1.  සරණාගතයන් 267දෙනෙකු සඳහා තම ප්‍රාන්තයේ ඉඩ ලබා දීමට කැමැති බව වික්ටෝරියා ප්‍රාන්ත පාලක කියයි

වික්ටෝරියා ප්‍රාන්ත පාලක ඩැනියල් ඇන්ඩෲ මහතා විසින් ප්‍රකාශිත මෙම ඇරැයුම නිසා ඕස්ට්‍රේලියාවෙන් පිටත දූපත්වල සරණාගතයින් රැඳ වීමට එරෙහිව නැඟ එන විවේචන නව මාවතකට හැරී ඇති බව වාර්තා වෙයි.

 ඕස්ට්‍රේලියාවේ උපන් සරණාගත දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයට වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි වීමට ඉඩ ලබා දිය හැකි බව ඇන්ඩෲ මහතා ඉකුත් දා ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් වෙත ලියූ ලිපියකින් දන්වා සිටියේය.

ඕස්ට්‍රේලියා මහාද්වීපයෙ න්ඉතා ඈත පිහිටි කුඩා දූපත්වල සරණාගතයින් පදිංචි කර වීම අමානුෂික ක්‍රියාවක් බවත්, විශේෂයෙන් ළමුන් එවැනි පරිසරයක රඳවා තැබීම “ශාරීරික මෙන්ම මානසික කැලතිය හෙවත් චිත්ත පීඩාවට” ලක් කිරීම අප විසින් නොකළ යුතු වැඩක් බවත් මාගේ හැඟීමයි යනුවෙන් ඔහු එමඟින් අගමැතිවරයාට පෙන්වා දී ඇත.

  “ඒ වැඩේ හරි නැහැ”, “ඒ වැඩේ අපේ ගුණ ධර්මවලට ගැළපෙන්නේ නැහැ” යනුවෙන් වෛද්‍ය වෘත්තිකයන් වගේම මානුෂීය සේවා ආයතනත් අපට කියනවා.  ඉකුත් බදාදා මහාධිකරණයේදී තීන්දු වූයේ “නාවුරු” සහ “මැනුස්” දූපත්වල සරණාගතයින් රැඳවීම නීත්‍යනුකූලයි යනුවෙනුයි.

ඒ නිසා ළදරුවන් 37දෙනෙක් ඇතුළු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පතන 250දෙනෙක් රැඳවීමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා.  නමුත් අගමැතිවරයා පවා පැවසුවේ මෙම රැඳවීම සාධාරණ විසඳුමක් නොවුණත් මෙලෙස රඳවන සියලු පවුල්වල රැකවරණය ගැන ආණ්ඩුව වග කියන බවයි.

…………………………………………………………………………….

  1. ඕස්ට්‍රේලියාවේ රැකවරණය පතා පැමිණි දරුවන් ඕස්ට්‍රේලියාවේම රඳවා ගත යුතු යැයි ඉල්ලමින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ඇතුළු කම්කරු පක්ෂය යටතේ පවතින ප්‍රාන්තද හඬ නඟයි.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට අපේක්ෂා කරමින් පැමිණි ළමුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සරණාගත කඳවුරු වෙත පිටුවහල් කර යැවීමේ ආණ්ඩුවේ පියවර නතර කරන ලෙස ඉල්ලමින් හඬ නැඟීමට වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විසින් අරඹන ලද විරෝධතාවට දැන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයද එක්ව සිටී.

ඉකුත් බදාදා මහාධිකරණ තීන්දුවත් සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආ දරුවන් 37දෙනකු ඇතුළු පවුල්වල 267දෙනකුගේ ප්‍රාර්ථනා බිඳ වැටුණි.  වික්‍ටෝරියා ප්‍රාන්ත පාලකයා විසින් අගමැතිවරයා අමතා යැවූ ලිපියෙන් ඊට විරෝධය පා තිබුණි.  ඊට එක්වූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පාලක ඇනැස්ටාසියා පැලැස්සූක් විසින් ඉකුත් ඉරිදා පැවසුවේ “ළමුන් එවැනි අඳුරු තත්ත්වයකට වැටෙන්න ඉඩ හරින්න මට බැහැ.

අපේ ප්‍රාන්ත ජනතාවත් එවැනි නරක තත්ත්වයක් දකින්න කැමැති නැහැ. කෝ අපි දෙසන මානුෂිකබව, ආණ්ඩුව දෙසන මෛත්‍රිය මේකද? යනුවෙන් ඇය පැවසීය. මම දුරකථනය අරන් අගමැති මැල්කම් ටර්න්බුල් මහත්තයට කියනවා, මගේ ප්‍රාන්තයේ විවිධ ජාතීන් ජීවත් වෙනවා.

මා අත්දැකීමෙන්ම දන්නවා, දරුවන් කඳවුරුවලට ගාල් කළාම මොකද වෙන්නේ කියලා.  අපේ දේශපාලන මත පැත්තක දාලා ඒ ළමුන් වෙනුවෙන් සිතා තීරණයක් ගත යුතුයි” යනුවෙන් ඈ වැඩිදුරටත් පැවසීය.

  1. පදිංචිය පතා ආ අයට ඊට ඉඩ දෙන්නැයි ඉල්ලීම් මැද වුවත් රටේ මායිම් රැක ගැනීමේ ආරක්ෂක පියවර ඊට වඩා වැදගත්බව අගමැතිවරයා පවසයි.

ඕස්ට්‍රේලියාවේ උපන් දරුවන්ද ඇතුළු පවුල්වල 267දෙනෙක් නාවුරු දූපතට පිටුවහල් කර යැවීමට එරෙහිව රට තුළ විරෝධයක් මතු වෙමින් එන වාතාවරණයක් තිබියදී පවා රටේ දේශ සීමා ආරක්ෂා කිරීමට ආණ්ඩුවේ ප්‍රමුඛතාව ලබා දෙන බව අගමැති මැල්කම් ටර්න්බුල් පැවසීය.

නිව් සවුල් වේල්ස් ප්‍රාන්ත පාලක මයික් බෙයාර්ඩ් මහතාද වික්ටෝරියා ප්‍රාන්ත පාලක ඩැනියෙල් ඇන්ඩෲස් සමඟ එක්වී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහාධිකරණ තීන්දුව ගැන නොසිතා මේ පවුල්වල අය ඈත දූපතක රැඳවීම නතර කරන ලෙසයි. ඒ දූපතේදී දූෂණයට ලක්වූවා යැයි පැවසෙන අවුරුදු පහක් වයසැති ළමයකුද එම කණ්ඩායම අතර සිටී.

  නමුත් ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි වැඩසටහනකට සහභාගි වෙමින් අගමැති ටර්න්බුල් මහතා පැවසුවේ, දේශ සීමා ආරක්ෂාව ලිහිල් කළහොත් නීති විරෝධී මිනිස් ජාවාරම් ව්‍යාපාරවල නිරත අය දහස් ගණනින් විදේශිකයින් යාත්‍රා මඟින් ඕස්ට්‍රේලියාවට එවීමට යුහුසුළු වනු ඇති බවයි.

“මං මේ ගැන අදහස් පළ කරන්නේ බො‍හොම ප්‍රවේශමෙන්.  මොකද, මිනිස් ජාවාරම්කරුවන් හැම විටම මගෙන් පිටවන වචන හොඳින් අහුලන්න බලා ගෙන ඉන්නේ.  මොකද, ඔවුන් මාන බලා ඉන්නේ අප රටට මිනිසුන් පටවන්න ඉඩ ලැබෙන මොහොතක් එයිද කියලා” අගමැතිවරා ගුවන් විදුලියට පැවසීය.

 

මෙත්ලාල් වීරසූරිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY