පානදුරේ හැඬවූ ආචාර්ය යුවළගේ එකම පුතා

මොලොව උප්පත්තිය ලබන සෑම සත්වයකුගේම අවසානය මරණයයි. එය වළක්‌වාලීමට හැකි කිසිම සත්ත්වයකු මිහිපිට නොමැත. එසේ සිදුවන මරණය කොයි මොහොතක කෙසේ සිදුවේ දැයි කිව නොහැකිය. ජීවිතය තණ අග ඇති පිණි බිදුවකට සමාන කර ඇත්තේ ද එම නිසා වන්නට පුළුවන. අප මේ කතා කරන්නට යන්නේ ද එවැනිම කතාවකි. එනම් මෙයට ඉහතදී හදිසි අනතුරකින් කැනඩාවේදී මියගිය තරුණ ගුවන් යානා ඉංජිනේරුවරයකු ගැනය.

සුසිල් ලොකු විතාන රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ හිටපු කථිකාචාර්යවරයෙකි. එම විශ්විද්‍යාලයේම කළමනාකරණ පීඨයේ පීඨාධිපතිණිය වන මහාචාර්ය සුනේත්‍රා චන්ද්‍රකාන්ති පෙරේරා ඔහුගේ ආදරණීය බිරිඳ වෙයි. මෙම යුවළට දාව දරුවන් දෙදෙනෙකි. එම දරුවන් අතරින් පුතා රවිඳු වන අතර දුව යසාරයි. මොවුන් ජීවත් වූවත් වූයේ මාතර ප්‍රදේශයේය.

ලොකුවිතාන කැදැල්ලට වාසනාව රැගෙන එමින් රවිඳු මෙලොව එළිය දුටුවේ 1989 නොවැම්බර් මස 13 වැනිදාය. පුංචි සංදියේ සිටම ප්‍රිය මනාප භාවයකින් යුක්‌ත වූ රවිඳු පවුලේ හුරතලා බවට පත්වූයේ නිතැනින්මයි. දඟයකු නොවුණ රවිඳුගේ ළමා කාලය ගතවූයේ කෙළිලොල් බවින්ය.

පාසල් අධ්‍යාපනය හැදෑරීමට රවිඳු ඇතුළත් වුයේ මාතර රාහුල විද්‍යාලයටයි. පාසලට ඇතුළත්වූ දවසේ සිටම ඔහුගේ සිතේ එක්‌ අධිෂ්ඨානයක්‌ තිබිණි. ඒ හොඳින් අධ්‍යයන කටයුතු හදාරා වැඩදායි පුද්ගලයකු ලෙස රටට සේවය කිරීමටයි. සමහර මිතුරන් වැඩිදුර කාලය ක්‍රීඩා පිටියට හොදවද්දී රවිඳු වැඩිපුර කාලය යොමු කළේ අධ්‍යාපන කටයුතු සඳහායි.

ගුරුවරුන්ගේ මෙන්ම සහොදර සිසිනුගේ නොමඳ ආදරය දිනා ගැනීමට සමත්වූ රවිඳු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු වූයේය. කුඩා කලසිටම පන්තියේ පළමු වැනි ස්‌ථානය හිමිකර ගැනීමට ඔහුට හැකි වූයේ අධ්‍යාපන කටයුතුවලට දැක්‌වූ උනන්දුව නිසාය. අධ්‍යාපන කටයුතුවලට අමතරව පාසලේ බාහිර කටයුතුවලට රවිඳු සහභාගි වූයේ සෑම දෙයකටම තමා දක්‍ෂ බව පෙන්වමින්ය.

රවිඳුගේ පවුලට සමාජයේ ඉහළ තැනක්‌ හිමිවී තිබිණි. ඒ දෙමාපියන්ගේ පවුල් පසුබිම හා වෘත්තීය නිසාය. නමුත් ඒ කිසිවකින් රවිඳු ආඩම්බර වූයේ නැත. ඔහු පාසලේදී තරාතිරම් නොබලා සියලුම දෙනා සමග එකසේ ආශ්‍රය කළේය. ඒ වාගේම රවිඳුට තිබුණේ ඉක්‌මනින් උණුවන හදවතක්‌ ය. පාසල් ජීවිතයේදී පවා අනන්තවාරයක්‌ ඔහු දුප්aපත් ළමුන්ට උදව් උපකාර කර තිබිණි.

රවිඳු අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ 2006 වර්ෂයේදීය. උසස්‌ පෙළට මුහුණ දුන්නේ 2006 වර්ෂයේදීය. ඔහු උසස්‌පෙළ හැදෑරුවේ ගණිත අංශයෙනි. රවිඳුට අවශ්‍ය වූයේ උසස්‌ පෙළ විශිෂ්ට ලෙස සමත්වී විදේශයකට ගොස්‌ ගුවන්යානා ඉංජිනේරුවකු ලෙස වැඩිදුර අධ්‍යාපනය ලැබීමටයි. තම ආදරණීය දෙමාපියන්ට මෙන්ම ළඟම හිතවතුන්ට රවිඳු ඒ බව පවසා තිබිණි.

සියලුම බාහිර වැඩ කටයුතු නවතා දමා තම ඉලක්‌කය සපුරා ගැනීම සඳහා රවිඳු දිවා රාත්‍රි නොබලා අධ්‍යාපන කටයුතුවල නිරත වූයේය. අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුවක්‌ නොදක්‌වන යහළුවන්ට පවා නිතරම ඔහු අවවාද කළේ ඉගෙන ගන්න තියෙන කාලය හොඳින් ඉගෙන ගන්න නැත්නම් පහුවට පසු තැවෙන්න වෙයි කියායි.

උසස්‌ පෙළ විභාගයට මුහුණ දුන් රවිඳු කැනඩාව බලා පිටත්විය. ඔහුගේ අදහස වූයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කැනඩාවේදී හැදෑරීමටය. උසස්‌ පෙළ ප්‍රතිඵල පිටවීමට සතියකට පමණ පෙර රවිඳු නැවතත් මෙරටට පැමිණියේ උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල බලා ගැනීම සඳහාය.

2008 වර්ෂයේ අපොස උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් විය. රවිඳු ලොකුවිතාන උසස්‌ ලෙස උසස්‌ පෙළ සමත්වී ගණිත අංශයෙන් මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රථමයා සහ ශ්‍රී ලංකාවෙන් 11 වැනිදා වීමට රවිඳුට හැකිවිය. එදින ඔහු තමන් ලැබූ තරග ජයග්‍රහණයේ සතුට දෙමාපියන් සහ හිත මිතුන් සමග බෙදාගත්තේය.

අපොස උසස්‌ පෙළ ඉහළින්ම සමත්වූ රවිඳු කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවවිද්‍යාලයේ ගුවන් ඉංජිනේරු පාඨමාලාවක්‌ හැදෑරීම සඳහා පිටත් විය. විවිධ රටවලින් ශිෂ්‍යයන් බොහෝ දෙනෙක්‌ එම පාඨමාලාව හැදෑරුවේය. නමුත් අවසානයේ ඒ සියල්ලන්ම පරදවා ගුවන් ඉංජිනේරු පාඨමාලාව ඉහළින්ම සමත්වීමට රවිඳුට හැකිවිය. රවිඳුගේ දක්‍ෂතාව ඇගයූ එම විශ්වවිද්‍යාලයේ බලධාරීහු ඔහුට ශිෂ්‍යත්වයක්‌ ද පිරි නැමූහ.

එම ශිෂ්‍යත්වයත් සමග ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු එහිම හැදෑරුවේය. රවිඳුගේ අරමුණ වූයේ ගුවන් ඉංජිනේරු උපාධිය ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීමටයි.

මහාචාර්ය සුනේත්‍රා පෙරේරා ද වසර හතක්‌ පමණ තම පුතා සමග කැනඩාවේ පදිංචිවී සිටියාය. ඇය තම එකම පුතා එහි දමා යළි මෙරටට පැමිණියේ රුහුණු විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරයේ බලවත් ඉල්ලීම නිසාය. ඇය මාස තුනකට වරක්‌ කෙසේ හෝ පුතා බැලීමට කැනඩාවට ගියාය.

රවිඳු අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2013 වර්ෂයේදීය. මාසයක්‌ පමණ මෙරට ගත කළ ඔහු යළි කැනඩාව බලා පිටත් වූයේ උපාධිය ලබාගෙන යළි ශ්‍රී ලංකාවට පැමිණෙන අධිෂ්ටානයෙනි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ රවිඳු ඇතුළු පිරිසක්‌ මොක්‌සිකෝවේ විනෝද චාරිකාවකට සහභාගි වූයේ තමන් සහභාගි වන අන්තිම ගමන එය බව සිහිනෙකින්වත් සිතා නොවේ.

රවිඳු යහළුවන් සමග මෙක්‌සිකෝ මුහුදේ පීනමින් කොරල්පර නැරඹුවේය. පැයකින් පමණ යහළුවෝ සියලුදෙනා කොරල්පර නරඹා ගොඩබිමට පැමිණියත් රවිඳු ගොඩබිමට පැමිණියේ නැත. යහළුවන්ට මෙය විශාල ප්‍රහේලිකාවක්‌ විය. වහාම ඔවුහු රවිඳුව සෙවීමට පටන් ගත්තෝය.

ගතවූයේ සුළු මොහොතකි. මුහුදේ පාවෙමින් තිබූ රවිඳුගේ සිරුර දුටු යහළුවෝ තුෂ්ණිම්භූත වූහ. ඔවුහු මුහුදු තීරයම දෙවනත් වන සේ කෑගැහුවෝය. ඒ වන විටත් කරන්නට කිසි දෙයක්‌ යහළුවන්ට ඉතිරිවී තිබුණේ නැත. දෙමාපියන් ඇතුළු සියලු හිත මිතුරන්ගෙත් රවිඳු සදහටම සමුගෙන තිබිණි.

ගයාන් සමරසිංහ
පිංතූර සහ පසුබිම් වාර්තාව
සමන් කාරියවසම්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY