හිටපු දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන්නේ සුමනා ප්‍රේමචන්ද්‍රය. මේ දෙදෙනාගේ දියණිය වන්නේ
හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. හිරුණිකා මේ දිනවල ආන්දෝලනාත්මක පුවත් මවන්නියක්‌ බවට පත්ව සිටින්නීය. සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉරිදා දිවයින හමුවේ මේ ආන්දෝලනාත්මක කතා පිළිබඳව පවසන්නේ මෙවන් අදහස්‌ය.

ප්‍රශ්නය – මේ සාකච්ඡාව පළවන මොහොත වන විට වත්මන් ජනාධිපතිවරයා පත්වෙලා අවුරුද්දයි. ප්‍රේමචන්ද්‍ර පවුලෙත් වෙනසක්‌ වුණ වසරක්‌ හැටියට 2015 හඳුන්වන්න පුළුවන්. දේශපාලනිකව ගත් තීන්දු තීරණ ගැන වසරක්‌ ගෙවෙන මොහොතේ හිතෙන්නේ මොනවද?

පිළිතුර – ඇත්තම කිව්වොත් මේ වෙනස ගෙන එන්න හිරුණිකාත් විශාල දායකත්වයක්‌ දැක්‌වූවා. භාරත නැතිවෙලා අවුරුදු හතරහමාරක්‌ වෙනවා. පසුගිය කාලය තුළ වෙනසක්‌ හැමෝම බලාපොරොත්තු වුණා. ඇත්තටම මිනිස්‌සුන්ට තදින් නොදැණුනාට ලොකු වෙනසක්‌ සිද්ධවෙලා තියෙනවා කියන එක තමයි මගේ අදහස. නමුත් මේ වෙනස කුමන හෝ හේතුවක්‌ නිසා ජනතාවට එතරම් දැනිලා නැති බව තමයි මම හිතන්නේ. පසුගිය කාලයේ වෙච්ච දූෂණ, වංචා එක්‌ක ගත්තොත් මිනිස්‌සුන්ට වෙනස හරියටම දැනෙන්න අවුරුදු පහක්‌ හයක්‌ යයි.

ප්‍රශ්නය – අපි දන්නවා ඔබේ පවුල මහින්ද රාජපක්‌ෂ පවුලේ උදවිය සමඟ සමීපව ඇසුරු කළ බව. ඒ සබඳතාවට දැන් මොකද වෙලා තියෙන්නේ.

පිළිතුර – ඇත්තටම ඒ දවස්‌වල තිබ්බ ළඟ සම්බන්ධතාව දැන් අඩුයි. ඉස්‌සර නිතර යනවා එනවා. නිතරම දුරකථනයෙන් කතා කරනවා. ඇත්තටම ඒ සබඳතාවය මහින්ද රාජපක්‌ෂ මහත්තයා ජනාධිපති වෙන්න කලින් ඉඳලම තිබ්බ එකක්‌. අපි එකට ගමන් බිමන් ගියා. එකට කෑවා බීවා. ඇත්තටම පවුල් දෙකක්‌ හැටියට අපි දෙගොල්ල විතරක්‌ ඇසුරු කළ කාලයක්‌ තිබුණා.

ඇත්තටම මම දේශපාලනය කළේ නෑ. භාරතගේ පිටිපස්‌සෙන් ඉඳන් එයාට උදව් කළා හැරුණු විට මම දේශපාලනයට සෘජුවම සම්බන්ධ වුණේ නෑ.

හිරුණිකා දේශපාලනයට සම්බන්ධ වීමත් එක්‌කම අර සම්බන්ධතාව පරණ විදියටම පවත්වාගෙන යන්න බැරිවුණා. ඒත් මම විශේෂයෙන් කියන්න ඕන මහින්ද මහත්තයා හෝ ඔහුගේ පවුලේ උදවිය මා සමඟ කිසිම විරසකයක්‌ නෑ. කොහේදි දැක්‌කත් මා එක්‌ක වෙනදා ලෙන්ගතුකමින්ම කතා කරනවා. ඇත්තටම අපිට ඈත්වෙන්න තරම් පෞද්ගලික අමනාපකම් මුකුත් තිබුණේ නෑ.

ප්‍රශ්නය – මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා දුව කියලා ආමන්ත්‍රණය කරන, නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා විවාහ වෙන්න හිටියාය කියන තරමේ සමීප සබඳතාවක්‌ එතරම් දුරට පළුදු වෙන්නේ ඇයි..?

පිළිතුර – ඒක කට කතාවක්‌.

ප්‍රශ්නය – මොකක්‌ද?

පිළිතුර – ඔය නාමල් බඳින්න හිටියාය කියන කතාව… ඒ ළමයි සහ අපේ ළමයි දෙන්නා එකටම හැදුන කාලයක්‌ තිබුණා. ඒ පවුලට දියණියක්‌ හිටියෙ නෑ. ඒ නිසා හිරුණිකාට ඒ අය සෑහෙන්න ආදරය දැක්‌වුවා. භාරතයි, මහින්දයි කියන්නේ සහෝදරයෝ වගේ දෙන්නෙක්‌. හිරුණිකාට ඇත්තටම සැලකුවෙ තමන්ගෙ දියණියකට දක්‌වන ආදරයයි. දේශපාලනිකව ඈත්වෙලා පැත්තකට වෙනකොට ඕනෑම සබඳතාවක ඕනම පළුදුවීමක්‌ වෙන්න පුළුවන්. කොහොමත් දේශපාලන අදහස්‌ වෙනස්‌ වුණාම පොඩි ඈත් වීමක්‌ වුණා.

ප්‍රශ්නය – ඔය කියන විදියේ සමීප සබඳතාවක්‌ තිබ්බ දේශපාලන පවුල් දෙකක සාමාජිකාවක විදියට හිරුණිකා “වෙනසක්‌” වෙනුවෙන් දේශපාලන තීන්දුවක්‌ ගන්නවා ඇයි ඒ?

පිළිතුර – හිරුණිකා ඇත්තටම පළාත් සභාව හරහායි දේශපාලනයට ආවේ. එයා නවකයෙක්‌. ඒත් එයාට තනිවම තීන්දු තීරණ ගන්න පුළුවන් විදියේ මුහුකුරා ගිය දැනුමක්‌ තිබෙනවා. මේ වෙනසට එක්‌වුණේ ඒ වගේ දේශපාලනයට නවකයෙක්‌ වෙච්ච කෙනෙක්‌ විතරක්‌ නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක්‌ ඒකට දායක වුණා. පවුල් දෙක අතර තිබෙන සමීප සබඳතාවක්‌ දේශපාලන මතවාදවලට බලපෑමක්‌ වෙන්නේ නෑ. එකම පවුලේ වුණත් විවිධ දේශපාලන අදහස්‌ දරන අය ඉන්න පුළුවන්.

ප්‍රශ්නය – මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා ඔබට ජාත්‍යන්තර සම්බන්ධීකරණ ලේකම් තනතුරක්‌ දීලා තිබුණා…

පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – දැන් ඒ තනතුර අහෝසියි.

පිළිතුර – ඔව්. භාරත නැති වුණාට පස්‌සේ අපි දිගටම මේ ගෙදර හිටියා. 1994 භාරත පාර්ලිමේන්තුවට ගියාට පස්‌සේ අපි දිගටම හිටියේ මේ අපි කතා කරන රජයේ සමුළු නිවාසයේමයි හිටියේ. අපි කොලොන්නාවේ ගේ හදන්න සූදානම්වෙලා හිටියේ. ඒත් භාරතට අත්වෙච්ච අවාසනාවන්ත ඉරණමත් එක්‌කම ඒ සේරම යටගියා. ඒ දවස්‌වල මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා මට නිතර කතා කරනවා. දවසක්‌ එතුමා මට එන්න කියලා තිබ්බා. ඒ වෙලාවේ ඔහු කීවා දැන් ගේ ගැන ප්‍රශ්නයක්‌ තියෙනවා නේද කියලා. මම ඔව් කිව්වා. ඒ මොහොතේ ජනාධිපතිතුමා අතිරේක ලේකම් ගාමිණී සෙනරත්ට කතා කරලා කිව්වා, මෙයාට තනතුරක්‌ හදලා දෙන්න නැතිනම් ගෙදරින් යන්න වෙනවා” කියලා. ඒ නිසා මට මේ ගෙදර ඉන්න හැකියාව ලැබුණා. මම ඒකට ගරු කරනවා අදටත්.

ප්‍රශ්නය – ඔබට ආරක්‌ෂාවත් ලබා දුන්නා.

පිළිතුර – ඔව්. ඒකට හේතුවක්‌ තිබුණා. භාරත නැති වුණාට පස්‌සේ දවසක්‌ හවස එක්‌ පුද්ගලයෙක්‌ ඇවිත් මට කිව්වා “ලකී අයියට අපි උදව් කළා මිසක්‌ අපිට කිසි උදව්වක්‌ කරලා නෑ. ඒ නිසා දැන් මට ලක්‍ෂ දහයක්‌ ඕන” කියලා. මම එයාට කිව්වා “එහෙම දෙයක්‌ මම දන්නෙත් නෑ. ලකී ඔයාට සල්ලි දෙන්නෙත් නෑ. මා ළඟ ඔයා ඉල්ලුවට දෙන්න සල්ලි ඇත්තෙත් නෑ. හැබැයි තිබුණත් දෙන්නෙත් නෑ” කියලා. ඒ පුද්ගලයා “හරි අපි බලාගමු කියලා” ගියා. මම මේ ගැන මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාට කිව්වා. ඒ මොහොතේම එතුමා මට ආරක්‌ෂාව ලබා දුන්නා.

ප්‍රශ්නය – දැන් හිටපු ජනාධිපතිවරයා දුන්න ගේ ඔබ වෙනසක්‌ වෙනුවෙන් වැඩකළ ආණ්‌ඩුවත් පවරා ගන්න යනවා.

පිළිතුර – නෑ. මේ කතාව වැරැදියි. මේවා රාජ්‍ය පරිපාලනයෙන් දෙන නිවාස. මේවාට ගෙවිය යුතු මුදල් නිසි පරිදි ගෙවලයි අපි ඉන්නේ. වර්තමාන ජනාධිපතිතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාට මේ ගැන කතා කරලයි තියෙන්නේ. මම රජයේ රැකියාවක්‌ කළ කෙනෙක්‌. මම නීති රෙගුලාසි ගැන අවබෝධයෙන් කතා කරන්නේ. ඇත්තටම අපි අයථා විදියට නෙවෙයි ඉන්නේ. අපෙන් මේ නිවස පවරා ගැනීමේ කතාව බෙරුවක්‌. වෙබ් අඩවිවල අපිට ගෙදරින් යන්න කියලා දැන්නුවා කියලා තිබුණේ ඇයි කියන්න අපිටත් ගැටලුවක්‌.

මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා හා සමානවම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අපි සමඟ බොහෝම සමීපව ඇසුරු කරනවා. එතුමා කිසි විටෙකත් අපව නොසලකා හැර නැහැ. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට කටයුතු කරන කාලයේ මම විශාල සංඛ්‍යාවක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා සඳහා යොමුකළා. එතුමා කුමන අවස්‌ථාවකදී හෝ හිරුණිකා මේ වෙනස වෙනුවෙන් කළ කැපවීම අමතක කරන්නේ නැති බව මට විශ්වාසයි. මේ සේරම මිනිස්‌සු ගහන මඩ. ඒ හැරුණු විට කවුරුත් මට මෙහෙන් යන්න කියලවත්, ඒ ගැන දැනුම්දීලවත් නෑ. ඒ “නිවුස්‌” එක යන්නේ “හිරුණිකාගේ මව ගෙදරින් දොට්‌ට දමයි” කියලයි. ඒකෙන් වදින්නේ යහපාලන රජයට. මේ කතාව පතුරුවන අයගේ යටි අරමුණ ඒකයි. හිටපු ජනපතිතුමා වගේම වත්මන් ජනාධිපතිතුමාටත් මම දුරකථනයෙන් කතා කළොත් ඒ මොහොතේ කාර්යබහුල නම් පස්‌සේ හරි ගන්නවා. මේ හැම කතාවක්‌ පිටිපස්‌සේම තියෙන්නේ හිරුණිකාට ගහන්න තියෙන වුවමනාව.

ප්‍රශ්නය – මොකක්‌ද හිරුණිකාට ගහන්න තියෙන වුවමනාව… කාටද ඒ වුවමනාව තියෙන්නේ…

පිළිතුර – මෙහෙමයි. හිටපු තැනින් ගියාම එතැන අයත් තරහයි. අලුතෙන් තැනකට ගියාම එතැන අයටත් අභියෝගයක්‌. ඒ වගේ විවිධ හේතු තියෙනවා. ඒක කාටත් පොදු කාරණයක්‌. ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා අපි හිත හදාගන්න ඕන.

ප්‍රශ්නය – තමන්ගේ පියා කටයුතු කළ දේශපාලන පක්‍ෂවලින් ඉවත්ව හිරුණිකා වෙනසට සහයෝගය දෙනවා. ඒ විතරක්‌ නෙවෙයි පහුගිය ආණ්‌ඩුවේ දූෂණ වංචා ගැනත් කතා කරනවා.

පිළිතුර – ඔව්. එයා කවදත් හරි දේ හරි විදියට, වැරැදි දේ වැරැදි විදියට දැක්‌ක දරුවෙක්‌. ඒකට

පැරැණි දේශපාලන මතවාද හෝ වත්මන් දේශපාලන මතවාද එතරම් වැදගත් නෑ.

ප්‍රශ්නය – යම්කිසි කාන්තාවක්‌ මැර චරිතයක්‌ හැටියට සමාජගත වීම ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර – ඒක මම අනුමත කරන්නේ නෑ.

ප්‍රශ්නය – ඒත් දැන් හිරුණිකා ගැන සමාජයේ තියෙන්නේ එවැනි මතයක්‌.

පිළිතුර – එයාගේ මහජන දිනය දවසට සෑහෙන බරපතළ ප්‍රශ්න අරගෙන මිනිස්‌සු එනවා. ඒ කිසිම කෙනෙක්‌ එහෙම කියන්නේ නෑ.

ප්‍රශ්නය – පුද්ගලයෙක්‌ පැහැරගෙන යැම…

පිළිතුර – නෑ. එහෙම එකක්‌ නෑ. එදා මහජන දිනයක්‌ දවසෙ තමයි ඔය කියන සිද්ධියේ මුල පටන් ගන්නේ. එදා එක තැනැත්තෙක්‌ කියලා තියෙනවා තමන්ගේ බිරිඳ අතහැර ගිය ප්‍රශ්නයක්‌ ගැන කියලා තියෙනවා අඬමින්. එදා කොළඹ නගර සභාවේ සංවත්සරයට යන්න සූදානමින් හිරුණිකා කලබලයෙන් ගිහින් තියෙනවා. හිරුණිකාගේ කාර්යාලයේ අය මේ මනුස්‌සයාට උදව් කරන්න හිතලා තමයි ඒ ගිහින් තියෙන්නේ. ඇත්තටම අනියම් ප්‍රේමයක්‌ නිසා ඒ ගෑනු කෙනා ගිහින්. ඒත් එයාට දරුවො මතක්‌ වෙලා එන්න හදනකොට එයාට අර පුද්ගලයා එන්න දීලා නෑ. ඔය සිදුවීමටයි ඒ පිරිස මැදිහත් වුණේ.

ප්‍රශ්නය – හිරුණිකා මේ සිදුවීමට මැදිහත් වුණේ නැද්ද?

පිළිතුර – හිරුණිකා නගර සභාවේ උත්සවයට ගිහින් කාර්යාලයට එනකොටත් මේ කාන්තාවත් කුඩා දරුවත් අර පුද්ගලයත් ඉඳලා තියෙනවා. මෙහෙමයි මේ කතාවේ ඇත්ත සිද්ධිය යට ගහලා හදපු කතාවක්‌ තමයි එළියට ඇවිත් තියෙන්නේ. කෙනෙකුට උදව් කරනවා හැරුණු විට එයාට එවැනි පැහැර ගැනීමක්‌ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.

ප්‍රශ්නය – මේ වෙනකොට කොලොන්නාවේ කාර්යාලයක්‌ සම්බන්ධයෙනුත් අර්බුදයක්‌ මතුවෙලා තියෙනවා නේද?

පිළිතුර – එතැන අපි කාර්යාලය පවත්වාගෙන යන්නේ ඉතා දිගු කාලයක ඉඳලා. ඇත්තටම අපි එතැන ඉන්නෙත් කුලී පදනම මත. ඒ ගොඩනැඟිල්ල අයිති පුද්ගලයාගෙන් වෙනත් දෙදෙනකුට ලැබෙන්න ඕන මුදල් ගනුදෙනුවක්‌ නිසා තමයි ඒ දෙන්නා මේ ගොඩනැඟිල්ල ඉල්ලන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නය අපිට අදාළ එකක්‌ නෙවෙයි.

සාකච්ඡා කළේ උදේශ සංජීව ගමගේ
ඡායාරූප – නිමල් දයාරත්න

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY