නිසි බලපත්‍රයක්‌ නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඊයේ (9දා) දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියෝ කොළඹ අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

වනජීවී ආඥ පනත උල්ලංඝනය කරමින් බලපත්‍රයක්‌ නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ දහවල් පොල්හේන්ගොඩ පිහිටි උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවසන ඇලන් මැතිනියාරාමය වෙත පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්‌ථානය වෙත රැගෙන ආ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවැසීය.

මීට පෙරද මෙම චෝදනාව සම්බන්ධව උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළ අතර ඒ මොහොතේ උන්වහන්සේ රෝගීව රෝහල් ගතව සිටියහ.

තමන් වහන්සේ නීති විරෝධී අයුරින් අලි ළඟ තබාගෙන නැති බවත් පන්සල් වත්තේ දමා ගොස්‌ සිටි කුඩා අලි පැටවකු දැක හදාවඩා ගැනීමට පියවර ගත් බවත් ධම්මාලෝක හිමියන් විසින් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

හේමන්ත රන්දුණු, උපාලි ද සේරම්, ඒ. ඡේ. ඒ. අබේනායක

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY