දයානන්ද කියන්නෙ විජය වැඩිපුර ඇලුම් කළේ කළුපාට අයට කියලයි
. දයානන්දත් කළුයි. තව යාලුවෙක්‌ හිටියා කළු පැටි්‍රක්‌ කියලා. එයත් කළුම කළුයි. ඒ විතරක්‌ද? විජය යාලුවුණ කෙල්ලොත් කළුයි. හැබැයි හැඩයි. ලස්‌සනයි. කලු කෙල්ලේ උඹ හරිම හැඩයි සින්දුව කිව්වේ එහෙමයි.

බෙ න්ජමින් කුමාරණතුංග රාලහාමිගෙ නිවස පිහිටල තිබුණේ උතුරු සීදුවෙ කොහු මෝල පාරේ මුලටම වගේ එක්‌දහස්‌ නවසිය පනහෙ ජනවාරි මාසෙ මුල් දවස්‌වල මේ ගෙදර පුංචිම කොලු පැටියා මුල්වරට ඉස්‌කෝලෙ යන්න පටන් ගත්තා. චීත්ත රෙද්දෙන් මහපු ජංගියක්‌ ඇඳගෙන හිටියෙ. උරහිස්‌ දෙකෙන් පළාපු එම ජංගියෙ සිහින් පටි හතරකින් තමයි ගැට ගහල තිබුණෙ. ගල්ලෑල්ලයි හෝඩි පොතයි එක අතක තිබුණ. හීන් නූලකලින් ගැට ගහපු ගල් කූර මාලයක්‌ වගේ කරේ එල්ලෙමින් තිබුණා.

රතට රතේ ජම්බෝල ගෙඩියක්‌ වගේ මේ පුංචි කොලු පැටියාව ඉස්‌කෝලෙට එක්‌කන් ආවෙ ගියේ මේරි අක්‌කා. අසල්වැසි නිවසක කාන්තාවක්‌ වූ ඇය හුඟ කාලයක්‌ යනකම්ම මේ පුංචි කොලු පැටියව හදා ගන්න උදව් පදව් වුණා.

උතුරු සීදුවෙ කොහු මෝල පාරේ ඉඳල මේ කොලුව ආවෙ සීදුවෙ පල්ලිය හංදියට එහායින් තිබුණ දවි සමර කතෝලික පිරිමි ඉස්‌කෝලෙට. බෙන්ජමින් රාලහාමිගෙ ගෙදර ඉඳල මේ ඉස්‌කෝලෙට හැතැක්‌ම භාගයක්‌වත් නැති ගණන්. අනික්‌ ළමයි වගේම බෙන්ජමින් රාලහාමිගෙ පොඩි පුතත් ඉස්‌කෝලට ආවෙ පයින්මයි. “බෙන්ජමින් රාලහාමිගෙ පුංචි පුතා විජය කුමාරණතුංගව මට මුලින්ම මුණගැහුණෙ දවි සමරෙ හෝඩි පංතියේදී පුංචි පැංචි කාලයේ පටන් මිය යනතුරාවටත් යාළු හිතවත්කම් පැවැත්වූ තම හිතවතා විජය කුමාරණතුංග ගැන ආරියප්පෙරුම මතකය අවදි කළේ එහෙමයි.

ශිෂ්‍ය ගුරුවරයකු වශයෙන් ගුරු භූමිකාව ඇරඹූ දයානන්ද ආරියප්පෙරුම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගුරුවරයකු වශයෙන් සේවය කර විශ්‍රාම ගත්තෙ තමන් ඉගෙනුම ලබපු ඉස්‌කෝලෙම විදුහල්පතිවරයා වශයෙන්.

දයානන්ද, විජයට වඩා එක පංතියකට ඉහළින් හිටියෙ. විජය හෝඩියෙ. දයානන්ද පළමුවැනියෙ.

“ඉස්‌සර ඉස්‌කෝලෙ ලොකු ළමයි පොඩි ළමයින්ට විහිළු කරනවා. දවසක්‌ විජය හෝඩි පංතියෙ ඉගෙන ගනිද්දී ලයනල් මයිකල් කියන අපේ යාළුවෙක්‌ විජයට කිව්ව බලන්නකො අර අත්තෙ ඉන්න ලේනගෙ ලස්‌සන. විඡේ එබිල බැලුව කෝ කෝ කියල. හොඳට බලන්නකො ලෝරන්ස්‌ කිව්වා. හොඳට බලන්න විජය බංකුවෙන් නැඟිට්‌ටා. එතකොට ලෝරන්ස්‌ බංකුව පිටු පස්‌සට ඇද්දා. විජය ආපහු ඉඳගන්න ගියාම බිම වැටිලා ඔළුව හැප්පුණා බංකුවක. ඔළුව පිටිපස්‌ස ගෙඩි ගැහිලා. මම විඡේව උස්‌සලා නැගිට්‌ටලා ඔළුව අත ගෑවා. දයානන්ද පවසන්නේ විඡේ හා තමන් අතර සබැඳියාවට එලෙස මුල පිරූ බවය.

ඔවුන් පාසල් යන අවදියේ ගස්‌ සුද්දන් යනුවෙන් සෙල්ලමක්‌ තිබුණි. ඒ කාලෙ විජය ඉගෙන ගත්ත දෙවැනි පංතියේ.

ඉස්‌කෝලෙ පටන් ගන්න ඉස්‌සරවෙලා අපි ගස්‌ සුද්දන් සෙල්ලම කර කර හිටියා. විඡේ දුවද්දී තවත් ළමයෙකුගේ ඇඟේ හැප්පිලා බිම වැටිලා තොල පුපුරලා ලේ එන්න පටන් ගත්තා.

 

 

 

 

 

විජයගේ අයියා සිඩ්නි කුමාරණතුංග ඒ කියන්නේ ජීවන් කුමාරණතුංගගෙ තාත්තා හිටියෙ
ද වි සමර පිරිමි විද්‍යාලයට අල්ලපු වැටේ ගෙදරය.

දයානන්ද, තොලින් ලේ ගලන පුංචි විජයවද රැගෙන ජීවන්ලගෙ ගෙදරට ගියා.

මෙලෙස ඔවුන් දෙදෙනා අතර වූ මිත්‍රත්වය දැඩිවිය. විජය, දයානන්දගේ නිවසටත් දයානන්ද විජයගේ නිවසටත් නිතරම ආව ගියා. විජය, දයානන්දල එක්‌ක දවි සමරෙ ඉගෙන ගත්තෙ පස්‌වෙනි පංතිය දක්‌වා විතරයි. ඊට පස්‌සේ විජය කොළඹ කොටහේන ශාන්ත බෙනඩික්‌ විද්‍යාලයට ගියා. ටික දවසක්‌ ක¹න ඩි මැසනඩ් විදුහලට ගියා. ආයෙ කොටහේන ශාන්ත බෙනඩික්‌ විද්‍යාලයට ගියා.

දයානන්ද කියන්නේ ගමෙන් බැහැරව නගරයේ විද්‍යාලවලට ගියත් විජය ගමේ යාළුවන්ගේ ඇසුර අත්නොහළ බවය.

අන්ධකාර වැටුණයින් පසුව විජය තනිවම ගෙදර යන්න බයයි. දයානන්දලාගේ නිවසේ සිට විජයගේ නිවසට යායුත්තේ මිනීපිට්‌ටනියක්‌ පසුකරගෙනය.

හැන්දැවෙද්දී විජය අහනව එයාව ගෙදර ඇරලනව නේද කියලා.  මම ඇරලනවයි කියල කිව්වොත් තමයි එයා අපේ ගෙදර ඉන්නෙ. අන්දකාර වැටුණයින් පස්‌සේ මම එයාව එA ගොල්ලන්ගෙ ගෙදර එක්‌කන් යනවා. මිනීපිට්‌ටනිය ළඟදී විඡේ මගෙ අත තදින් අල්ලා ගන්නවා. දයානන්ද සිහිපත් කරන්නෙ ගෙවී ගිය අතීතයක සොඳුරු මතකයන්ය.

ඒ කාලෙ සීදුව පල්ලිය හන්දියෙ බාබර් සාප්පුව කළේ සවියෙල් අයියා. කොණ්‌ඩය කපන්න ගන්න ගාස්‌තුව ශත විසිපහයි. පොඩි කාලෙ විජය කොණ්‌ඩෙ කැපුවෙත් සවියෙල් අයියගෙ බාබර් සාප්පුවෙන්. සවියෙල් අයියගෙ කොණ්‌ඩය කපන මැසිම මොට්‌ටද මන්ද ඒකෙන් කොණ්‌ඩෙ කපද්දී බොහොම වෙලාවට කොණ්‌ඩ ගස්‌ ඉගල්ලෙනවා. එතකොට හරියට රිදෙනවා.

සවියෙල් අයියගෙ කකුලෙ කර ගැට. ඒක නිසා සිමෙන්ති පොළොවෙ නිකම් ඇවිද්දට සෙරෙප්පු නැතිව සවියල් අයියට එළියෙ ඇවිදින්න බැහැ.

හුඟ දවස්‌වල විඡේ කොණ්‌ඩෙ කපන්න ගියාම සවියෙල් අයියගෙ සෙරෙප්පු දෙක හංගනවා. කොණ්‌ඩෙ කපලා ඉවරවෙලා විජය, සැලුන් එකට පාරෙන් එහා පැත්තෙ තියෙන ජීවන්ලගෙ ක්‍රීම් හවුස්‌ එක ඉස්‌සරහට වෙලා බලාගෙන ඉන්නවා.

“බේබි මහත්තයා සෙරෙප්පු දෙක දෙන්නකො” බාගෙට අරින සැලුන් දොරෙන් ඔළුව එළියට දාන සවියෙල් අයියා කියනවා.

විජය හිනහ වෙවී ක්‍රීම් හවුස්‌ එක ඉස්‌සරහ. අන්තිමෙට සැලුන් එකේම මුල්ලක තියෙන සෙරෙප්පු දෙක සවියල් අයියා හොයා ගන්නවා.


පුංචි කාලෙ ඉඳලම විජය ඔක්‌තෝබර් නවවෙනිදා එයාගෙ උපන් දිනේට ඡායාරූපයක්‌ අරගෙන වෙනම ඇල්බම් එකක අලෝනවා. මම හිතන්නෙ විජය මැරෙනකම්ම ඒ පුරුද්ද තිබුණා.

“මම ළඟදී චන්ද්‍රිකා මැඩම්ගෙන් ඒ ඇල්බම් එක ගැන ඇහැව්වා. එතකොට එතුමිය කිව්වේ ජනාධිපති මන්දිරයෙදිත් ඒක තිබුණා. ඒත් ජනාධිපති මන්දිරයෙන් එද්දී ඒක අතුරුදන් වෙලාය කියලා” දයානන්ද පවසන්නේ අනුස්‌මරණ සැමරුම් ගොන්නකට සිදුවූ වින්නැහිය පිළිබඳවය.

තමන්ගේ උපන්දිනයට තම ගමේ යාළුවන්ට පුංචි සාදයක්‌ දීම පාසැල් යන අවදියේ පටන් සිරිතක්‌ය. සාදය බොහෝවිට පවත්වන්නේ ජීවන්ලාගේ නිවස පසකින් වූ ගල් බංකුවක්‌ මතය.

“ඔරෙන්ඡ් බාර්ලි බෝතල හත අටක්‌ මාරි බිස්‌කට්‌ වගේ විඡේ ගේනවා. අවුරුදු දහහත වගේ වෙද්දී විඡේ එයාගේ උපන් දිනයට බීර බෝතල දෙක තුනක්‌ ගෙනවා. දයානන්ද වැඩිදුරටත් කියන්නෙ තමන්ද එකිනෙකා ශත විසිපහ, පනහ එකතුකර තමන්ගෙ හිතවතාට කමිසයක්‌ වැනි තෑග්ගක්‌ පිරිනමන බවයි.

විජය තමන් ඇසුරු කරන යහළුවන් වෙත විශේෂ ලැදියාවක්‌ දැක්‌කුව කෙනෙක්‌. මේ නිසාම පාසල් යන අවදියේ ඔහු අනවශ්‍ය ගැටුම්වලටද සහභාගි වුණා.

දයානන්ද පවසන ලෙස ඒ 1964 ජනවාරි 31 දිනයය. ඒකාලේ විඡේ ඉගෙන ගත්තෙ ක¹න ඩි.මැසනඩ් විදුහලේ.

මේ කොන්ත්‍රාත් එක අපිට බාර දුන්නේ ලැනී කියල අපේ යාළුවෙක්‌. දෙAශපාලන හේතුවක්‌ හින්ද ඔහුගෙ තරහ ගුරුවරයෙක්‌ හිටියා. එයා මීගමුව පැත්තෙන් ආවෙ. ජාඇල පැත්තෙ ඉස්‌කෝaලෙක ඉගැන්නුවෙ. යන්නෙ එන්නේ කෝච්චියෙ. ලැනීට ඕන වුණා මේ ගුරුවරයාට අපේ යාළුවො කට්‌ටිය ලව්ව ගස්‌සවන්න. දයානන්ද මේ මුල පුරන්නේ යොවුන් වියේ දඩබ්බරකම් සිහිපත් කිරීමටයි.

දයානන්ද දුම්රියට ගොඩවුණේ මරදානෙන්. ඒ දුම්රියේ ටික්‌කන් එනවාදැයි බැලීමටය. දයානන්ද සමඟ තවත් යහළුවො දෙදෙනෙක්‌ හිටියා. විජය ක¹න දුම්රිය පොළොන් දුම්රියට ගොඩ වුණා.

ඒත් ජාඇලදී පහරදීමට නියමිත ගුරුවරයා දුම්රියට ගොඩ වුණේ නැහැ. යාළුවො කට්‌ටිය දුම්රියෙන් බැස ඉදිරියට යන්නට වුණා. එතකොට ලැනී පෙන්නුව ගහන්න ඕන ගුරුවරයාව. ළඟ ඇති හෝටලයකට ගිය ඔවුන්ට ලැනීගෙන් මස්‌කට්‌ එක්‌ක කිරි තේ සංග්‍රහයක්‌ ලැබුණි. ආපසු පැමිණි ඔවුන් මීගමුව දෙසට යන ඊළඟ දුම්රිය ආපුවම අර ගුරුවරයා නැඟුණ පෙට්‌ටියටම නැග්ගා.

කුඩහකපොල ඉඳල සීදුවට එනකම්ම ගැහැව්වා. ගෝරිය බේරන්න විජයගෙත් නෑයෙක්‌ වන ජස්‌ටින් කියල ගුරුවරයෙක්‌ මැදිහත් වුණාම, ඕන නැති දේවලට හොම්බ දාන්න එපාය කියල එයාටත් ගහල සීට්‌ එක යටට ඔබල දැම්මා. විජය යහළුවන් වෙනුවෙන් සටන් කළේ පසුව ප්‍රතිඵල වශයෙන් එළඹිය හැකි කරදර අභියෝග පිළිබඳව සිතා මතා නොවේ.

විජයගේ මානව හිතවාදී ගුණය යොවුන් කාලයේ ඉඳල පෙන්නුම් කළා. ඒ කාලෙ වැඩි හරියක්‌ තිබුණෙ පොල් අතු හෙවිල්ලපු ගෙවල්. තරුණ නඩ තමයි මේ පොල් අතු හෙවිල්ලන වැඩවලට එකතුවෙන්නෙ. විජයගෙ යාළුවොත් එහෙම තමයි. ටවුමෙ කොලෙඡ් එකකට ගියත් තමන්ගෙ යාළුවොත් සහභාගිවන පොල් අතු හෙවිල්ලන ශ්‍රමදානයකට විජය නොවරදවාම සහභාගි වුණා.

සමහර වහලවල රීප්ප බැඳල තියෙන්නෙ ටිකක්‌ දුරින් දුරින්. ඒa වගේම වහලයක පොල් අතු බඳින්න අමාරුයි. විජයගෙ කකුල් දිග නිසා දුර රීප්පවලට කකුල් තියල පොල් අතු පහසුවෙන්ම ගැට ගහනවා. දයානන්ද තම හිතවතා ගැන එසේ පවසා මෙසේ ප්‍රශ්න කරයි. මහා ලොකු වාමාංශිකයො මානවහිතවාදීන් හිටියා. වහලයට පොල්අතු බඳිද්දී අමු පොල් කොළයකින් හරියට ගැටේ ගහන්න දැනගෙන හිටියෙ කවුද?

එල්ලේ ගහන්නත්, පුට්‌ බෝල් ගහන්නත් විජය සැබෑ දක්‌ෂයකු විය. ඒ කාලේ සීදුව සමරැස්‌ එල්ලේ කණ්‌ඩායමේ හොඳම ලකුණු රැස්‌කරන්නෙක්‌. විජය උසයි. අතුත් දිගයි. ඒ හින්දා විඡේ එල්ලේ ගැහව්වේ පුරුක්‌ පහේ දිග බම්බුවකින්.

හවසට බතික්‌ සරමක්‌ ඇඳගෙන එන විඡේ සරම ගලවල වැටක දාලා රනින් සූට්‌ එකෙන් එල්ලෙ ගහන්න එන්නේ. එකදවසක්‌ එල්ලේ මැච් එකක්‌ තිබුණා ජාඇල පොලිසිය පිටිපස්‌සේ සෙක්‌කුවත්තේ පිට්‌ටනියෙ. විජය ගහන පාරට බෝලෙ ඇළට තමයි හුඟක්‌ වෙලාවට වැටෙන්නේ. ඒ තරම් පාර සැරය. දයානන්ද කියයි.

විජයගේ නිවස පිටුපස ලොකු කොහුබත් කන්දක්‌ තිබුණා. ඔවුන් කරනම් ගැහුව්වේ මේ කොහුබත් කන්ද උඩ. ඊට ටිකක්‌ එහායින් තිබෙන දඬුගම් ඔයේ ඉහල පහළට පැය ගානක්‌ විජය යාළුවොත් එක්‌ක පිහිනුවා. කොහෙල් කොටන් කරේ තියාගෙන හැතැක්‌ම දෙකක්‌ විතර පයින්ම යන්නේ මීගමු කලපුවේ තෙප්පම් පදින්න.

දයානන්ද කියන්නෙ විජය වැඩිපුර ඇලුම් කළේ කළුපාට අයට කියලයි. දයානන්දත් කළුයි. තව යාළුවෙක්‌ හිටියා කළු පැටි්‍රක්‌ කියලා. එයත් කළුම කළුයි. ඒ විතරක්‌ද? විජය යාළුවුණ කෙල්ලොත් කළුයි. හැබැයි හැඩයි. ලස්‌සනයි. කළු කෙල්ලේ උඹ හරිම හැඩයි සින්දුව කිව්වේ එහෙමයි.

විඡේ ලස්‌සනයි. ඒක හින්දා ඉස්‌කෝලෙ යන කාලෙ ඉඳල විජයට කෙල්ලො වැටෙනවා. හැබැයි විඡේ ඇහැක්‌ ගැහැව්වෙ කළු කෙල්ලෙකුට විතරයි. ගමේම යාළු කෙල්ලො කීප දෙනෙක්‌ම හිටියා. හැබැයි ඒවා බොහෝම අහිංසක ආදර ඒ කාලෙ. හිනහවෙනවා කතා බහ කරනවා විතරයි. ඊට එහා නැහැ. වැඩිම වුණොත් බොහොම හදිස්‌සියෙ හාද්දක්‌ විතරක්‌ එහා මෙහා වේවි.

විජයගෙ හිතේ තදින් ලැගුම් ගත්ත සඳවතියක්‌ වගේ ලස්‌සන කළු කෙල්ලෙක්‌ හිටියා. සීදුවේම තමයි. කෙල්ලගෙ ගෙදර අය මේකට විරුද්ධයි. දවසක්‌ කෙල්ලගෙ අයියා තුවක්‌කුවකුත් අරන් වෙඩි තියන්න වගේ ආවා. විඡේ අත් දෙකට ගඩොල් කැට දෙකකුත් අරන් ඉස්‌සරහට ගියා. අඩෝ පුළුවන් නම් වෙඩි තියපන් කියලා. ඒ කාලෙ විඡේ නළුවෙක්‌ නෙවෙයි. ඒත් නළු පාට්‌ තමයි තිබුණෙ.

දවල් හිරු එළියට මේ ආදරේ හැංඟිලා තිබුණට රෑ සඳඑළියට මේ ආදරේ විකසිත වුණා. සමහර රැයක විඡේ කෙල්ලගෙ ගේ ළඟට ගිහිල්ල තොල් දෙකට ඇඟිලි දෙක තියලා පුංචි විසිල් පාරක්‌ ගහනවා. අඳුරු වලා අතරින් සඳවතිය එබී බලනවා වගේ කෙල්ල හෙමින් කුස්‌සිය දොරෙන් එළියට එනවා. ගේ අයිනෙ එළු කොටුවක්‌ තිබුණා. විඡේ කම්බි වැටෙන් පැනලා එළු කොටුව ළඟට යනවා. එළු කොටුව ළඟට වෙලා ආදරවන්තයො ඔමරි කොමල පානකම් දයානන්ද කම්බිවැටෙන් මෙහා පැත්තෙ ඉඳගෙන මදුරුවො තලනවා මුරට.

විඡේ නළුවෙක්‌ වගේම දක්‍ෂ ගායකයෙක්‌. සමහර විට ගායකකම ලේවලම තියෙන්න ඇති. විඡේගෙ අයියා සිඩ්නි. ඒ කියන්නෙ ජීවන්ගෙ තාත්තත් සිංදු කියන්න දස්‌සයි. බොහෝම ලැදියි. ඒ කට්‌ටිය සිංදු කියන්නෙ ලවුස්‌ පීකර් බැඳගෙන. සීදුව පල්ලිය හංදියෙ රිචඩ් අයියගෙ රේඩියෝ කඩේ උඩ තට්‌ටුවෙ තමයි පාටි දාන්නෙ. ආටි අයියා තබ්ලාව ගහනවා. ගුණේ අයියා සරපිනාව ගහනවා. ඔය තාලවලට විඡේගෙ සිංදු තාල සීදුව පල්ලිය හන්දිය පුරා මහා රාත්‍රිය වෙනකම් ඉහිරිලා යනවා.

“ගායකයෙක්‌ නළුවෙක්‌ විතරක්‌ නොවෙයි විඡේ දක්‍ෂ චිත්‍රශිල්පියෙක්‌” දයානන්ද තමයි එහෙම කියන්නෙ. ඉස්‌සර තිබුණා වීදුරුවලින් හදලා වටේට වේවැල්වලින් වළල්ලක්‌ හයිකරපු ටේ්‍ර බන්දේසි. මේ වීදුරුවල උඩ පැත්තට හරියට පේන්න යට පැත්තෙ චිත්‍ර අඳින්න විඡේට අපූරු දස්‌සකමක්‌ තිබුණා. බිත්තරේ හැඩේට වීදුරුවක්‌ කපල ගෙනාවම විඡේ චයිනිස්‌ ලැකර්වලින් සීගිරි ලලනාවන්, හැන්දෑවෙ ඉර බහින හැටි, මුහුදෙ රුවල් ඔරු පාවෙන හැටි හරි අපූරුවට අඳිනවා.

ඒ කාලෙ සීදුවෙ විතරක්‌ නොවෙයි අවට බොහෝ ගම්වල පොල් ගස්‌ අතුරට දීලයි තිබුණෙ. ජීවන්ලගෙ වත්තෙ පොල් ගසුත් අතුරට දීලයි තිබුණෙ. ජීවන්ලගෙ වත්ත පිටු පස්‌සෙ වෙල අයිනට වෙන්න මල් තුනක්‌ මදින පොල් ගහක්‌ තිබුණා. ගහ වැඩිය උස නැහැ. පොල් ලෙලි පහෙන් ගහ මුදුනට ගියැකි. විඡේ ඒ කාලෙ රා බොන්න දෙයියා. අන්දකාර වැටෙද්දි දයානන්දයි විඡේයි පොල් ගහ මුදුනට නඟිනවා. අර මුට්‌ටි තුනේම තියෙන රා එක මුට්‌ටියකට එකතු කරලා පැණිම පැණි රහ තෙලිඡ්ජ ගහ උඩදීම බීලා පහළට බහිනවා.

වත්තෙ අතුර මුරකරන්නෙ අන්දරේ අයියා. පහුවදා උදේ අන්දරේ අයියා ජීවන්ලගෙ තාත්තව මුණ ගැහෙන්න යනවා.

මහත්තයා අදත් අර මල්තුනේ ගහේ රා හොරෙන් බීලනෙ අන්දරේ අයියා කියනවා.

” අන්දයියා හොරෙන් එන එවුන් කියන්නකො. මම මේ ජනේලෙන්ම තුවක්‌කුව දාල වෙඩි තියන්නම්” ජීවන්ගෙ තාත්ත කියනවා.

“පිට අය හොරෙන් බොන්නෙ. බිව්වට කමන් නැහැ කියමකො. ගස්‌ මුට්‌ටි තුන හරියට මල් තුනට හේත්තු කරලවත් එනවා නම්” අන්දරේ අයියා කියනවා.

විජය කොළඹ පදිංචියට ගියාට පස්‌සෙත් සීදුවට ආවම දයානන්දලගෙ ගෙදරින් රා බොනවා. එදාට දයානන්ද හොඳ කට ගැස්‌මවල් හදනවා.

දයානන්දලගෙ තාත්තා කුම්බලා කරවල ගිනි අළු පල්ලෙ පුච්චලා කටු ඇරලා කෝප්පරා එක්‌ක එකට කොටල අපූරු කට්‌ට සම්බෝලයක්‌ හඳනවා. සරදගෙ මල්ලි ඌරු බොකුයි හරක්‌ බොකුයි මිරිසට හදනවා.

“බැඳපු තෝර මාළු පෙතියි. හැම් බේකන්වලට වඩා මේවා රසයි බන්” විජය ඇස්‌ පුංචි කරල හිනාවෙලා කියන්නෙ හෘදයාංගමව.

විඡේට තරුණ කාලෙ ඉඳලම දේශපාලන දර්ශනයක්‌ තිබුණා. ඔහු උදව් කළේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට ජීවන්ගෙ තාත්තා උදව් කළේ සම සමාජ පක්‍ෂයට. විවියන් ගුණවර්ධන, මීගමුවෙ හෙක්‌ටර් ප්‍රනාන්දු එන සම සමාජ රැස්‌වීම් තියන්නෙ. ජීවන්ලාගෙ ගෙදර. විඡේ මේ රැස්‌වීම්වලටත් හිටියා. ඒ විතරක්‌ නොවෙයි දයානන්ද පුෂ්බයිසිකලෙන්, සම සමාජ පත්තරේ වික්‌කෙත් විඡේ.

එක්‌දහස්‌ නවසිය හැටනවයෙ සීදුවෙ හංදියෙ බේලින් අයියගෙ කඩේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂ ශාඛා කාර්යාලයක්‌ පිහිටුවනවා. මාසෙට කඩ කුලිය රුපියල් තිස්‌පහයි. ඒකෙන් රුපියල් පහලොවක්‌ම දුන්නෙ විඡේ. හැත්තෑ එකේ කැරැල්ල වෙලාවෙ හමුදාවෙන් මේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂ කාර්යාලය කුඩේ කුඩු කරනවා.

“උඹලගෙ කඩ කුලිත් එපා. ටික කාලයක්‌ යනකම් උඩල සීදුව හංදියට එන්නත් එපා” බේලින් අයියා පණිවිඩයක්‌ එවනවා.

එහෙව් දේශපාලන පසු බිමක්‌ තිබුණ විඡේට “ජන වේගයට” කොක්‌ක ගැහැව්වෙ කුමාර් රූපසිංහ, ඒ කියන්නෙ සුනේත්‍රා බණ්‌ඩාරනායකගෙ සැමියා. විඡේ, කුමාර් රූපසිංහව හඳුනගත්තෙ කොළඹ, තලකොටුව වත්තෙ ගෙදර පදිංචියට ආවට පස්‌සෙ.

ඒ කාලෙ දයානන්දයි තවත් යාළුවො කීප දෙනකුටයි ශිෂ්‍ය ගුරු පත්වීම් ලැබෙනවා. ඒක නිසා විඡේත් ශිෂ්‍ය ගුරු පත්වීමක්‌ සඳහා ඉල්ලුම් පත් දානවා. දයාන්ද කියන්නෙ සම්මුඛ පරීක්‍ෂණය තිබුණෙ කටුනායක මහා විද්‍යාලෙ කියලයි. ඒ කාලෙ දයානන්දයි, තවත් යාළුවන් වුණ පැටි්‍රක්‌ පලිහවඩනයි ආරියසිංහල ජාතික ඇඳුම් දෙකක්‌ මහලා තිබුණා. විඡේ කිව්ව ශිෂ්‍ය ගුරු සම්මුඛ පරීක්‍ෂණයට යන්න ජාතික ඇඳුම අඳින්න ඕනය කියලා. ඒත් විඡේ අඳින්න දන්නෙ නැහැනේ. ඒක නිසා යාළුවො ටික වේට්‌ටිය ඇන්දෙව්වා.

“මේ මොන මඟුලක්‌ද බන්? මට කකුල් දෙකවත් එහා මෙහා කරගන්න බැහැනේ” හිරට අන්දවලා තියෙන වේට්‌ටිය දිහා බලපු විඡේ වේට්‌ටිය දෙකට නමලා චීත්තයක්‌ අඳින්න වගේ වේට්‌ටිය ඇඳගත්තා.

වේට්‌ටියක්‌ ඇඳගෙන විඡේ බයිසිකලයට නැග්ගමයි. කට්‌ටියට බඩ පැලෙන්න හිනාගියෙ. වේට්‌ටිය කකුල දෙපැත්තට දෙබෑ වුණා. යටට ඇඳපු ලන්කට්‌ එක ගජරාමෙට එළියෙ. පස්‌සෙ විඡේ දිග කලිසමක්‌ ඇඳගෙන ශිෂ්‍ය ගුරු සම්මුඛ පරීක්‍ෂණයට ගියා. ඒත් ලංකාවෙ චිත්‍රපට රසිකයන්ගෙ වාසනාවට විඡේට ශිෂ්‍ය ගුරු පත්වීම ලැබුණෙ නැහැ.

විඡේගෙ පළමු වන චිත්‍රපටය හන්තානෙ කතාව නිර්මාණය වෙන්නෙ එක්‌දහස්‌ නවසිය හැටහත කාලෙ. ඒ කාලෙ විඡේ, හන්තානෙ කතාව චිත්‍රපටයෙ තිරකතා පිට පත ගෙනැල්ල ජීවන්ලගෙ වත්තෙ ගල් බංකුවට වෙලා යාළුවො එක්‌ක ඒක පුරුදු වුණා. හන්තානෙ කතාව චිත්‍රපටයෙ රඟපෑවට ලැබුන මුදලින් රුපියල් හාරදහස්‌ පන්සීයක්‌ ගෙවලා හොන්ඩා මෝටර් සයිකලයක්‌ මිලදී ගත්තා. ඒක තමයි විජයගෙ සල්ලිවලින් ගත්ත පළමු වාහනය.

චිත්‍රපටවල හඬ කැවීම් වගේ වැඩවලට ගිහිල්ල මහ රෑ කොළඹ ඉඳල විඡේ සීදුවට මෝටර් සයිකලෙන් පැය කාලට ඉගිලෙනවා. විඡේගෙ මේ ඉගිලිල්ලට යාළුවොත් බැන්නා. විඡේගෙ අම්ම කැමැති වුණෙත් නැහැ. කොළඹට යන එන ගමන් වැඩිවුණාම, විඡේ අම්මත් එක්‌ක තලකොටුව වත්තෙ පදිංචියට යනවා.



ජන වේගයෙ කුමාර් රූපසිංහ විජයට කොක්‌ක ගැහුවයින් පස්‌සෙ, සීදුව පන්සල හංදියෙ ජනවේගය කාර්යාලයක්‌ පිහිටුවන්න විඡේ කුමාර් රූපසිංහ එක්‌ක රැස්‌වීමක්‌ තිබ්බා. එතැන සම සමාජ බලය වැඩියි. රැස්‌වීම කඩාකප්පල් වුණා. කුමාර්ල ගියා. මේ දේශපාලන හේතු හින්දම විජයගෙ සමහර යාළුවො විඡේට විරුද්ධ වුණාය කියලයි විජයගෙ තවත් යාලුවෙක්‌ වන චන්ද්‍රසිරි සෝමපාල කියන්නෙ.

මේ හින්ද දවසක්‌ රාත්‍රියේ විඡේ මෝටර් සයිකලයෙ එද්දී සීදුව හංදියෙදී විඡේව වටකළේ කඩු පිහි එක්‌ක. එතැන විජයගෙ යාළුවොත් හිටියා. ඔවුන්ට ඕන වුණේ විජයගෙ මූණ කපන්න.

“තොට තවත් නළුකම් කරන්න දෙන්නෙ නැහැ.” මෝටර් සයිකලයෙන් බිම වැටුණ විඡේගෙ මූණටමයි කොටන්න හැදුවෙ. විඡේ මූණ පොළොවට තද කරගෙන මූණ බේරගන්න උත්සාහ කළා.

වාසනාවකට වගේ කුමාර් රූපසිංහගෙ පර්ජෝ කාර් එක විඡේ පිටි පස්‌සෙන්ම ආවා. කට්‌ටිය දිව්වා. පොලිසියෙන් එනවය කියලා හිතලා. විඡේව කාර් එකේ දාගෙන කොළඹ ඉස්‌පිරිතාලෙට ගෙනවා.

විජයගෙ මුහුණත් කැපිලා. හක්‌ක වෙන් වෙලා. විජයගෙ ඥාතියෙක්‌වන දොස්‌තර කාලෝ ෙµdන්සේකා ඒ වෙනකොට හිටියෙ නුවරඑළියෙ කාලෝ ඉක්‌මනින්ම කොළඹ ඇවිල්ලා විජයව භාර ගත්තා. ප්‍රතිකාර කළා. විජයගෙ යාළුවො කියන්නෙ කාලෝ නොහිටින්න එදායින් පස්‌සෙ විජය කුමාරණතුංග කියල නළුවෙක්‌ නොහිටින්න තිබුණ කියලයි.

සමහර යාළුවො විජයට එහෙම පීඩාකාරී ලෙස සැලකුවත් ඒ අයට උදව්වක්‌ ඕන වුණ වෙලාවක විඡේ අහකබලා ගත්තෙ නැහැ. කර ඇරියෙ නැහැ.

විජයගෙ මුහුණ කපපු අය අතරෙ ඇඩින්නුත් හිටියා. ඇඩින්ගෙ මරණය, ලැනී ගිහිල්ල විජයට කියපුවම මළ ගෙදර වැඩ කරගන්න සල්ලි දුන්නෙත් විඡේයි.

කළු පැටි්‍රක්‌ කියන්නෙ විජයගෙ යාළුවෙක්‌. එයාට ලියුකේමියාව හින්ද කොළඹ ඉස්‌පිරිතාලෙ නතර කරලා තිබුණෙ. කළු පැටි්‍රක්‌ට හැමදාම අලුතෙන් රුධිරය දෙන්න ඕනෙ. ගමේ යාළුවො ලේ බැංකුවට ගිහිල්ල ලේ දෙනවා. විඡේත් දවසක්‌ ගිහිල්ල ලේ දුන්නා. දෙවැනි දවසෙත් ගිහිල්ල දුන්නා. තුන්වැනි දවසෙත් විඡේ ලේ දෙන්න ගියාම ලේ ගන්න අයට තේරුණා මේ දවස්‌තුනේම ආවෙ එක්‌කෙනාය කියලා. එහෙම එකම කෙනාගෙන් ආ එක දිගට දවස්‌ තුනක්‌ ලේ ගන්නෙ නැහැයි කියල විඡේව හරවලා ඇරියා.

අන්තිමේදී කළු පැටි්‍රක්‌ව ජීවත් කරවන්න බැහැය කියල දොස්‌තර දැනුම් දුන්නා. කළු පැටි්‍රක්‌ තේරුම් ගත්ත තමන්ගේ ජීවිතේ එතරම් දිග නැතැයි කියලා.

“මචන් මට මැරෙන්න ඉස්‌සරවෙලා මගේ කෙල්ලව බලන්න ඕන.” මරණාසන්නව සිටි කළු පැටි්‍රක්‌ විඡේට කිව්වා. විඡේගෙ බාප්පගෙ දුව එක්‌ක තමයි කළු පැටි්‍රක්‌ යාළුවෙලා හිටියෙ. හැබැයි කෙල්ලගෙ ගෙදර අය කැමැති නැහැ.

දවල් දහයට, අවේලාවෙ වාට්‌ටුවට ඇතුළු වෙන්න විජය දොස්‌තරලගෙන් අවසර ඉල්ල ගත්තා. පහුවදා තමන්ගෙ බාප්පගෙ දුවව කාර් එකකින් විඡේ ඉස්‌පිරිතාලෙට ගෙනාවා. කළු පැටි්‍රක්‌ ලස්‌සසනට ඇඳගෙන හිටියා. දෙන්නා හුඟ වෙලාවක්‌ වාට්‌ටුවෙ කතා කරකර හිටියා. විඡේ කාර් එකෙන්ම කෙල්ලව ආපහු සීදුවට ඇරලෙව්වා. කළු පැටි්‍රක්‌ මැරෙන්නෙ ඒ ආදර සුවයත් තුරුලු කරගෙනමයි.

ගාමිණී මැද ගෙදරව මැරුවෙ පොළොන්නරුවෙ වැව් ඉවුරුකදී. ගාමිණී කොමියුනිස්‌ට්‌ පක්‍ෂ ක්‍රියාකාරිකයෙක්‌. පසුව මහජන පක්‍ෂයට සමීප වුණා. ගාමිණීගෙ සහෝදරයෙක්‌ මහජන පක්‍ෂයෙ හොඳ ආධාර කාරයෙක්‌. පොළොන්නරුවේදී වෙඩි තියල මරපු ගාමිණීගෙ අවමඟුල් වත්පිළිවෙත් කළේ සීදුවේදි. ඒ ඔහුගෙ තාත්තල හිටියෙ සීදුවෙ නිසා.

විඡේත්, පීලික්‌ස්‌ පෙරේරාත් එක්‌ක හවස ගාමිණී මැදගෙදරගෙ අවමඟුල් ගෙදර ආවා. විජයට හදිස්‌සියෙ කොළඹ යන්න යෙදුණා. ඒ පෙබරවාරි විසිඑක්‌වෙනිදා පවත්වන්න තිබුණ ඒකාබද්ධ විපක්‍ෂය රැස්‌වීමේ සංවිධාන කටයුත්තකට. ඒ රැස්‌වීමේදී විඡේව ජනාධිපති අපේක්‍ෂකයා ලෙස යෝජනා කරන්න නියමිත වෙලා තිබුණය කියලයි දයානන්ද කියන්නෙ.

ඩී. ඒ. මහජන පක්‍ෂය වෙනුවෙන් ඔයා කතා කරන්න මට හදිසියෙ කොළඹ යන්න වෙලා තියෙනවා. විඡේ දයානන්දට කිව්වා. විඡේ දයානන්දට කතා කරන්නෙ ඩී. ඒ. කියලා.

කොමියුනිස්‌ට්‌ පක්‍ෂය වෙනුවෙන් කතා කළේ කේ. පී. සිල්වා. දයානන්ද, විඡේ වෙනුවෙන් කතා කළා.

ඒ තමයි දයානන්ද විජයව දැක්‌ක අන්තිම දවස. ඒ පෙබරවාරි පහළොස්‌වැනිදා පහුවදා දයානන්ද තමාලි ප්‍රෙස්‌ එකේ ඉද්දි රේඩියෝ එකෙන් ඇහුණා විඡේට වෙඩි තියල කියලා.

පීටර් කැනියුට්‌ පෙරේරා

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY