යුද්ධය නිමාවීමත් සමඟම ඉන්දියාව යාපනයේ මෙන්ම හම්බන්තොටද සිය කොන්සල් කාර්යාල විවෘත කරනු ලැබුවේ දීර්ඝකාලීන අරමුණු පෙරදැරි කරගෙන බව රහසක්‌ නොවේ . හම්බන්තොට කොන්සල් කාර්යාලය විවෘත කරනු ලැබුවේ දකුණේ බෞද්ධයන්ට බුද්ධගායාවට යැමට වීසා නිකුත් කිරීමට නොව එම ප්‍රදේශයේ සිදුකරන චීන ව්‍යාපෘති පිළිබඳව වඩා සක්‍රීයව තොරතුරු එක්‌ රැස්‌ කිරීමටය.

යාපනයේ කොන්සල් කාර්යාලය විවෘත කිරීම හරහා එම ප්‍රදේශය රෝ ඔත්තුකරුවන්ගේ තෝතැන්නක්‌ බවට පත්වීම වැළැක්‌විය නොහැකිය. මේ පිළිබඳව කොටි හිතවාදී ටැමිල්නෙට්‌ වෙබ් අඩවියද චෝදනා එල්ල කර තිබිණි. එයින් ප්‍රකාශ කර තිබුණේ යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය හින්දි ඉගැන්වීම හරහා සිය බලය පැතිරවීමට උත්සාහ දරන බවයි.

දේදුනු විප්ලවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක්‌ කළ ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වර්තමානයේ ඉන්දීය දේශපාලන මැදිහත් වීම නිර්දය ලෙස විවේචනය කිරීමට ඉදිරිපත් වී ඇත යෝජිත ඉට්‌කා ගිවිසුම හරහා මෙරට ඉන්දීය ආක්‍රමණයක්‌ සිදුවන බව පවසන දිසානායක මහතා එය වහා පරාජය කළ යුතු බව කියයි.

මේ ඉන්දීය අභියෝග පිළිබඳව සාකච්ඡා කරන අවස්‌ථාවේ යාපනය, රෝ ඔත්තුකරුවන්ගේ පාරාදීසයක්‌ වී ඇති බවත් හෙතෙම හෙළිකර සිටියේය. 2016 දී ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව අදහස්‌ දක්‌වන ජනතා විමුක්‌ති පෙරමුණ 2015 ජනවාරි 08 වැනිදා රෝ ඔත්තුකරුවන්ගේ ආශිර්වාදයෙන් සිදුවු රෙජීම වෙනසට දායක වීම අභාවාවක සිද්ධියකි. ජනතා විමුක්‌ති පෙරමුණට යහපාලන වෙනසක අගය පෙනෙන්නේ මෙම ඉට්‌කා ගිවිසුම කරලියට පැමිණීමෙන් පසුවද ?

යාපනය මෙන්ම කොළඹ මෙන්ම ගාල්ලද රෝ ඔත්තුකරුවන්ගෙන් බහුල වන්නේ යෝජිත ඉන්දීය ගිලන්රථ සේවයද මෙරට ක්‍රියාත්මකවීමට යහපාලන ආණ්‌ඩුවේ ආශිර්වාදය ලැබුණු විටය. මේ ගිලන්රථ සේවය හරහා ජාන මංකොල්ලයක්‌ද සිදුවිය හැකිය.

ඉන්දියාවට වඩා මෙරට සෞඛ්‍ය සේවය ඉතා හොඳ මට්‌ටමක පවතිද්දී දිල්ලිය අපට ගිලන් රථ සේවයක්‌ ලබාදෙන්නේ සැඟවුණු යටි අරමුණු ඇතිව බව පැහැදිලිය. ගිලන්රථ සැපයීමට තරම් ඉන්දියාව අපට කාරුණිකවන්නේ ඇයි ? දැන් යුද්ධය ද අවසන් වී ඇත. යහපාලන රෝගීන් පමණක්‌ මේ ගිලන්රථ වල ප්‍රවාහනය කෙරෙන්නේද ? මෙරට සෞඛ්‍ය ඇමැතිවරයාද හදිසි ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට පියාසර කළේය.

ලංකාවට ගිලන්රථ සැපයීම මෙන්ම නව ව්‍යවස්‌ථාව ඉක්‌මනින්ම නිර්මාණය කරනු දැකීමත් දිල්ලි පාලනයේ අපේක්‌ෂාව බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙරට වැසියන්ට ඉන්දීය ගිලන්රථ මෙන්ම නව ව්‍යවස්‌ථාවක්‌ද අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට උත්සුකවන්නේ ඒකීය රාජ්‍යයට එරෙහි වන බලවේග බව පැහැදිලි කරුණකි. උතුරු නැගෙනහිර එක්‌ කිරීම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ඩයස්‌පෝරාවට නව ව්‍යවස්‌ථා වෙනසක්‌ මෙන්ම සහ සන්ධීය රාජ්‍යයක්‌ ඇතිවනු දැකීමත් අවශ්‍යය. ඉංගි්‍රසීන් සිංහලයන්ට ලබාදුන් දෙමළ රාජ්‍යය නැවත ඉල්ලා විපක්‌ෂ නායක ආර් . සම්බන්ධන් මහතාට ද නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බව පෙනේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව ඉදිරියේදී ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදු වෙයිද ? නැතහොත් නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මණය වෙයිද යන්න තරමක්‌ අපැහැදිලිය. නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලද මන්නාරම් ජනතා නියෝජිතයෝ ජාතික කොඩියේ සිංහයා ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කර තිබිණි.

ජාතික සම්මුතිවාදය වෙනුවෙන් යෑයි කියමින් ජාතික ගීය දෙමළෙන් ගැයුනු අතර එය ඒකීය රාජ්‍යයට එරෙහි උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන්ගේ බලවත් සතුටට හේතුවිය. යහපාලන ආණ්‌ඩුව ජාතික සම්මුතිවාදය ගැන කියමින් සිංහල ජන අභිමානය කම්මුතු කරන බව පෙනේ. එම නිසාම සිංහලේට එරෙහි ව්‍යාපාරයක්‌ පොළොන්නරුවෙන් ආරම්භ වී ඇත.

නව ව්‍යවස්‌ථාව රැගෙන එන්නේ ඉන්දීය ගිලන්රථයකින්ද යන්න අපට පැහැදිලි නැත. ඉන්දියාවෙන් ආදර්ශ ලබාගෙන නම් කිසිම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කළ යුතු නැත. එවැනි ව්‍යවස්‌ථාවලට දැඩි විරෝධය පළකළ යුතුය. 1987 දී අපට බලහත්කාරයෙන් පැටවූ ඉන්දු ලංකා ගිවිසුමෙන් මෙරටට යහපතක්‌ වූයේද ? පළාත් සභා බලතලවලට ප්‍රභාකරන් නතුවූයේද ?

ඇත්තෙන්ම ලංකාවේ තිබුණු එකම ප්‍රශ්නය ත්‍රස්‌තවාදි ප්‍රශ්නයක්‌ පමණි. එයට 2009 දී නිසි පිළිතුරු සැපයීමට මහින්ද රාජපක්‌ෂ මහතා සමත් විය. වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුය. විධායක ක්‍රමය අහෝසි කරන බව පවසමින් පත්වූ කිසිම ජනපතිවරයෙක්‌ එය ඉටු කළේද නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඒ ගැන උන්නදුවක්‌ නැත. අපට ඒ පිළිබද කිසිදු විරෝධයක්‌ නැහැ. එම නිසාම නව ව්‍යවස්‌ථාව මෙන්ම ඉන්දීය ගිලන්රථයද ගාලු මුවදොරින් මුහුදට තල්ලු කළ යුතුය.

 

chathura pmunuwa

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY