සුප්‍රකට බටහිර ගායක එන්රිකේ ඉග්ලෙෂස්‌ගේ සහභාගිත්වයෙන් පසුගිය දෙසැම්බර් 20 වැනිදා කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති සංගීත ප්‍රසංගය සංවිධානය කළ “ලයිව් ඉවෙන්ට්‌ස්‌” ආයතනයට ලබන අප්‍රේල් 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඊයේ (02 දා) නියෝග කළාය.

රුපියල් 35,000 බැගින් මුදල් ගෙවා වී.අයි.පී. ප්‍රවේශපත්‍ර ලබාගෙන එම සංගීත ප්‍රසංගය නැරඹීමට ගිය තමන්ට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී ආයතනය සමග එකඟවූ ආකාරයෙන් කිසිදු පහසුකමක්‌ ලබානොදුන් බැවින් එමගින් අත්විඳීමට සිදුවූ මානසික හා ශාරීරික පීඩාවට රුපියල් මිලියන 11 බැගින් වන්දි ලබාදෙන ලෙස ගොනුකර තිබූ නඩු දෙකක්‌ සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.

නීතිඥ නිශාන් ප්‍රේමරත්න මහතා හා ඔහුගේ බිරිඳ විසින් නීතිඥ සංජය ෆොන්සේකා මහතා එම නඩු පවරා තිබුණි. තමන් හා තම බිරිඳ එතරම් විශාල මුදලක්‌ ගෙවා ප්‍රවේශපත්‍ර ලබාගෙන එකී ප්‍රසංගය නැරඹීමට ප්‍රසංගය ආරම්භ වීමට පෙරම ක්‍රීඩාංගණය අසලට ගිය නමුත් පැය කිහිපයක්‌ යන තුරුම ක්‍රීඩාංගණයට ඇතුල්ළුමේ පහසුකම් සැලසීමට සංවිධායක මණ්‌ඩලය අපොහොසත් වී තිබූ බවත් පෙත්සම්කරුවන් එමගින් අධිකරණයට පෙන්වාදී තිබුණි.

දැඩි ප්‍රයත්නයකින් පසුව ක්‍රීඩාංගණයට ඇතුල්වීමට හැකි වුවත් මානසික එකඟතාවකින් යුක්‌තව වාඩිවී ප්‍රසංගය නැරඹීමට හෝ නොහැකි වූ බවත් අවට පරිසරයෙන් නැඟුණ අශෝභන ඝෝෂාකාරී හඬ හා අසංවර ක්‍රියාවන් නිසා තමන්ට දැඩි මානසික අපහසුතාවකට මුහුණ දීමට සිදුවූ බවත් පෙත්සම්කරුවන් එමගින් පෙන්වාදී තිබුණි.

එම ආයතනයේ වත්කම් පිළිබඳව තමන්ට කිසිදු දැනුවත්කමක්‌ නොමැති බවත් එමගින් වැඩිදුරටත් පෙන්වාදී තිබූ පෙත්සම්කරුවන් එබැවින් එම ආයතනය සතු දේපළ අන්සතු කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරනා ලෙසත් ඉල්ලා තිබුණි.

ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ පෙත්සම්කරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියහ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකයන් ලෙස කටයුතු කළ කුමාර සංගක්‌කාර හා මහේල ජයවර්ධන එම ආයතනයේ ප්‍රධාන කොටස්‌කරුවන් බව පැවසෙන අතර එකී ප්‍රසංගය සඳහා සකස්‌ කළ ප්‍රවේශපත්‍රවලට අදාළ විනෝද බදු නිසියාකාරව නොගෙවීමේ සිද්ධියක්‌ මත කොළඹ මහ නගර සභාව විසින් එම ආයතන මේ වන විටත් අසාදු ලේඛනයට ඇතුළත් කොට ඇති බව අනාවරණය වේ.

ඒ. ඡේ. ඒ. අබේනායක

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY