ශ්‍රී ලංකා රජය විසින් දෙස් විදෙස් ආයතනවලට ගෙවන්නට තිබෙන ණය මුදල් පිළිබඳ ලේඛනයේ කිසිඳු තැනක සඳහන් නොවූ රුපියල් කෝටි එක්ලක්ෂ පහළොස්දහස් එකසීයයක් (රු. බිලියන 1151) තරම් දැවැන්ත ණයක් ගෙවන්නට ඇතැයි රජය අනාවරණය කරගෙන තිබේ.

අය වැය ලේඛනයේ සඳහන් ශ්‍රී ලංකාවේ මුළු ණය බර ප්‍රමාණයට ඇතුළත් නොවන ලෙස ගෙවන්නට තිබෙන මේ සා විශාල ණයක් තිබීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පුදුමයට පත් වී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

මුදල් අමාත්‍යංශයේ ඊයේ  සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පසුගිය රජය සමයේ ජනාධිපති ධුරය දැරුවේ මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු මුදල් ඇමැතිවරයායි. ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ මහතායි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතායි. මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතායි. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතායි.

මුදල් වියදම් කළේ පළාත් පාලන පළාත් සභා මන්ත්‍රිවරුයි. මේ අට දෙනා මේ මුදල් පොල්ලට වගකිවයුතුයි. ඇමැති රවී කරුණානායක මහතා අවධාරණය කෙළේය.

“කිසිඳු මූල්‍ය විනයක් පවත්වාගෙන යන්නේ නැතිව ලබාගත් රුපියල් බිලියන 1146 ගෙවන්නට තිබෙන බව අපි සොයා ගත්තා. මේ මුදලට තවත් රුපියල් මිලියන 5423 ක් එකතු කරමින් එස්.බී. දිසානායක මහතා අපට ලියුමක් එවා තිබෙනවා මුදල් අමාත්‍යංශයෙන් මුදල් ‍ ඉල්ලලා.

එම මුදල ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් ගෙවන්න තිබෙන මුදල්. දැන් අපි ගණන් බැලුවා. අපි ගෙවන්න තිබෙන මුළු ණය මුදල් පිළිබඳ ලේඛනයට පිටින් රුපියල් බිලියන 1151 ක් ගෙවන්නට තිබෙනවා. මුදල් ඇමැතිවරයා කීය.

මේසා විශාල මුදලක් ලබා ගත්තේ කවුද? කොතරම් පොලී මුදලකට ද? ආපසු ගෙවන්න කොච්චර කල් දීලා තියෙයිද? යනාදී සියලු තොරතුරු අපි සොයා ගනිමින් ඉන්නේ. ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලීමක් කළා යැයි රවී කරුණානායක මහතා කීය.

මේසා විශාල ණයක් අරගෙන වියදම් කළේ මොකටද? ගෙවන්න තිබෙන්නේ කාටද? වැරැද්දක් කර තිබේ නම් ඒ සියලු දෙනාටම දඬුවම් ලබාදීමට අපි ක්‍රියා කරනවා.

ජයසිරි මුණසිංහ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY