බෙරලිය මුකලාන දියබර කැලෑව නිහඬය. සුන්දර දිය කඩිතිවල පිනුම් ගැසු දණ්ඩීන්ගේ රැඟුම් තවමත් එසේමය. අඬා වැටෙන ඇල්ලේ සුන්දර රිදී දිය දහර පහුගිය දිනවල දුටු අසුන්දර දසුන් දැන් අමතක කළ ගානය.

එහෙත් මේ රටේ ළතෙත් හදවත් තවමත් ඒ බියකරු ඝාතනයෙන් ඇළලී සිටි. ඇල්පිටිය පිටුවල පෙම් යුවළේ ඝාතකයන් තවමත් නිදැල්ලේය. සමනළියක් බඳු 18 වියැති ඒ නාඹර ගැටිස්සිය අනුෂා ප්‍රියදර්ශනී ඝාතනය කිරීමට පෙර දූෂ්‍ය කළා ද? ඇගේ පෙම්වතා අශාන්ගේ අවසාන මොහොත කෙබඳු වී ද?

පෙම්වතාගේ සිරුර පෙම්වතිය අනුෂාගේ සිරුර තරම් නරක් වී සතුන් විසින් කා නොදැමුණේ ඒ මොහොතේම ඔහු මිය නොගිය නිසා ද? අශාන් මිතුරකුට කෙටි පණිවුඩයකින් මට බයයි. ඉක්මනට මා අමතන්න යැයි පණිවුඩයක් යැව්වේ ඇයි? මෙබඳු ප්‍රශ්න වැලක් අපට ඉතිරිය. අපි මේවා එකින් එක විසඳා ගන්නට යත්න දරමු.

අශාන්

පසුගිය 11 වැනි දා සිටම ඇල්පිටිය නවඳගල අලිකෑහේන වත්ත එකම විලාපයකින් පිරී පවතී. ඒ අනුෂා ප්‍රියදර්ශනීටත් අශාන්ටත් වූ මේ විපත දරා ගන්නට බැරිවය. අනුෂා උපන්නේ 1997 බක්මහේ 22 වැනි දාය. මේ වන විට ඇයට හරියටම වයස 18ක් පිරුණා පමණකි. ගාතලව කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්වය විභාගයෙන් ලකුණු 170ක් ලබා ගත් මේ අහිංසකාවි අම්බලන්ගොඩ ධර්මාශෝකයට යන්නේ පවුලේ හයියක් නිසා නොව තමාගේම අධ්‍යාපන හයිය හේතුකොටගෙනය.

එමතු ද නොව ඇය ධර්මාශෝකයේදී අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයෙන් A 9 ක් ලබා ජයග්‍රහණය කරන්නීය. ඇයගේ එකම සිහිනය වූයේ වෛද්‍යවරියක වීමය. මේ ඛේදවාචකයට මුහුණ දෙන විට ඇය උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ජය ගැනීමට බොහෝ කැපවීම් කරමින් සිටියාය.

කමලාවතී අනුෂාගේ මහප්පාගේ බිරියයි. මේ ගමේ බොහෝ දෙනෙකු මෙන් අනුෂාගේ පවුලේ අයත් මහප්පාගේ පවුලේ අයත් ජීවිකාවට කළේ කුරුඳු තැළීමය. උසස් පෙළට ටියුෂන් යාමට බොරලු පාරට වැටුණු අනුෂා ද තැළී යන කුරුඳු පොත්තක් මෙන් එදින සාහසිකයන් අතින් එසේ තැළී යනු ඇතැයි ඇයට නොසිතුණි.

අනූෂා

11 වැනිදා කුකුළාත් අතේ රැගෙන ගිය කෙල්ල නැවත ගෙදර එන පණිවිඩය අනුෂාගේ පියාට ලැබුණේ නැත. සාමාන්‍යයෙන් ඇය පියාට සවස් කාලයේදී තමා රැගෙන යාමට එන්නැයි පණිවිඩයක් යැවීම සිරිතය. කලබලයට පත්වූ අනුෂාගේ පියා කන්දගේ ගුණසිරි හා මව දේවිකා ප්‍රියදර්ශනී මද්දුම දෝණිගේ ජංගම දුරකථනයට ඇමතුවත් ඉන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ ද නැත. අනුෂාගේ අක්කා ගංගා ප්‍රියදර්ශනී ද 15 හැවිරිදි නංගි සාවිත්‍රි ප්‍රියදර්ශනි ද එහෙ – මෙහෙ දිව ගියේ නොයෙක් දුරකථන ඇමතුම් ලබාගත්තේ කලබලයෙනි.

අනුෂාගේ පෙම්වතා අශාන්ගේ නිවෙස පිහිටියේ ඇයගේ ගෙයට තරමක් දුරිනි. දෙලෝ රත්වූ දෙමාල්ලන් මුලින්ම දිව ගියේ අශාන්ගේ නිවස සොයමිනි. ඒ වන විට අශාන්ගේ පියා සුනිලුත් මව වූ නන්දනීත් පුතුගේ අතුරුදන් වීම ගැන පොලීසියට පැමිණිල්ලක් දමන්නට සූදානම් වී සිටියහ.

අපේ පුතා උදේ කුරුඳු මිටි ගැටගැහිල්ල නවත්වලා තද කොළපාට පටි තියෙන ටී ෂර්ට් එකකුයි බොටම් එකකුයි ඇඳගෙන එයාගෙ මල්ලී ලක්ෂාන්ට කියලා තියෙන්නේ යාළුවකුගේ ගෙදර යනවා කියලයි. බයික් එකෙන් තමයි ගිහින් තියෙන්නෙ. ෆෝන් එකට කතා කළත් ඒක වැඩ කරන්නෙ නෑ…. අශාන්ගේ මව කලබලයෙන් කීවාය.

මේ අහිංසක ප්‍රේමය ගැන දෙපාර්ශ්වයේම දෙමාපියෝ කැමැත්තෙන් සිටියහ. ඒ පින්න මලක් වගේ සුන්දර කෙල්ලක් මගෙ පුතාට හමු වුණා යැයි අශාන්ගේ මව ගමේ කී කතාවක් කරළියට පැමිණීම නිසාය. අනුෂාගේ දෙමාපියෝ ද ශ්‍රී ලංකා යුද හමුදා පාබල සේනාංකයේ මන්නාරම් කඳවුරේ සේවය කළ අශාන් ජයශාන්තට කැමැත්තෙන් පසු වූහ.

11 වැනිදා රාත්‍රියේ දෙපාර්ශ්වයේම මාපියන් වෙන වෙනම ඇල්පිටිය පොලීසියේ දරුවන්ගේ අතුරුදන් වීම ගැන පැමිණිලි ගොනු කළත් පොලීසිය මේ පෙම්වත් යුවළ ගැන එකවර කලබල නොවීය. ඊට හේතුව මෙවැනි පැමිණිලි විභාග කරන්නට යන විට ඒ අය අතුරුදන් වී නොව රහසේ පැන යාම් බව මීට පෙර ද විවිධ සිද්ධිවලින් ඒත්තු ගොස් ඇති නිසාය.

අපි පොලීසියක් හැටියට අනෙත් පොලීසියලටත් මැසේජ් ගැහුවා. මා හිතන්නේ දෙන්නගෙ වයස සම්පූර්ණ නිසා රහසේ යන්න ඇති. දෙන්නා ආ වෙලාවට චාරිත්‍ර කරලා ආශිර්වාද කරන්න… එක්තරා පොලිස් නිලධාරියෙක් එසේ කීවේ ගානක් නැතිවය.

නියම වැදගත් තොරතුරු හෙළි වන්නට පටන් ගත්තේ පසුවදාය. කටු පොල් වගාවක් සහිත බැකෝ යන්ත්‍රවලින් පස් හාරන එක්තරා ජනශුන්‍ය පාරක මේ රූමත් යෞවනිය යනු දුටු කෙනෙකුගෙන් ලැබුණු තොරතුරය.

අම්බලන්ගොඩ ටියුෂන් පංති ගුරුවරයා එදා අනුෂා පංති නොපැමිණි බව කීවේය. ඇය වෙනදා බස් රථයට ගොඩවීමට යන මාර්ගයේ නොව වෙනත් දුෂ්කර මාර්ගයක පයින් ගමන් ගියේ ඇයිදැයි ප්‍රශ්නයකි.

මීට පෙර ද ඇය තම පෙම්වතා සමඟ එවැනි ගමේ තැන්වල කතාබහ කරමින් සිටිනු දැනගත් අනුෂාගේ මව ඇයට හොඳහැටි අවවාද කැර තිබිණ. ඒ දරුවාට අපේ තහනමක් නෑ. ඔහොම තැන් තැන්වල කතාබහ කරන්න එපා. ගෙදරට එන්න කියන්න. එදා අනුෂාගේ මව ඇයට තරවටු කළාය.

අඬාවැටෙන ඇල්ල පිහිටියේ ඇල්පිටිය පිටුවල තුනේ කණුව හන්දියේ සිට දුෂ්කර මාර්ගයක කිලෝ මීටරයක් පමණ ඈතින් වන වදුලු අතරය. මේ ඇල්ල බලන්නට එන පිරිස් තම වාහන නවත්වන විශේෂ ස්ථානයක් තිබේ. එතැන එදා නැවැත්වූ අශාන්ගේ මෝටර් බයිසිකලය තිබුණේය.

බයිසිකලය තිබුණු අඬාවැටෙන ඇල්ල ප්‍රදේශයට පොලීසිය සමඟ යාමට අශාන් හා අනුෂාගේ මාපියෝ ද එක් වූහ. මිනී කුණු ගඳින් ඇල්ල ප්‍රදේශය පිරී ගොස් තිබිණ. 18 හැවිරිදි අනුෂාගේ සිරුර හඳුනාගත්තේ ඇගේ පියා විසින් ඇගේ මාපටැඟිලිවලිනි. හිස්කබලේ දරුණු පහර දීමක් පෙනී ගොස් තිබේ. දත් වහල්ල පමණක් ඉතිරි වන සේ සතුන් මේ මුහුණ කා දමා තිබුණු බව කියයි. අනුෂාගේ පපුවේ සිට දණහිස දක්වා පහළ තුවායකින් වසා තිබුණැයි ද ඒ පියා කියයි.

අශාන්ගේ සිරුර ඒ තරම් නරක් නොවී තිබුණ ද හිසට වැටුණු කෘමිනාශක නිසා කෙස් ගැලවී තිබිණ. මේ සිර‍ැර අසල විශාල ප්‍රමාණයේ වස කුප්පියක් ද කුඩා ප්‍රමාණයේ වස කුප්පියක් ද විය. මේ සිරුරු මත නිලමැස්සන් රජ කරමින් සිටි බව ද කියයි.

මේ යුවළ පිළිබඳව මුලින්ම කවුරුත් සිතන්නේ දෙදෙනා එක්ව වස බිවු බවයි. එහෙත් මෙය ඝාතනයක් බව ඔප්පු වන්නේ අනුෂාගේ හිස්කබලේ ඇති ඇතුළට නෙරුම පරික්ෂා කළ ඇල්පිටිය දිස්ත්‍රික් වෛද්‍යවරයා ඒ හිසට මොට ආයුධයකින් පහර දී ඇති බව තීරණය කිරීමත් සමඟය.

ඝාතකයෝ පොලීසිය නොමඟ යැවීමට වස කුප්පි යොදා ගත්හ. එහෙත් මේ අබිරහස තවමත් හෙළි නොවී පවතී.

අඬා වැටෙන ඇල්ල ප්‍රදේශය අසල නොයෙක් අපචාර පවතින බව ගැමියෝ කියති. වන වදුලේ ඇති වටිනා ගස් කපන දැව හොරුන් හා පාතාලයන් කරක් ගසන මේ බිමේ අසිරිය පිළිබඳව ප්‍රාදේශීය සභාව නගරයේ තැන් තැන්වල බොහෝ දැන්වීම් යොදා තිබුණ ද? මෙහ එන වුන්ගේ රැකවරණය සඳහා පොලිස් මුර පොළක්වත් පිහිටුවා නැත.

මහ වනයට පොලිස් මුරපොළ කුමකටදැයි ඔබ දැන් හිතනු ඇත. එහෙත් දවසකට ජිවිත කීයක් නම් මේ සුන්දර ඇල්ල නරඹන්නට මෙහි පැමිණෙනු ඇද්දැයි සිතා බැලිය යුතුය. අනෙක මීට නුදුරින් ඇති වල්ලාපට්ටා වැනි ගස් බිඳින හොරුන්ගේ ක්‍රියාදාමයටත් ඉන් විරාමය ලැබෙනු ඇත.

සුන්දර තැන් අසුන්දර කරන තරුණ කොලු රංචු පිටින් මෙහි පැමිණ නා, කා, බී, විනෝද වී තමන් මත්වතුර බිව් බෝතල් මෙහි ගල් වැටි අතර ගසා කුඩු කැර ප්‍රීති වෙති. මේ නරුමයන්ට වැට බඳින්නට ද එවැනි පොලිස් මුරපොළකින් හැකි වනු ඇත.

සියල්ලටම වඩා මෙවැනි කුරිරු ඝාතන සිදුවිය හැකි වටපිටාව ද ඉන් මැකී යන්නට පුළුවන. තම සියුමැලිය මෙවැනි දුෂ්කර මංපෙතකින් කැඳවාගෙන ආ අශාන් එක්තරා විදියක මුග්ධයකු ලෙස මට පෙනෙයි. එහෙත් සිදුවී ඇත්තේ කුමක්දැයි අප තවම නොදන්නා නිසා තීරණ ගැනීම සුදුසු නැත.

අධිකරණ වෛද්‍යවරයා හා පොලීසියේ මහත්වරු යුහුසුලුව ක්‍රියාත්මක වෙති. ඇත්ත දැනගන්නට, අබිරහස හෙළි වන්නට තව වැඩි දිනක් නැතැයි සිතේ. මේ වන විට අශාන්ගේ යතුරුපැදියේ ලිපිගොනු හා බලපත්‍ර හා අනුෂාගේ පොත් හා ජංගම දුරකථනය මේ කැලෑවේ තිබී පොලීසිය සොයාගෙන ඇත.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY