. කසාද නොබැන්ඳාට අපි නිව්යෝක් ගිහින් එකට ජීවත් වුණා.‘ ඇය කියන්නීය.

නමුත් මෝස්තර නිරූපන, රියැලිටි වැඩසටහන්වලට සම්බන්ධවීම් මෙන්ම විවිධ දැන්වීම්වලට පෙනී සිටිමින් අවිවේකී ජීවන රටාවක නිරතවීම නිසා තමාට වඩා අවුරුදු 23ක් වැඩිමල් සල්මාන් රුෂ්ඩි සමග එකට ජීවත්වීම දිනෙන් දින ගැටලු සහගත ව්‍යාකූලත්වයක් ඇති කළ බව ඇය සඳහන් කරන්නීය. කෙසේවෙතත් අවුරුදු 5ක් පමණ එකට ජීවත්වීමෙන් පසුව දෙදෙනා විවාහ දිවියට ඇතුළත් වූහ. එහෙත් රුෂ්ඩි සමග ගෙවූ අඳුරු ජීවිතය අනාවරණය කරමින් ඇය කියන්නේ ඔහු තමාගේ අසීමිත ජනප්‍රියත්වය නොරිස්සූ බවකි.

වරක් ඇය නිව්ස්වීක් සඟරාවේ කවරයට පෙනී සිටීමෙන් ඔහු බොහෝ සේ උරණ විය. අධික සේ වෙහෙසීමෙන් ඇය ඇතැම් දිනවල රාත්‍රියේ වේලාසනින් නින්දට වැටීම ඔහු දුටුවේ තමා සමග ලිංගිකව එක්වීම මඟ හැරීමට ඇය සිතාමතා කරන වැඩක් ලෙසිනි. තවදුරටත් රුෂ්ඩි සමග එකට ජීවත්වීමේ අනාරක්ෂිත බව වටහාගත් ඇය වසර තුනක විවාහ දිවියට සමුදෙමින් ඔහුගෙන් දික්කසාද වීමට තීරණය කළ අතර දෙදෙනා 2007 දී ඒ සඳහා නීතියේ පිහිට පැතූහ.

සල්මාන් රුෂ්ඩිගෙන් වෙන්වීමෙන් පසුව ඇය සිය නිදහස සිතේ හැටියට භුක්ති වින්ඳාය. ඉන් පසුව ඇය තවත් සඟරා ගණනාවකම කවරවලට පෙනී සිටි අතර 2009 දී ‘අලූරි‘ සඟරාවේ මැයි කලාපයට කිසිදු චකිතයකින් තොරව නිරුවත් ඡායාරූපයකට පෙනී සිටියාය.

ඉන් පසුව ඇය රුෂ්ඩිගේම වයසේ පසුවූ මැදිවියේ ප්‍රකෝටිපතියකු වන ජාත්‍යන්තර ක්‍රීඩා හා මාධ්‍ය ආයතනයක් වන අයි.එම්.ජි. හී ප්‍රධාන විධායක නිලධාරී ටෙඩී ෆෝස්ට්මාන් සමග විවාහ වූවාය. එහෙත් ඒ අතරතුරම ඇගේ සිත බැඳුණේ සුප්‍රකට ඩෙල් පරිඝනක සමාගමේ නිර්මාතෘ මයිකල් ඩෙල්ගේ සොයුරු ඇඩම් ඩෙල් වෙතය.

දෙදෙනාගේ කෙටිකාලීන සම්බන්ධතාව ඉතා දුරදිග ගිය එකක් වූ අතර ඇය ඔහු නිසා ගැබ් ගත්තාය. එසේ තිබියදිත් 2011 නොවැම්බරයේ ෆෝස්ට්මාන්ගේ මරණය දක්වාම ඔහු සමග දිවි ගෙවූ ඇය තමාට ලැබෙන්නට සිටි දරුවාගේ පියා ඇඩම් ඩෙල් බවට සැක හැර දැනගැනීමට පීතෘත්වය සොයා බැලීමේ පරීක්ෂණයක් ඉල්ලා සිටියාය.

සිඟිති දියණිය ක්‍රිෂ්ණා තියා ලක්ෂ්මි ඩෙල් නමින් උපත ලැබුවේ ඉන් පසුවය. විවාදයට තුඩුදුන් මේ සිදුවීම මාධ්‍ය වෙතින් සඟවා ගැනීමට පද්මා සහ ඇඩම් යුවල සමත්වූ අතර පසුව ක්‍රිෂ්ණාගේ පීතෘත්වය පිළිගනිමින් ආදරණීය පියකු ලෙස ඔහු සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළේය. දැන් ඒ සියල්ල ඇය සිය කෘතිය මගින් ප්‍රසිද්ධියට පත්කොට තිබේ.

මුළුමනින්ම නාට්‍යමය ස්වරූපයක් ගත් පද්මාගේ පොතේ ඇය කුඩාවියෙහි මුහුණපාන්නට වූ කටුක දුක්බර සිදුවීම් මෙන්ම අසම්පූර්ණ හා ගෘංගාරාත්මක පෙම් පළහිලව් ගැනත් ඉතා සංවේදී කතා ගණනාවකි. එපමණක් නොව ඉහුම් පිහුම් ගැන ඇගේ ඇති දැනුමත්, ගිජුකමත් ඇය නිර්ලෝභිව මේ කෘතියට එක් කොට තිබේ.

මෙහි වඩාත්ම කැපී පෙනෙන පරිච්ඡේදය වන්නේ සල්මාන් රුෂ්ඩිගෙන් දික්කසාදවීමෙන් කලෙකට පසුව තමාට ලැබෙන්නට සිටි දරුවාගේ නියම පියා කවුරුන්දැයි සොයා ගැනීමට ඇය දැරූ උත්සාහය ගැන කියැවෙන පරිච්ඡේදයයි. සෑහෙන සටනකින් පසුව ඇයට ලැබෙන්නට සිටි දියණියගේ පියා සොයාගත් ඇය දරුවාගේ පීතෘත්වය පිළිගැනීමට බල කරමින් ඒ මිනිසාට එරෙහිව අමෙරිකාවේ උසාවි පුරා රස්තියාදු ගැසූ අයුරුත් සවිස්තරාත්මකව සඳහන් කරන්නීය.

පද්මා ලක්ෂ්මි මේ ආන්දෝලනාත්මක කෘතිය එළිදැක්වීමට පෙර විශේෂිත දකුණු ඉන්දීය ඉහුම් පිහුම් ගැන පොත් කිහිපයක්ම ලියා පළකළාය. එහෙත් සිය ජීවිතයේ අඩුම කුඩුම සියල්ල එකතු කොට කාන්තා දිනයේ දී පොතක් එළිදැක්වූයේ ඇයිදැයි කවුරුත් ඇගෙන් අසති.

එපමණක් නොව ඇය කුඩා වියේදී මුහුණපාන්නට වූ ලිංගික අඩත්තේට්ටම් කිසිදු චකිතයකින් තොරව ප්‍රසිද්ධ කිරිමෙන් ඇගේ ආත්ම ගරුත්වය විනාශ කරගෙන ඇතැයි ඇතැමුන්ගේ අදහස වී තිබේ. ‘මං වගේ ගැහැණියෙක් මේ ගැන කතා කළේ නැත්තම් වෙන කවුරු කතා කරන්නද…?‘ කුඩා වියේ සිදුවන ලිංගික අඩත්තේට්ටම් ගැන ඇය එසේ කියන්නීය.

පද්මාගේ මාපියන් දික්කසාද වී වෙන විවාහ කරගන්නා විට පද්මාගේ වයස යන්තම් අවුරුදු 2 පිරුණා පමණි. පවුලේ එකම දරුවා වූ ඇය ඉන් පසුව හැදී වැඩුණේ ඇගේ මව සමගිනි. අනතුරුව හෙදියක ලෙස අමෙරිකාවේ රැකියාවක් සොයා ගැනීමෙන් පසුව ඇගේ මව සහ සුලු පියා සමග පද්මා අමෙරිකාව බලා පිටත්ව ගියාය. ඒ වනවිට ඇගේ මවට සුලුපියාගෙන් දාව උපන් බාල සොයුරු සොයුරියන් දෙදෙනකු ද සිටියහ.

අමෙරිකාවට යාමෙන් පසුව එකට පද්මා අවුරුදු 7 දී පමණ ඇගේ සුලු පියාගේ ලිංගික අඩත්තේට්ටම්වලට හසුවූ අයුරු ඇය සිය කෘතියට ඇතුළත් කොට ඇත්තේ එමගින් සියලු බාලවයස්කාර දැරියන්ට කදිම පාඩමක් කියා දෙන්නට මෙනි.

‘අපි නිව්යෝර්ක්වල තට්ටු නිවාසයකයි ජීවත්වුණේ. එක්තරා රාත්‍රියක මට හදිසියේම ඇහැරුණා. ඒ වෙලේ බාප්පා හිටියේ මගේ ඇඳේ. මම දන්නෙ නෑ ඊට කළින් කී පාරක් එහෙම වෙන්න ඇද්ද කියලා. ගැහැණු ළමයකුගේ අහිංසකකම බිල්ලට ගත්තට පස්සේ ඒක ආපහු දෙන්නෙ කොහොමද..? මම හැමදේම අම්මාට කිව්වා. ඊළඟ සතියේ අම්මා මාව ආපහු ඉන්දියාවට පිටත් කළා. දෙවැනි කසාදයක් කරගත්තු එක ගැන අම්මා සෑහෙන්න දුක්වුණා. මේ කාරණය නිසාම ඊට පස්සේ අම්මා ඒ මිනිහාගෙනුත් දික්කසාද වුණා.‘

කුඩා කාලයේ සිටම මෙවැනි විවිධ හැලැහැප්පීම් ගණනාවකට පාත්‍ර වූ පද්මා ලක්ෂ්මිගේ ජීවිත කතාව ඇතුළත් කෘතියේ වඩාත් සංවේදිජනක කතාවක් වන්නේ ඇගේ මාපියන් දික්කසාද වීමෙන් වසර 20කට වැඩි කාලයක් ගතවනතුරු සිය පියා දැකීමේ වාසනාවක් ඇයට නොතිබීමය. ඇයට ඒ ස‍ඳහා අවස්ථාව ලැබුණේ දශක දෙකකට පසුවය.

‘මට අවුරුදු විසිගණන් වෙනතුරුම මම අඩුම ගාණේ මගේ තාත්තා කොයිවගේද කියලවත් දැන සිටියේ නෑ. අපේ අම්මා අපිට අමෙරිකාවේ හොඳ ජීවන රටාවක් ලබා දීලයි තිබුණේ. මට තාත්තගේ ෆොටෝ එකක්වත් තිබුණේ නෑ බලන්න. අපේ අම්මා ඒවා ඔක්කොම ඉරලා වීසිකරලා.‘

ඇයට නැවතත් සිය පියා දැකගැනීමේ අවස්ථාව උදාවෙද්දී අවුරුදු 25ක් ගතවී තිබිණි.

‘මම කෝච්චියෙන් බැංග්ලෝර් ගියා. එහේ ටාජ් සමුද්‍ර හෝටලයේ ලොබියේදී අපි මුණගැසුණා. තාත්තා මගෙන් වෙන්වුණාට පස්සේ මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා හිතට වද දීපු ප්‍රශ්නෙ මම ඒ වෙලේ තාත්තාගෙන් ඇහුවා.‘

‘මම දන්නවා තාත්තේ…ඔයාට ඔයාගේ පැත්තෙන් කියන්න ගොඩක් දේවල් ඇති ඇයි අම්මගෙන් වෙන් වුණේ කියලා. ඒත් ඇයි තාත්තේ ඔයාට මාව ඕන වුණේ නැත්තේ…?‘

මට මතකයි තාත්තා එවෙලේ කිව්වා එහෙම කළේ මගේම හොඳටයි කියලා. ඒ කොහොම වුණත් ළමයෙක්ට තමන්ගේ අම්මා වගේම තාත්තා කවුද කියලත් දැනගන්න දැක ගන්න වටිනවා. අන්න ඒ නිසා තමයි මම මගේ දුවට තාත්තා කෙනෙක් හොයලා දෙන්න මහන්සි වුණේ. ‘ පද්මා කියන්නීය.

සටහන – ෆවුස් මොහොමඩ්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY