ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා නව පක්ෂයක් තැනීමට තම සහෝදරයන් හා ඔවුන්ගේ හිතවතුන් ගන්නා උත්සාහයට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව හිටපු කථානායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා විසින් වෙනම පක්ෂයක් ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තම මතය ජනාධිපතිවරයාට දැනුම් දීම සිදුව තිබුණේ පසුගිය දා පැවැති ශ‍්‍රීලනිප විධායක සභා රැුස්වීමෙන් අනතුරුවය.බණ්ඩාරනායක මහතා හා තම පියා වන ඞී. ඒ. රාජපක්ෂ මහතා එක්ව ශ‍්‍රීලනිපය නිර්මාණය කළ බව එහි දී සිහිපත් කර ඇති චමල් රාජපක්ෂ මහතා එය කැඞීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් පවසා ඇත.
එමෙන්ම ශ‍්‍රීලනිපය එක්සත් කිරීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහය ලබා දෙන බවත් මෙහි දී වැඩිදුරටත් පවසා ඇති චමල් රාජපක්ෂ මහතා තමන් විසින් පවුලේ බලපෑම මත ප‍්‍රතික්ෂේප කරනු ලැබූ හම්බන්තොට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය බාර ගැනීමට ද කැමැත්ත පළ කර ඇත.
 

එමෙන්ම පක්ෂය යළි ප‍්‍රතිසංවිධානය කිරීම කළ යුතු බවත් සියලූ ආසන සංවිධායකවරුන් කැඳවා ජනාධිපතිවරයා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ගැන දැනුවත් කිරීමක් කළ යුතු බවත් රාජපක්ෂ මහතා විධායක සභා රැුස්වීමේ දී පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් සංවිධායකවරුන්ගේ ඇති නොදැනුවත්භාවය නිසා වෙනත් කණ්ඩායම්වලට පක්ෂ සාමාජිකයන්ව නොමඟ යැවීමේ ඉඩකඩ ලැබී තිබෙන බවත් ඔහු අවධාරණය කර ඇත.

මේ අතර පසුගිය 12 වන දා රාජපක්ෂවරුන්ගේ නව පක්ෂ මූලස්ථාන කාර්යාල විවෘත කිරීමේ උළෙල ද චමල් රාජපක්ෂ මහතා වර්ජනය කර ඇත.

චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මේ වන විට ජනාධිපතිවරයාට සහය පළ කර ඇත. ශෂීන්ද්‍ර මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා සමඟ ගුටි බැට හුවමාරුවක් ද සිදුව තිබිණි.

එමෙන්ම දැඩි මහින්දවාදියකු ලෙස පසුගිය කාලයේ පෙනී සිටි ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනී ගීතා කුමරසිංහ මහත්මිය ද ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ගාල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය බාර ගැනීමට ද කැමැත්ත පළ කර ඇත

– සුභාෂ් ජයවර්ධන

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY