ජනප්‍රිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ කෲර වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා සහ ජනාධිපති ආරක්‍ෂක අංශයේ හිටපු නිලධාරීන් අටදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

දේශපාලනඥයාගේ නියෝග සහ උපදෙස්‌ මත පසුගිය රජය සමයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිටි යුද හමුදා නිලධාරීන් අටදෙනකු විසින් තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දී ඔහු ඝාතනය කර සිරුර මෝටර් රථයට දමා පුළුස්‌සා ඇති බවට සාක්‍ෂි රැසක්‌ මේ වන විට පොලිසිය වෙත ලැබී තිබේ.

මේ අතර තාජුඩීන් ඝාතනය මෙහෙයවා ඇත්තේ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්‌තව සිටි ඉහළම පෙළේ දේශපාලනඥයකුගේ රියෑදුරකු ලෙස කටයුතු කළ හමුදා නිලධාරියකු විසින් බව ද අනාවරණය වී ඇත.

වසීම් තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා පසුගිය 25 වැනිදා නියෝග කළේය.

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා වසීම් තාජුඩීන් සිය මෝටර් රථය තුළ පිළිස්‌සී මියගොස්‌ සිටියේ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයේදීය.

එවකට පොලිසිය කියා සිටියේ මෙම මරණය හදිසි අනතුරක්‌ නිසා සිදු වූ එකක්‌ බවයි. එහෙත් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවුණේ තාජුඩීන් ඝාතනය කර ඇති බවයි.

අපි ඕවා ගණන් ගන්නෙ නැහැ – නාමල්

යහපාලන රජය බලයට පත්වූ දා සිට තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් තම මවටත් තමාටත් බාල සොහොයුරු යෝෂිත රාජපක්‍ෂ මහතාටත් නොයෙකුත් චෝදනා එල්ල කරන බවත් එම චෝදනා පදනම් විරහිත බැවින් ඒවා ගණන් නොගෙන සුපුරුදු පරිදි දේශපාලන කටයුතුවල නිරතවන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධව නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිර යන ආරංචි සම්බන්ධව කළ විමසීමේදීය.

“මං ඒ ගැන කිසිම දෙයක්‌ දන්නේ නැහැ. මේ දවස්‌වල මගේ අවධානය යොමුවී තිබෙන්නේ මගේ බාල සොහොයුරු යෝෂිත රාජපක්‍ෂ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටීමට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධවයි. අපිට හොරු, වංචාකාරයෝ කියලා කරන චෝදනාවල ඇත්ත නැත්ත කවදා හෝ හෙළිවෙයි. මම වැරදි කරලා නැති නිසා ඔය චෝදනාවලට බය නැහැ” යෑයි ද නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

                                                       හේමන්ත රන්දුණු /  උපාලි ද සේරම්

තාජුඩීන්ගේ මරණය ගැන විමර්ශන දේශපාලන හස්තයකින් වළක්වා තිබෙනවා‍

.                මත 11 ක් අධිකරණයට ඉදිරිපත් වෙලා –
මරණ පරීක්ෂණ දෙකක් කරලා – සමහර පරීක්ෂණ වාර්තා පරස්පරයි

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

නඩු විභාගයකදී අධිකරණයට සහාය වෙමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාක්ෂාත් කරගැනීමට සහාය වන්නන් අතර නීතිඥයාගේ කාර්ය භාරය සුවි‍ශේෂි වේ. පැමිණිල්ල විත්තිය මෙන් ම අධිකරණයට සහාය වන අනෙක් පාර්ශ්වය වනුයේ වින්දිතයන් නැතහොත් අගතියට පත්වන්නන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ය. මෙරට දැනට විභාගවන හා විභාගවූ ප්‍රසිද්ධ ආන්දෝලනාත්මක නඩු කීපයක වින්දිතයින් වෙනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටියේ ය. එවන් තවත් සුවිශේෂී නඩුවක් පිළිබඳව අපි ඔහු සමඟ මෙසේ පිළිසඳරක යෙදුනෙමු.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණ මෙතරම් සුවිශේෂී වන්නේ ඇයි? පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක් වෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගන්න පසුගියදා අධිකරණය නියෝග කළා.

තාජුඩීන් ඝාතනය සුවිශේෂීවන්න කාරණා කීපයක් තියෙනවා. 2012 මැයි 17 දින කාර් රථයක් ඇතුළත පිළිස්සී මිය ගිය තාජුඩීන් පිළිබඳ තවම විමර්ශන අවසන් නෑ. අවුරුදු හතරක් ආසන්න වෙලා. එක රැයින් සැකකරුවන් අල්ලන්න පුළුවන් දක්ෂ නිලධාරීන් ඉන්න රටේ, මේ මරණය හදිසි අනතුරක් ද? ඝාතනයක් ද කියලා ඔප්පු කරන්න වසර තුනකට වැඩිය ගියා. පසුගිය බ්‍රහස්පතින්දා (25) මෙය මිනී මැරුමක් කියල. මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා තීන්දු කළා මිනීමරුවන් (සැකකරුවන්) අත්අඩංගුවට ගන්න නියෝග කළා.

තාජුඩීන් ගේ මරණය රිය අනතුරකින් සිදුවුණා කියලා ප්‍රථමයෙන් ප්‍රකාශ වුණා. සී.අයි.ඩී. යට පෙර පරීක්ෂණ පැවැත්වූ කිරුළපන හා නාරාහේන්පිට පොලිසි සත්‍ය වසන් කරලා තියෙනවා. ප්‍රථමයෙන් පොලිස් පරීක්ෂණ මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතා සිය රාජකාරිය හරිහැටි කළා ද නැද්ද කියලා පරීක්ෂණ පවත්වන්න කියලා අධිකරණය රහස් පොලිසියට දන්වා තියෙනවා.

රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන පොලිසිය මඟින් මේ ආකාරයෙන් එක මරණයක් පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් වෙනවා. එකකින් කියන්නේ රිය අනතුරක් කියලා. පසුව එය ඝාතනයක් බවට සැක කරලා පරීක්ෂණ මෙහෙයවලා ඝාතනයක් කියලා ඔප්පු කරනවා.

රජය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් මෙහෙම වුණේ ඇයි? යම් දේශපාලන බලපෑමක් මීට ති‍බුණද? හදිසි අනතුරක් ඝාතනයක් කියලා පරීක්ෂණ පවත්වන කොට කරුණු එකින් එක හෙළිදරව් වෙනකොට මෙයට දේශපාලනය ගෑවෙන්නේ කොහොමද? ඔවුන් කෑගහන්නේ ඇයි? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව තමයි මේ මරණය සිදුවන සමයේ මෙරට පාලනය කළේ.

තාජුඩීන් රගර් ක්‍රීඩකයෙක් දේශපාලනඥයෙක් නෙවෙයි?

ඔහු රගර් ක්‍රීඩකයකු වූ පමණින් ජනතා නියෝජිතයකු නොවූ පමණින් දේශපාලනය ඊට නොගෑවුණැයි කියන්න බෑ. පසුගිය කාලයේ බරපතළ දේශපාලන හස්තයක් රගර් ක්‍ර‍ීඩාව අරක්ගෙන තිබුණා. දේශපාලන පුත්තු රගර් ක්‍රීඩා කළා. ජාතික කණ්ඩායම්වල නායකත්වය ගෙන තිබුණා. ඒ නිසා රගර් ක්‍රීඩාව එදා දේශපාලනයෙන් බැහැර කරන්න බෑ. රගර් වලට දේශපාලන මැදිහත්වීම් තිබුණා.

සැකකරුවන් අල්ලන්න පරීක්ෂණ මෙහෙයවන්න මෙතරම් ප්‍රමාදවන්නේ ඔබ කියන ඔය බලපෑම් හින්ද ද?

2010 වස‍ෙර් අතුරුදහන් වන ප්‍රදීප් එක්නැලිගොඩ පිළිබඳව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පොලිසියට පැමිණිලි කරන්නේ එම වසරේදීමයි. මිරිහානට, කොළඹ අපරාධ කොට්ඨාසයට ඊට ඉහළ ට පැමිණිලි කරනවා‍. ‍එහෙත් 2015 අගෝස්තු – සැප්තැම්බර් වෙනකම් සැකකරුවන් අත්අඩංගුවට ගන්න බැරි වුණා. එතෙක් සාධනීය විමර්ශනයක් නෑ. රහස් පොලිසිය පරීක්ෂණ බාරගත් පසුව තමයි තොරතුරු අනාවරණය වෙන්නේ.

මේ වගේ ගොඩක් අපරාධ සම්බන්ධයෙන් අද තොරතුරු අනාවරණය වෙනවා. ඊට හේතුව ලෙස අපි දකින්නේ දේශපාලන මැදිහත්වීම. ඒ කාලයේ වගකිවයුතු ආයතන පරීක්ෂණ මෙහෙයවන්න මැළිකමක් දක්වනවා. ඊට හේතුව ඍජු දේශපාලන මැදිහත්වීමක් වෙන්න පුළුවන්. වෙනත් හේතුවක් ඇද්ද කියලා අපට පේන්නේ නෑ. ඍජු දේශපාලන බලපෑම් මත යුක්තිය ඉෂ්ටවීම ඇනහිට තියෙන එක පමණයි අප දකින්නේ.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මත එකොළහක් (11) අධිකරණයට ඉදිරිපත් වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ දෙකක්. ඉදිරිපත් වූ රස පරීක්ෂක වාර්තාවේ එක නිගමනයක් මරණ පරීක්ෂණයේ තවත් එකක්. එක වාර්තාවක තාජුඩීන් මියයන්නේ කාබන් මොනොක්සයිඩ් ශරීරගත වෙලා. අනෙක් එකේ එහෙම නෑ. මැරුණට පස්සේ තමයි පිළිස්සී තියෙන්නේ. ඇයි මේ?

තාජුඩීන්ගේ සිරුරට තදින් පහර දී සිදු කළ තුවාල තියෙනවා. හිස් කබලේ ඇති එම තුවාල මරණීය තුවාල, ඒ තුවාල රිය අනතුරකින් සිදුවූ ඒවා නොවෙයි. ශරීරයේ අස්ථි බිඳිලා රිය අනතුරින් ද වුණේ. කකුලේ බෝතල් අඩියකින් සිදු කළ තුවාල. අනෙක් කරුණ තමයි මෘත ශරීර‍ාගාරයේ තිබුණු තාජුඩින්ගේ සිරුරේ කොටස් අතුරුදහන් වුණේ කොහොමද?

අද වෙනකොට අධිකරණ වෛද්‍ය සභාවට දන්වා තිබෙනවා මෙම පරීක්ෂණය කළේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ගැන ස්වාධීන වාර්තාවක් දෙන්න කියලා.

මේ අනුව බලන කොට තාජුඩීන් ඝාතන විමර්ශන පිළිබඳව කුමන හෝ දේශපාලන හස්තයකින් නීතිය ක්‍රියාත්මක වීම වළක්වා තිබෙන බව පැහැදිලියි.

අද මෙන් ම එදා තිබුණෙත් මේ නීතිමය ක්‍රියා පිළිවෙතයි. නීති රාමුව වෙනස් වුණේ නෑ නේද?

නීතිය ක්‍රියාත්මක කරන ආයතන පොලිසිය, නීතිපති, පොලිස්පති ස්වාධීනව කටයුතු කරනවා නම් කිසිම දෙයක් යුක්තිය ඉෂ්ට වීමට බාධා වෙන්නේ නෑ. නමුත් තාජු‍ඩින් ඝාතන පරීක්ෂණ මෙහෙයවූ රජයේ නිලධාරීන් කීප දෙනෙකුට මේ වනවිට ඇඟිල්ල දිගුවෙලා තියෙනවා. මේ සියල්ල සිද්ධ වුණේ ඇයි ද? කියලා බලන්න.‍

රජයේ නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට ඉංජිනේරුවන්ට නීතිඥයින්ට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒවා පැත්තකින් තියලා කටයුතු කිරීම නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. මේ පරීක්ෂණ වාර්තාවල පරස්පරතාව, ස‍දොස් බාවය, දෝෂ සහිත බව තුළ බැලූ බැල්මට යම් බලපෑමක් තියෙනවා කියලා කියන්න බැරි කමක් නෑ.

රටක් ලෙස ඉදිරියට යන්න නම් රටක නීතිය ක්‍රියාත්මක වීම ප්‍රධානයි. නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ ම එය ක්‍රියාත්මක වෙන බව ජනයාට පෙනී යා යුතුයි. එවිටයි රටක ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසය ඇතිවන්නේ. එවිටයි අධිකරණය මඟින් වින්දිතයින්ට මෙන් ම චූදිතයින් ‍යන දෙදෙනාටම සාධාරණය ඉටුවන්නේ.

නමුත් ඇතැමුන් කියන්නේ දේශපාලන වාසි ගන්න. ප්‍රතිවාදිය මෙල්ල කරන්න වත්මන් ආණ්ඩුව යම් යම් සිදුවීම් යොදා ගන්නවා කියලා.

මේ ඝාතනයේ පරිවේශන‍ීය සාක්ෂි එළියට ආවේ නිසි පරිදි විමර්ශන කරන කොට, එසේ විමර්ශන කරන්න පරිසරය හැදුණම ඒ තොරතුරු එළියට එන්නේ ඡන්ද කාලෙදිද. නැතහොත් වෙනත් කාලෙකද කියලා වැදගත් නෑ. ඍජු සාක්ෂි සොයා ගන්න බැරි අවස්ථාවලදී සී.ස‍ී.ටී.වී. දර්ශන, දුරකථන සංවාද වැනි සාක්ෂි ප්‍රයෝජනයට ගන්නවා. ඒවාට වැරදි අර්ථ නිරූපණ දීලා ඡන්දවෙලාව එළියට දාන්න එපා කියලා නීතිය යටපත් කරන්න බෑ. ඒ සාක්ෂි අපේ රටේ බැරි නම් පිටරටකට යවලා හරි සනාථ කරගත යුතුයි.

පරීක්ෂණ වේගයෙන් සිද්ධ නොවීම කල් මැරීමක් කියලා ගණන් ගන්න බෑ. මේ විමර්ශනවල දේශපාලන වාසි ගැනීමක් හෝ වෙනත් අයුතු වාසි ගැනීමක් නෑ.

මේවා දේශපාලන පළි ගැනීම්, විපක්ෂයේ ඇතැම් පිරිස් මෙසේ චෝදනා කරන්නේ ඇයි?

දේශපාලන පළිගැනීම් කියන කරුණ සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පෙරළිලා නීති ක්‍රියාත්මක කරද්දී ඉදිරිපත් කරන පොදු විවේචනය. එය මේ රටේ දේශපාලන ක්‍රියාදාමයේම කොටසක්. පසුගිය රෙජිමය එය කළා. දැනට පවතින අධිචෝදනා ගොනු කරපු නඩුවකටත් ඔය විවේචනය තියෙනවා. උපාසකම්මලාට සිල් රෙදි දීපු එකත් වැරැද්දක්ද මේ කියමන්වලින් සාමාන්‍ය ජනතාවගේ ජන විඥානය වෙනස් කරලා අනුකම්පාව දිනාගන්න තමයි කතා කරන්නේ.

පසුගිය ආණ්ඩුවේ නිලධාරීන් සම්බන්ධ නඩු, දීර්ඝ විමර්ශනයක් කරලා නිසි පරිදි කරුණු හොයලා නඩු පවරනවා කියලා පැහැදිලියි. 2016 දී තමයි නඩු පැවරීම ආරම්භ කරන්නේ අවුරුද්දක්ම පරීක්ෂණ පැවැත්වූවා.

නමුත් විපක්ෂය අද මූල්‍ය අපරාධ කොට්ඨාසය විවේචනයට ලක් කරනවා. එ‍ෆ්.සී.අයි.ඩී යේ ඉන්නේ ඒ පිළිබඳ පරිචයක්, පුහුණුවක් ඇති නිලධාරීන්. එක විශේෂ කොට්ඨාසයක්. පොලිසියට සම්බන්ධ සී.අයි.ඩී ය, සී.සී.ඩී. ය, වංචා විමර්ශන අංශය, වලාන දූෂණ මර්දන ඒකකය, උතුරු කොළඹ අපරාධ අංශය, මූල්‍ය අපරාධ කොට්ඨාසය ව‍ෙග් පොලිසියට සම්බන්ධ ආයතන වෙනවා.

මේ අංශවල ඩී.අයි.ජී. කෙනෙක් ඉන්නවා‍. එහෙනම් කවුද මේ එෆ්.සී.අයි.ඩී. යට ගල් ගහන්නේ. මූල්‍ය අපරාධ පිළිබඳව ඍජු චෝදනා තියෙන හා මූල්‍ය අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ, හොරුන්ගේ ගෝල බාලයන් තමයි කෑ ගහන්නේ විවේචන එල්ල කරන්නේ.

ඇතැම් කාලවලදී මේ රටේ අපරාධ සැකකරුවන්ට නඩු දැම්මා. එහෙත් වැරදිකාරයෙක් වූ පුද්ගලයින් ජනතාව දැක්කේ නෑ. අද ජනතාවට පිළිබඳ සාධාරණ සැකයක් තියෙනවා. මේ පරීක්ෂණවලටත් යම් කලකදී එහෙම වෙයි කියලා. සරලව කිව්වොත් පොඩි එකෙක් අහුවෙයි කියන කරුණ?

නීතිපතිවරයාගේ බලතල අනුව ඔහුට පුළුවන් අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව ‘අධිචෝදනා නිවර්තනය සිදු කිරීම’ සිදුකරන්න එහි තේරුම සාක්ෂි තිබුණත් නඩු නොපවරා සිටීමේ බලය තියෙනවා කියන එකයි එහෙම කරන්න පුළුවන් වන්නේ සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණයි.

කීර්තිධර චරිතයක් ‍සම්බන්ධයෙන් ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් කරලා තියෙනව නම් ඔහු විසින් රටට කරන ලද සේවය සලකා බලා යම් බරතැබීමක් කරලා අධිචෝදනා නිවර්තනය කරන්න පුළුවන්. ඔහුගේ ඒ වැරැද්ද එම අවස්ථාවේදී අපරාධයක් කියලා පිළිගත්තේ නෑ. එවැනි අවස්ථාවකදී නඩු ඉල්ලා අස්කර ගැනීමේ බලය නීතිපතිට තියෙනවා.

නමුත් පසුගිය කාලයේ මේ බලය යොදාගෙන බේරගත්තේ දේශපාලන හෙන්චයියලන්ව, දේශපාලන ගැත්තන්ව මේ නිසා රටේ ජනතාවගේ අධිකරණය නීතිය කෙරෙහි තිබුණු විශ්වාසය පලුදු වුණා. නඩු ඉල්ලා අස්කරගැනීමේ බරපතළම අවධිය පසුගිය කාලේ අපි අත්වින්දා. මොහාන් පීරිස් නීතිපති තුමා ඉන්න කාලේ මේ දේ වුණා. පාණදුර උසාවියේ විභාගවූ නාම්පමුණුව නඩුව. මේ නඩුවේ මුල සිටම නීතිපතිගේ ස්ථාවරය වුණේ සාක්ෂි පවතිනවා කියලා. පසුව අනියම් මිනීමැරුම හැර අනෙක් චෝදනා ඉල්ලා අස්කර ගත්තා.

මේ කරුණු දිහා බැලුවම පේනවා. පසුගිය කාලය පුරාම නීතිය, නීතිපති දේශපාලන ග්‍රහණයට ලක්වුණා කියන එක. ඒක නැහැ කියන්න කාටවත් පුළුවන් කමක් නෑ‍.

යහපාලන ආණ්ඩුව පත්වුණාම ප්‍රධාන වශයෙන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 17 ‍වැනි සංශෝධනය නැත්නම් රාජපක්ෂ රජය පැත්තකට කරලා තිබුණු 17 වන සංශෝධනයේ තියෙන බලතල නැවත 19 මඟින් පණගැන්වීමයි.

19 මඟින් ස්වාධීන ආයතනවල ඉහළ නිලධාරීන් දේශපාලන බලපෑම් වලින් තොරව පත් කිරීම කළා. හොඳම උදාහරණය නීතිපති ජයන්ත ජයසූරිය මහතා. ඔහුගේ පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඒකමතිකව ‍සම්මත කළා. දෙමළ ජනතාව නියෝජනය කරන සම්බන්ධන් මහතා ප්‍රමුඛ ටී.එන්.ඒ. පක්ෂය, ජේ.වී.පී. විජිත හේරත්, ජනපති අගමැති, කථානායක, සිවිල් ක්‍රියාකාරීන්, සුළු පක්ෂ නියෝජිතයින් ඒකමතිකව නීතිපතිව පත් කළා. අද නීතිපතිට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා.

රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කරලා නව රජය පත් කළේ බඩගෝස්තරවාදය නිසා නෙවෙයි. අද රජයේ ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමේ ශක්තිය දීලා තියෙනවා. දේශපාලන බලපෑම් නෑ. මැදිහත්වීම් නෑ. කිසිම ආකාරයක බයක් නැතුව කටයුතු කරන්න රජයේ සේවක නිලධාරීන්ට හැකි ය.

එහෙම වටපිටාවක් හදලා තියෙද්දීත් ස්වාධීනව කටයුතු කිරීම නොකරනවා නම් අපිට කියන්න තියෙන්නේ එම පුද්ගලයින් හට නිර්දේශපාලනීකරණය වෙන්න තියෙන අකමැත්ත නිසා සිය කටයුතු නොකර හරිනවා කියා පමණයි.

අපි විශ්වාස කරනවා මේ පරීක්ෂණ සියල්ලට සාධාරණ යුක්තිය ඉටුවෙයි කියලා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY