අය-වැය යෝජනාවළියට අදාළව බදු ප්‍රතිපත්ති කිහිපයක් සංශෝධනය කළේ පැවැති රාජපක්ෂ රජය විසින් ජාතික ණය පද්ධතියට ඇතුළු කර නොගැනුණු රුපියල් බිලියන 1042.8 ක (ට්‍රිලියන 1.04)ණය මුදල ගෙවා දැමීමට බව රජය පවසයි.

බදු ප්‍රතිපත්ති කිහිපය සංශෝධනය කිරීම තුළින් අඩු ආදායම් ලාභීන්ට කිසිම බරක් නොපැටවෙන බව රජය අවධාරණය කරයි. ඉහත ණය ගෙවීමට අදාළ මුදල් රාජපක්ෂ බද්ද ලෙස නම් කර ධනපතියන්ගෙන් අය කර ගන්නා බව ද රජය පවසයි.

ජාතික ණය පද්ධතියට ඇතුළත් නොකර රාජපක්ෂ රජය විසින් ගෙන ඇති රුපියල් ට්‍රිලියන 1.04 ක ණය මුදලෙන් වැඩිම ප්‍රතිශතයක් යොදා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා එයාර් ලයින්ස් වැනි ජනතාවට බරක් වූ ආයතනවලටයි.

2016 අය-වැය යෝජනාවලින් ජාතිය ගොඩනැඟීමේ බදු ප්‍රතිශතය සියයට දෙකේ සිට හතර දක්වා වැඩි කිරීමට යෝජනා කෙරුණ ද එමගින් සමස්ත ආර්ථිකයට බලපෑමක් එල්ල වන බැවින් ජාතිය ගොඩනැ‍ඟීමේ බද්ද තවදුරටත් සියයට දෙකේ පවත්වා ගැනීමට රජය තීරණය කළේය. වැට් බදු වැඩිවීම අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා කිසිසේත් අදාළ නොවන බව ද රජය සඳහන් කරයි.

රජය අඩු ආදායම් ලාභීන්ට කිසිදු බරක් පැටවීමට ක්‍රියා නොකරන බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. රාජපක්ෂ රජය ගෙන ඇති මෙම ණය මුදල ගෙවීමට මුදල් සොයා ගැනීම සඳහා පුවත්පත් මුද්‍රණය කරන කඩදාසි සඳහා නව බද්දක් පැනවීමට ද රජය තීරණය කර තිබේ.

පැවැති රජය පුවත්පත් මුද්‍රණ කඩදාසි සඳහා සියයට දෙකක බද්දක් පනවා තිබුණත් එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසු එම බද්ද ඉවත් කළ බවත් රජය පෙන්වා දේ. 2016 අය-වැය යෝජනා මගින් පුවත් පත් මුද්‍රණ කඩදාසිවල බදු වැඩි කිරීමට යෝජනා කෙරුණ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම බදු මුදල ඉවත් කෙරුණු බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

රාජපක්ෂ පාලන සමයේ දී ජාතික ණය පද්ධතියට ඇතුළත් නොවු ණය මුදල ගෙවා දැමීමට නම් අඩු ආදායම් ලාභි ජනතාවට බර නොපටවා පුවත් පත් මුද්‍රණ කඩදාසි බදු වැඩි කිරීමට තීරණය කළ බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

උද්ගත වී ඇති තත්ත්වය යටතේ මුද්‍රණ කඩදාසි සඳහා සියයට හතරක පමණ බද්දක් අය කිරීමට සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අය-වැය යෝජනාවලට අදාළව වැට් බදුවලට කෙරෙන සංශෝධනවලට අනුව පුවත්පත් මුද්‍රණ කඩදාසි බදු තවත් ඉහළ යනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ශිරෝමි අබයසිංහ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY