ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කරන කෝටිපති දෙමාපියන්ගේ දරුවන් පැහැරගෙන කප්පම් ඉල්ලීමේ ජාවාරමක්‌ මෙරට ඇතැම් ජාත්‍යන්තර පාසල් තුළ ක්‍රියාත්මකව ඇතැයි අන්තර් ජාතික මානව හිමිකම් බළකායේ ජාත්‍යන්තර කටයුතු මහලේකම් වෛද්‍ය කේ. ආර්. ක්‍රිෂ්ණා මහතා 08 වැනිදා පැවැසීය.

ගල්කිස්‌ස ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු පැහැර ගැනීමට තැත් කිරීමක්‌ සම්බන්ධයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව හෙළි කළේය.

පැහැර ගැනීමට තැත්කළ බව කියන දරුවා සහ ඔහුගේ දෙමාපියන් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය ක්‍රිෂ්ණා මහතා මෙසේද කීය.

මෙරට ජාත්‍යන්තර පාසල් නමින් පවතින බොහෝ පාසල්වල ප්‍රමිතිය හෝ එහි ගුණාත්මක භාවය සොයා බැලීමට වගකිව යුතු ආයතනයක්‌ නැහැ. එම පාසල්වලින් සිදුවන අක්‍රමිකතා ගැන බොහෝ දෙමාපියන් පැමිණිලි කිරීමට යන්නෙත් නැහැ.

නමුත් ගල්කිස්‌ස ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අවුරුදු 06 ක දරුවෙක්‌ එම පාසලේම කිසියම් පිරිසක්‌ පැහැර ගැනීමට තැත්කර ඇති බවට දරුවාගේ දෙමාපියන් ගල්කිස්‌ස පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එම නිසා නිසි සුදුසුකම් නොමැතිව ආරම්භ කර ඇති ජාත්‍යන්තර පාසල් ගැන සොයා බැලීමකින් තොරව දරුවන් ඇතුළත් නොකරන ලෙස දෙමාපියන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

දරුවාගේ පියාවන මොහොමඩ් ඉත්තිකාර් මහතා – මගේ දරුවා ගල්කිස්‌ස ජාත්‍යන්තර පාසලක දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් ඉන්නවා. පසුගිය පෙබරවාරි 19 වැනි දින දරුවා පාසල තුළ සිටියදී දහවල් 11.30 ට පමණ යම් තැනැත්තෙකු දරුවාට පාසලෙන් එළියට යන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව මගේ හය හැවිරිදි දරුවා ගේට්‌ටුවෙන් පිටතට පැමිණි අවස්‌ථාවේ තවත් පුද්ගලයෙක්‌ දරුවා ත්‍රිරෝද රථයකට නංවා ගැනීමට උත්සාහ කර තිබෙනවා. දරුවා ඔහුට බියවී ගල්කිස්‌ස සිට දෙහිවල පාලම අසල දක්‌වා දිවගොස්‌ සැඟවී තිබෙනවා.

දරුවා පාසලෙන් ලබාගැනීමට ගිය අපගේ රථයේ රියදුරු දරුවා පාසලේ නොමැති බව බිරිඳට දැනුම්දී තිබෙනවා. ඇය එම අවස්‌ථාවේම මටත් දැනුම් දුන්නා. අපි වහාම ක්‍රියාත්මක වී සිටියදී දෙහිවල ප්‍රදේශයකදී තවත් ත්‍රිරෝද රථ හිමියකුට දරුවා හමුවී දෙහිවල පොලිසියට භාරදීමට ගොස්‌ සිටියදී අපට හමුවුණා.

මට සැකයි දරුවා පාසලෙන් පැහැරගෙන මගෙන් මුදල් ඉල්ලීමට තැත් කළාද කියලා. මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියටත් දැනුම් දුන්නා. තවම නිසි විමර්ශනයක්‌ සිදුවුණේ නැහැ. මේ සම්බන්ධයෙන් පාසලෙන් විමසීමට ගිය අවස්‌ථාවේ මගේ බිරිඳ ඇතුළු අයට විදුහලේ වගකිවයුතු අය බැණ එළවා ගත්තා.

මෙහිදී පැහැර ගැනීමට උත්සාහ දැරූ බව කියන දරුවාද තමා මුහුණදුන් අත්දැකීම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

 

චමින්ද සිල්වා

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY