වවුනියා බණ්‌ඩාරිකුලම් විපුලානන්ද මහා විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දහතුන් හැවිරිදි ශිෂ්‍යාවක සිය නිවසේදී සාහසිකයකු විසින් දූෂණය කොට පසුව නිවසේ බාල්කයේ එල්ලා ඝාතනය කර ඇත. මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ ගංගාදරන් අශිස්‌සාමී නමැති ශිෂ්‍යාවක බව පොලිසිය පවසයි.

මෙම දැරිය ඝාතනයට ලක්‌ව ඇත්තේ ඉකුත් 16 වැනිදා දහවල් කාලයේදීය. දැරියගේ සිරුර නිවසේ බාල්කයේ එල්ලෙමින් තිබියදී සොයාගත් අතර පොලිසිය මුලින් සැක පහළ කළේ ඇය ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගන්නට ඇති බවයි.

එහෙත් මෙම දැරියගේ මරණ පරීක්‍ෂණය පෙරේදා (18 වැනිදා) වවුනියාව රෝහලේ පැවැත්වූ අතර මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළිවී ඇත්තේ ඇය දූෂණය කර පසුව මරා දමා ඇති බවයි.

ඝාතනයට ලක්‌ වූ පාසල් ශිෂ්‍යාවගේ මව ගුරුවරියකි. පියා විදේශ රැකියාවක නිරත වී සිටින අයෙකි. ශිෂ්‍යාවට වැඩිමහල් සොහොයුරකු ද සිටින අතර ඔහු සිද්ධිය වූ දින පාසල් ගොස්‌ සිට ඇත.

16 වැනිදා පාසල් නොගිය ශිෂ්‍යාව තනිවම නිවසට වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

එදින දහවල් කාලයේදී නිවසට ඇතුළු වූ සාහසිකයකු ශිෂ්‍යාව නිවසේදීම දූෂණය කර පසුව මරා දමා බාල්කයේ එල්ලා දමන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ශිෂ්‍යාවගේ මව පාසල නිම වී නිවසට එද්දී නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන සිටින තම දියණිය දැක ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ වවුනියාව පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

දැරියගේ නිවස ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා තිබෙන අතර ඇය නිවසේදී කෙසේ ඝාතනය වූයේද යන්න මෙතෙක්‌ හෙළි වී නැත.

වවුනියාව කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත වවුනියාව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සෝමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

 
නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY