බොල්ගොඩ දිය සරැලි සිප එන, මුදු මද සුළඟ ගැවසෙන

අපි, ජනාකීර්ණ පිළියන්දල නගරය මැදින් මඩපාත පාරට හැරී, කහපොල ප්‍රදේශයට ළඟා වුණෙමු. ඒ උදෑසන කාලයයි. මෙහි ගමක සිරි විඳගැනීමේ හැකියාව තවමත් ඉතිරිව තිබේ. බොල්ගොඩ ගංතෙර මනරම් පරිසරයක පිහිටි, මහැඳුරු සුනිල් ආරියරත්නයන්ගේ සොඳුරු නිවහනට අප යනවිට, එතුමන් අප අපේක්ෂාවෙන් සිටියේ අවට පරිසරයේ සුන්දරත්වය මනාව විඳගත හැකි ගෙවත්තේ ය.

ගෙවත්තෙහි නිහඬ, නිස්කලංක බව මෙන්ම, හාත්පස පරිසර ස්වභාවය ද නිර්මාණකරණයට කදිම තෝතැන්නක් බව නො කිවමනා ය. එය මහ මැදුරක් නොවේ. පරිසරයට මනාව ගැළපෙන පරිදි නිර්මාණය කළ නිවෙසකි. කිසියම් ආශ්‍රමීය බවක් අපට එහිදී දැනුණි. ගං තෙර සිසාරා හමන සිසිල් සුළං දහරේ පහස ද , පරිසරයේ අසිරිය ද නිර්ලෝභීව විඳගනු රිසියෙන්, මහාචාර්යතුමන්ගේ ඇරියුමෙන් අපි බොල්ගොඩ ගඟට මුහුණලා පිහිටි ආලින්දයේ අසුන් ගතිමු.

අපට මුලින්ම සුනිල් ආරියරත්නයන්ගෙන් දැනගැනීමට අවැසි වූයේ, කොළඹට දුරබැහැර පෙදෙසක පදිංචියට පැමිණීම ගැනයි.

“මං උපන්නේ කොළඹ කොඩිගහ යට. හුඟාක් අය ගමෙන් නගරයට යද්දි මං නගරය අත්හැරලා ගමට ආවා. මගේ සිහිනය වුණේ ගම. පුංචි කාලේ ඉඳලා මට අහිමිවුණු දේත් ගම. මගේ තාත්තා කෝට්ටේ. අම්මා මහරගම, ඇරැව්වල. මේ ප්‍රදේශ එදත් ගම් නෙවෙයි. උප නගර. කාලයක් එහෙම ගතවෙද්දී මට ගමකට එන්න වුවමනා වුණා. ගඟක් අද්දර ගෙයක් හදාගන්න එක මට තිබුණු සිහිනයක්. මීට අවුරුදු 25කට විතර කලින් බොල්ගොඩ ගඟ අද්දර මේ ගෙදර පදිංචියට ඇවිත් මං ඒ හීනය හැබෑ කරගත්තා. මෙතැන ගෙවත්තත් හොඳට ඉඩකඩ තියෙනවා.”

නිවෙසේ ආලින්දය පැරැණි ගෘහ නිර්මාණ ශිල්පයේ ලකුණු ද පළ කරයි. බිත්ති සායම් කර ඇති වර්ණ පරිසරයට මනාව ගැළපේ.

“මේකෙ ගෘහ නිර්මාණ ශිල්පියා මහානාම ප්‍රේමතිලක. ඔහු ජෙෆ්රි බාවාගේ ගෝලයෙක්. මගේ මිත්‍රයෙක්. ඔහු ලවා මේක කරගන්න මට පුළුවන් වුණා. වාතාශ්‍රය හොඳින් ලැබෙන විදිහට බොල්ගොඩ ගඟ දෙසට දොර, ජනෙල් ඇරලයි තියෙන්නෙ.”

මහාචර්යතුමාගේ නිවෙසේ ඇත්තේ වේවැල් ගෘහ භාණ්ඩ බව අපි මීට කලින් අසා තිබිණි. අප මේ සංවාදයේ යෙදෙන්නේ ද ඒවායේ අසුන්ගෙනයි. නිවෙසට වේවැල් ගෘහ භාණ්ඩ තෝරාගැනීම ගැන පවසමින් එතුමන් කීවේ, ඒවා නුගේ‍ගොඩ ගෙදර සිටියදී පටන්ම පාවිච්චි කළ ගෘහ භාණ්ඩ බවයි.

“මට මේවා එහා මෙහා කරන්න පහසුයි. අනෙක වේවැල් භාණ්ඩ සොබාදහමටත් සමීපයි. මං ඒවාට වඩාත් ප්‍රිය කළා. ඇඳ පවා වේවැල්.”

අප සිටි තැනට මදක් ඔබ්බෙන් ඇත්තේ නිදන කාමරයයි. එහි එක් පසෙක බිත්තියක් සුනිල් ආරියරත්නයන් ලද නොයෙකුත් සම්මානවලින් සැරසී ඇත්තේ ගාම්භීර ලෙස ය. පොත් රාක්කයක් ද තිබේ.

“මේ ගෘහ භාණ්ඩ හැරුනහම බාහිර අලංකරණයක් යොදාගත්තේම නැති තරම්.”

බිත්තිය සරසන එක ම සිතුවම ගැන අසන්නට අපි එතැනට ‍ගියෙමු.

මේ ආනන්ද සමරකෝන්ගේ චිත්‍රයක්. ඔය චිත්‍රය මට ලැබුණේ එතුමාගේ පවුලෙන්. මේ හැරුනහම මෙතැන සර්පිනාවක් තියෙනවා. ඒක ගවුස් මාස්ටර්ගෙ සර්පිනාව. මාස්ටර්ගෙ ප්‍රීති… ප්‍රීති… ඇයි කළේ යමකු ආලේ වගේ ගීත නිර්මාණය වුණේ මේකෙන්…”

ආලින්දයේ පසෙක ඇති සියුම් කැටයමින් යුතු ශෛලමය මූර්තිය මෙතැනට එක්කරන්නේ මහඟු අලංකාරයකි. ඒ අසල සුදු මල් සහිත දිය බඳුනකි.

“ඔය මූර්තිය රාධාගේ… අතේ තියෙන්නෙ ක්‍රිෂ්ණන්ගේ බටනලාව…” අපි බොහෝ වේලාවක් ඒ දෙස බලාසිටියෙමු.

“ගෙදර වර්ණ සංයෝජන කරද්දි ගෘහ නිර්මාණ ශිල්පියා බොහෝ දුරට ගස්වල කොළ පැහැය, ගුරු පැහැය වගේ වර්ණ භාවිත කළා. අවට පරිසරය පවා වෙනස් කරන්න ගියේ නෑ. ගෙවත්තෙ තියෙන ගහකොළ පවා මේ කඩොලාන පරිසරයට ගැළපෙන ඒවා.”

මාර, කදුරු, කොස්, කජු, පොල්, ජම්බු වැනි ගස් වර්ග හාත්පස බලනවිට අප දැකිය හැකි ය. අතැම් ගස් පලබර ය. නිවෙසට ඇතුළුවන තැන එක් පසෙකින් ඇත්තේ බුදුන් වඳින ස්ථානයයි. තවත් පසෙකින් ඇති කාමරය පුස්තකාලයයි. එය පොත්පත්වලින් පිරී ඇති දැනුම් ගබඩාවකි. විසිත්ත කාමරයේ එක් බිත්තියක් විශාල සිතුවමකින් මුළුමනින්ම පාහේ වැසී තිබේ. එහි භාවිත වී ඇති වර්ණ ද සන්සුන් ඒවා ය. ගෙවත්තේ කදුරුගස් සෙවණේ ඇති බංකුවක හෝ මදක් ඔබ්බෙන් ඇති එළිමහන් අසුන්වල සිට බොල්ගොඩ ග‍ඟේ අසිරිය හා ඉදිරිපස මනරම් දසුන් කදිමට විඳගත හැකි ය. ගඟ ගලා බසින්නේ හිරණ, පානදුර දෙසට ය.

“ඔය දර්ශනය හැන්දෑවට හරි ම ලස්සනයි. රෑබෝවෙද්දී ධීවරයන්ගෙ ඔරු එහාට මෙහාට ඇදෙනකොට, ඒවායේ ලාම්පු එළි අඳුර කපාගෙන ඈතට පේනවා. කළපු ඉස්සො රසයි කියනවනෙ. මේ ධීවරයො අල්ලන අලුත් ම මාළු උදේට ගන්නත් පුළුවන්.”

මෙහි සිට සැඳෑ අසිරිය විඳ ගැනීමට තිබුණා නම් කොපමණ හොඳ දැයි අපට සිතුණි. එහෙත් අප සමුගත යුතු කාලය එළැඹ තිබිණි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ උල්පත , කිසිඳු බාධාවකින් තොරව තවත් චිරාත් කාලයක් ගලාබසිත්වා යන පිරිතුරු ප්‍රාර්ථනය සහිතව අපි එතුමන්ට ආයු‍බෝවන් කීවෙමු.

ධම්මික සෙනෙවිරත්න
ඡායාරූප – ගයාන් පුෂ්පික

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY