වයඹ පළාත තුළ වැඩිම ස්ත්‍රි දුෂණ සිදුවීම් වාර්තා වන පොලිස් බල ප්‍රදේශය බවට වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශය පත් වී ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතා කියයි.

2014 වසරට සාපේක්ෂව 2015 වසරේදි වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශය තුළ සිදු වූ ස්ත්‍රි දුෂණ හා ළමා අපචාරවල විශාල වැඩිවීමක් ඇති බවත්, 2014 වසරේදී වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ ස්ත්‍රි දුෂණ සහ ළමා අපචාර පිළිබද පැමිණිලි 20 ක් වන නමුත් 2015 වසරේදී එය සිදුවීම් 29 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.

එම පැමිණිලිවලින් 19 ක්ම ස්ත්‍රි දුෂණයන් බවත් , එහි ඇති කණගාටුදායක තත්වය නම් එම ස්ත්‍රි දුෂණ 19 ටම බාල වයස්කාර පාසැල් දැරියන් ගොදුරු වී තිබීම බවද හෙතෙම පැවසීය.

මෙම දැරියන් සියලුදෙනාම වයස අවුරුදු 16 ට අඩු පාසැල් යන වයසේ පසුවන අයවලුන් බවත්, පාසල් සමයේදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධතා දුරදිගයාමෙන් ඔවුන්ට මෙවැනි ඉරණමක් අත් වී ඇති බව කී ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වෙන්නප්පුව ප්‍රදේශයේ එක් පාසැලකින් පමණක් මෙවැනි සිදුවීම් 5 ක් වාර්තා වන බවද පැවසීය.

වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටා ඇති කොහු හා උළුමෝල් කර්මාන්තශාලා අශ්‍රිතව රැකියා කරන පවුල්වල අඩු අධ්‍යාපනික පසුබිම, ප්‍රදේශයේ බහුතරයක් මව්පියන් දරුවන් භාරකරුවන් යටතේ තබා විදේශ රැකියාවලට පිටත්වීයාම මෙන්ම පාසැල් දරුවන්ට පාලනයකින් තොරව තාක්ෂණික මෙවලම් භාවිතයට ඉඩ දීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිවීමට වැඩි වශයෙන් බලපා ඇති බවද හෙතෙම පැවසීය.

පාසැල් අශ්‍රිත උපදේශණ සේවාවන් හරහා මෙන්මදෙමව්පියන් තම දරුවන් පිළිබද වැඩි අවදානයක් යොමුකිරීම මගින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගත හැකි බවද වසන්ත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

මුලාශ්‍රය ; චන්දන ප්‍රනාන්දු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY