මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගරයට යාබද අලුත්ගම ධම්මානන්ද මාවතේ පිහිටි පැරණි බෝ ගසක් කඩා වැටී එම මාර්ගයේ ගමන් ගත් එහි ගමන්කරමින් සිටි පිරිසක් හා කැබ් රථයක් මතට වැටීමෙන් කාන්තාවක මියගොස් හය දෙනකු බරපතළ තුවාල ලැබ ඇත.

මෙම ගස ඊයේ (24) දහවල් 1.00 ට පමණ කඩා වැටී තිබේ.

අනතුරින් මියගිය කාන්තාව ඇගේ සැමියා හා කුඩා දරු තිදෙනා සමඟ බෝගම්බර ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. මියගිය කාන්තාවගේ සැමියාගේ තත්ත්වය ද බරපතළ අතර දරුවන් තිදෙනා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කැර තිබේ.අවුරුදු 3 හා 7 වයසේ පසුවන මෙම පිරිමි දරුවන් අතරින් දෙදෙනකු නිවුන් සොහොයුරන් බව දැනගන්නට ඇත.

කැබ් රථය මතට ගස කඩා වැටීමෙන් එහි සිටි දෙදෙනකුද තුවාල ලැබ සිටින අතර ඔවුන් දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

ගසකඩා වැටීමෙන් කැබ් රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.

මියගිය කාන්තාව පොල්ගහමුල ඒදඬුවාවේ පදිංචි පද්මාකුමාරි (46) නැමැති අය බවට හඳුනාගෙන ඇත.

ඇය සැමියා හා දරු තිදෙනා සමඟ මහනුවර විහාර මහා දේවී විදුහලේ අධ්‍යාපනය ලබන වැඩිමහල් දියණිය සහභාගී වන නිවාසන්තර ක්‍රීඩා උත්සවය නැරඹීමට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී තිබේ. අසළ සිටි පිරිස් එක්ව තුවාල කරුවන් රෝහල්ගත කර තිබෙන අතර මහනුවර නාගරික ගිනි නීවීම් ඒකකයේ නිලධාරීන් විසින් ගස කපා ඉවත්කර ඇත.

 

අසේල කුරුළුවංශ

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY