ඩන්නෝ බුඩුන්ගේ ශ්‍රී ඩර්මස් කන්ඩා ……..

0
4117

 

මිනිස්සු ශිෂ්ඨාචාරයේ එක දවසක අල ගෙඩියක් හාරාගෙන වැලි පිස දමා අමුවෙන්ම කා රස දැනගත්හ
ගින්දර සොයා ගැනීමෙන් පසු පුළුස්සාගෙන කා රස බැලුහ
පසුව තම්බා කෑවේය
ඉනික්බිති තුනපහ දමා පිසින්නට පුරුදු විය
පසු කලෙක තම්බා තලා පිටි කර මස් සමගද තව තැනෙක තීරු කපා තෙලෙන් බැද තක්කාලි පල්ප සමග මුසු කර රස බැලීය

එනයින් කලින් කලට විවිධ රස දෙමින් අල ගෙඩිය විකාශය විය
කිසිවෙකුට අදත් ගින්නෙහි පලහා රස බලන්නට හෝ ලුණු ඇඹුල් මිශ්‍ර කර මිරිසට උයා රිසි ලෙස රස විඳින්නට බාධාවක් නැත
එය පිසිය යුත්තේ මෙලෙසටය , රස විඳිය යුත්තේ මෙපරිදිය කියා අණ කරන්නට හෝ නීති පනවන්නට නොහැකිය , නොයුතුය

බහු ජන ආශ්වාදය සහ කාලය විසින් එය විවිධ වූ රස විපර්යාසයන්ට භාජනය කරනු ඇත
ඒ අනියත බව ස්වභාවිකය
කිසිවෙකුට අරුචි වන මිශ්‍රණය කෙනෙකුට මිහිරි වන්නට පුළුවන

චිරාත් කාලයක පටන් එන පාලි බුදු පිරිත් සිංහලෙන් සජ්ජායනය කරන විට වෙනස් ආකාරයක සමාධියක් දැනේ
එකම ගාථාව නේපාලයේ හෝ ටිබෙටයේ උරුවට සජ්ජායනය කරන්නට ඉඩක් තිබිය යුතුය

කලකට පෙර ටවර් හෝල් යුගයේ දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කල පැරණි තීටර් උරුවේ මිහිරක් තිබිණි
පසු කලෙක මඳක් බටහිර උරුවට ගැයු හියුබට් රාජපක්ෂගේ ගීතයේ පවා අමුතු මිහිරක් තිබිණි
එය සංගීතයේ ගැබ් වී තිබිණැයි මට සිතේ
එහි යොදාගෙන තිබුනේ බෙර දවුල් තම්මැට්ටම් නොව බටහිර සංගීත භාණ්ඩය

ඔපෙරා ගායිකාවක විසින් ඒ ශෛලියෙන් ගායනා කල විට සිංහල සංගීතය සමුල ඝාතනය නොවේ
අපේ සංගීතය නිර්මාණය වී ඇත්තේද අන්‍ය කලාවන්ගේ ආභාෂයෙන් බව අමතක කල යුතු නැත
අපට එය රස විඳින්නට නොහැකි නම් රස විඳිය හැකිපිරිසකට රස විඳ ගන්නට ඉඩ දිය යුතුය
වෙනස් කම් දෙස නොවෙනස් සිතින් බැලීමේ වඩා දියුණු ආකල්ප අපට නොමැති බව මට හැඟෙයි

නානත්ත කායා , නානත්ත සංඥා ලෙසින් වදාළේ විවිධත්වය ස්වභාවික බවයි
රස වින්දනයේ ඒක මිතියක් නැත
එහෙයින් මේ ෆැසිස්ට් වාදය කලාවෙදීවත් නතර විය යුතුය
විවිධ කලා කරුවන්ට විවිධ ලෙස කෘතියක් වර නැගීමට ඉඩ තිබිය යුතුය
අඩු වැඩි වශයෙන් සමාජය ඒවා පිළිගනු ඇත
සාර්ථක වීම හෝ අසාර්ථක වීම නිර්මාණකරු භාර ගත යුතුය
කලාවේ අවසාන අරමුණක් ලෙස සිත නිවා ගැනීම පැවතිය යුතුය
නවකයෙකුගේ නව නිර්මාණයක් දෙස අකම්පිතව බලන්නට නොහැකි බොහෝ දෙනා පිළිගත් චරිතයක් කවර දහ ජරාවක් සමාජ ගත කළද පුද සත්කාර කිරීමේ වහල් මානසිකත්වයකින් යුක්තය
උස් තැන් දැක හැකිලෙන , මිටි තැන් දැක පුප්පන නිවට මානසිකත්වයෙන් මිදෙන්නට අපට තව ශත වර්ෂ ගණනක් ගත වෙනු ඇත
අප මානසික වහලුන් ලෙස නොසිටිය යුතුය

අලුත් සුලන් රැළි වලට ඔබේ සිර කුටිය විවුර්ත කරන්න
ඔබට නිදහසක් දැනෙනු ඇත .

 

narada wijesuriya

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY