අධිකරණයේ ගරුත්වය ආරක්‍ෂා වන ආකාරයෙන් කටයුතු කිරීමට වග බලාගන්නා ලෙසත් එසේ කටයුතු නොකරන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අධිකරණයට සිදුවන බවත් පෙන්වා දෙමින් කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ  පස්‌වරුවේ දැඩි ලෙස අවවාද කළේය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ සාක්‍ෂි විභාගය පැවැත්වෙමින් තිබියදී පස්‌වරු 3.10-03.15 ට පමණ අධිකරණ ශාලාවට ඇතුළු වූ මන්ත්‍රීවරිය දොරටුව අසලදී හෝ අසුන් ගැනීමට පෙර හිස නමා අධිකරණයට ආචාර කිරීමක්‌ සිදුනොකළ බව නිරීක්‍ෂණය කළ විනිසුරු මඬුල්ල ඇයව අසුනින් නැගිට්‌ටවා එලෙස දැඩිව අවවාද කළේය.

ඇය අධිකරණ ශාලාවට ඇතුළු වන අවස්‌ථාවේදී භාරත ඝාතන නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතාගෙන් විත්තියේ නීතිඥ අනිල් සිල්වා මහතා හරස්‌ ප්‍රශ්න අසමින් සිටියේය.

එසේ ප්‍රශ්න ඇසීම මදකට නතරකළ විනිසුරු මඬුල්ල මහාධිකරණ භාෂණ පරිවර්තක මනෝඡ් කුමාර මහතාට නියෝග කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අසුනින් නැගී සිටීමට නියෝග කරන ලෙසයි.

“මේක ගරු අධිකරණයක්‌. නඩු විභාගයක්‌ පැවැත්වෙන අතරතුරදී අධිකරණයේ ගරුත්වය ආරක්‍ෂා වන පරිදි අධිකරණ ශාලාවට ඇතුළු වීමට පිටවීමට හා හැසිරීමට ඕනෑම අයකු වගබලා ගත යුතුයි. එසේ බැරිනම් නඩු කටයුතු ආරම්භ වීමට පෙර අධිකරණයට ඇතුළු වෙන්න දැනගන්න ඕනෑ.

මන්ත්‍රීවරිය- ගරු මැතිනියනි මා අධිකරණ ශාලාවට ඇතුළු වන විට හිසනමා ආචාර කළා. වරදක්‌ වුණානම් මම සමාව ඉල්ලා සිටිනවා.

අධිකරණය- අධිකරණය සෑම දෙයක්‌ම හොඳට නිරීක්‍ෂණය කරමින් ඉන්නේ.

ඒ. ඡේ. ඒ. අබේනායක

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY