මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා

0
1232


වන්නි මෙහෙයුමට දායකත්වය දුන් මේජර් ජනරාල් ජගත් ඩයස්‌ පසුගිය නත්තල් දින යුද හමුදා සේවාවෙන් විශ්‍රාම ගත්තේය. 57 වැනි සේනාංකය භාරව කටයුතු කළ ජගත් ඩයස්‌ කොටි අපරාධකාරී සමාගම පරාජය කිරීමට දායක වූ විශිෂ්ට සෙන්පතියෙකි.

එහෙත් මෙරට ජනතාවට ඔහු අමතක වී ඇත. ජගත් ඩයස්‌ පමණක්‌ නොව ප්‍රභාකරන් වැනි මිනිස්‌ ඝාතකයකු මෙරට සිටි බවත් ජනතාවට අමතක වි තිබේ. මේ පසුබිම මැද පසුගිය කාලය මුළුල්ලේ ජගත් ඩයස්‌ ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ කළහ.

ඔහුට ප්‍රධාන මාණ්‌ඩලික හමුදා ධූරය පිරිනැමීම එරෙහිව එකී රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ටද පැමිණිලි කළහ.

මේජර් ජනරාල්වරයා හඳුන්වනු ලැබුවේ යුද අපරාධකරුවකු ලෙසිනි. වන්නි මෙහෙයුමින් පසු ජගත් ඩයස්‌ ජර්මනියේ නියෝජ්‍ය තානාපති විය. ස්‌විස්‌ ඊළම්වාදීන් හා යුරෝපා රාජ්‍ය නොවන සංවිධාන එක්‌ වී ඔහුට එරෙහිව තොග පිටින් සාවද්‍ය පෙත්සම් යෑවීමටද ක්‍රියා කළහ. ඉන් පසු ස්‌විස්‌ රජයේ නඩු අධ්‍යක්‍ෂකවරයාටද සාවද්‍ය වාර්තා ඉදිරිපත් විය. ඒ අනුව ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂකවරයා වරෙන්තුවක්‌ද ප්‍රකාශයට පත් කළේය. මේ සියලු දේ මෙහෙය වූයේ කොටි අපරාධකාරී සමාගම නමැති යුද අපරාධකරුවන්ගේ නියෝජිතයන්ය.

2009 දී වන්නි මෙහෙයුම අවසන් වූවත් විදෙස්‌ ගත ඊළම් ජාලය එකී මෙහෙයුම අමතක කර නැත. එම මෙහෙයුමට එරෙහි වූවෝ තවදුරටත් වන්නි මෙහෙයුමට උරදුන් හමුදා නායකත්වයෙන් පලි ගැනීමට පුන පුනා බලා සිටී.

යුද අපරාධවලට සම්බන්ධ කොටි 12000 ක්‌ පසුගිය රජය විසින්ද වත්මන් රජය යටතේ කොටි ත්‍රස්‌තයන් 30 ක්‌ද මුදාහරිද්දි උතුරු මහ ඇමැති විග්නේශ්වරන් වන්නි මෙහෙයුමේ යුද අපරාධ සිදු වූ බවට හඬ නගයි.

එහෙත් ද්‍රවිඩ සංධානය ඇතුළු පාර්ශවලට අද උතුරට නිදහසේ යැමට ඉඩ ලැබුණේ 6000 ක්‌ සෙබළු තම වර්තමානය සහ අනාගතය රට වෙනුවෙන් පුද කිරීම නිසාය.

එදා ජගත් ඩයස්‌ ප්‍රමුඛ හමුදා නායකත්වය වන්නියේ කොටි පරාජය නොකළේ නම් විග්නේශ්වරන්ට උතුරේ මහ ඇමැතිවීමට ප්‍රභාකරන් ඉඩ දෙනු ඇතැයි සිතිය හැකිද?

එසේම විවිධ දේශපාලකයෝ උතුරේ ජනතාව වෙනුවෙන් හඬ නගති. එහෙත් උතුරට යැමට මග පාදා දුන්නේ කවුද යන්න ඔවුන්ට අමතක වී ඇත. ප්‍රභාකරන්ගේ භීතිය මුළු රටම වෙලාගෙන සිටියේය. එදා වන්නි මෙහෙයුම තුළින් ප්‍රභාකරන් පරාජය නොකළා නම් ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය තවදුරටත් පවතී.

මේ සැබෑ යථාර්ථය මෙරට බහුතරයට අමතක වී ඇත. මෙම තත්ත්වය මත එදා වන්නි මෙහෙයුම නතර කර ප්‍රභාකරන් බේරා ගැනීමට උත්සාහ කළ පාර්ශව දැන් ජගත් ඩයස්‌ලා විශේෂ අධිකරණය හමුවට පැමිණ වීමට උත්සාහ කරති.

මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. බියෙන් ගැහෙමින් සිටි දේශපාලකයන්ට ප්‍රභාකරන් පරදවා ප්‍රාණවත් බවක්‌ දුන්නේ ජගත් ඩයස්‌ ප්‍රමුඛ වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ය.

එහෙත් කෙලෙහිගුණයක්‌ නැත.

මේජර් ජනරාල් ජගත් ඩයස්‌ ඇමරිකාවේ හමුදා පාසලක වැඩිදුර පුහුණුව ලැබීමට තෝරා ගනු ලැබුවත් රාජ්‍ය නොවන සංවිධාන එක්‌ වී ඇමරිකානු තානාපති කාර්යාලයට පෙත්සම් යෑවීම නිසා ඔහුට වීසා බලපත් දීම නතර විය.

ඉන්පසු ඉන්දියාවේ හමුදා පාසලකට පැමිණි අවස්‌ථාවේ තමිල්නාඩු බෙදුම්වාදීන් උද්ඝෝෂණ පැවැත්වීම නිසා ඉන්දීය රජය මේජර් ජනරාල්වරයා ආපසු මෙරටට එවනු ලැබීය.

මෙම පසුබිම මැද යුරෝපා මානව හිමිකම් සංවිධානය විසින් යුරෝපා අධිකරණය වෙත පිටු 23 ක සාවද්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් මේජර් ජනරාල් ජගත් ඩයස්‌ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටියේය.

ඇසින් දුටු සාක්‍ෂි නොමැතිව රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් කළ කරුණු මත පමණක්‌ මෙකී වාර්තාව සකස්‌ කර තිබුණි.

මෙම පසුබිම මැද ලබන ජනවාරි මස සිට වන්නි මෙහෙයුම තුළ සිදු වූ බව කියන යුද අපරාධ ගැන සෙවීමට විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කෙරේ.

මේ අධිකරණ පිහිටු වීමේ පැමිණිලිකරුවන් වී ඇත්තේ කොටි ඝාතන සමාගම සමග එක්‌ව කටයුතු කළ ද්‍රවිඩ සංධානයයි.

රටේ ජනතාව සහ ආණ්‌ඩුව වෙනුවෙන් ත්‍රස්‌තයන් පැරද වීමට ක්‍රියා කළ යුද හමුදා නායකයන් වෙනුවෙන් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන එකම රටද ශ්‍රී ලංකාවයි.

 

කීර්ති වර්ණකුලසූරිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY