1-1

මුලින් ඇය වෙනුවෙන් පෙනී සිට ඇත්තේ
නීතීඥයකු නොව භාෂා පරිවර්තකයෙක්‌

විධිමත් අභියාචනය වැඩ කරයි

අනාචාරයේ හැසිරීම පිළිබඳ චෝදනා මත ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික මුස්‌ලිම් කාන්තාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ සෞදි අරාබි අල් ද්වාද්මි අධිකරණය පෙරේදා (22 වැනිදා) ඇයට වසර තුනක සිරදඬුවම් ලබාදීමට තීන්දු කළ බව වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (23 වැනිදා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙලෙස ඇයගේ දඬුවම් ලිහිල් කිරීමට එරට අධිකරණය ගනු ලැබූ තීරණයට සෞදි අරාබි රජයට ශ්‍රී ලංකා රජය ස්‌තුතිය පුද කරන බවත් එසේම වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටම පිළිබඳව ආඩම්බර විය හැකි බවත් මෙම මාධ්‍ය හමුවට එක්‌වූ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන ඇමැති තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

2014 අප්‍රේල් මස සිට මෙම කාන්තාව සිරගතව සිටින බැවින් ඇයට පෙරේදා (22 වැනිදා) හිමිවූ වසර තුනක දඬුවම ගෙවීයැමට ඇත්තේ තව වසර දෙකක කාලයක්‌ පමණක්‌ බවත් තලතා අතුකෝරල මහත්මිය පැහැදිලි කළාය.

ඉතිහාසයේ පළමුවරටයි ශ්‍රී ලාංකික කාන්තාවකට මෙලෙස ගල් ගසා මරා දැමීමට දඬුවම් හිමි වුණේ. එසේම එවැනි දඬුවමක්‌ මේ අයුරින් ලිහිල් කරගත්තේත් ඉතිහාසයේ පළමුවරටයි. ඒ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති මංගල සමරවීර, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඇතුළු විදේශ සේවා නිලධාරී මණ්‌ඩලය විශාල කැපවීමක්‌ සිදුකළා යෑයිද තලතා අතුකෝරල ඇමැතිවරිය පැවසුවාය.

මෙම කාන්තාව අදාළ වරද සම්බන්ධව චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මොහොතේ ඇය වෙනුවෙන් පෙනී සිට ඇත්තේ භාෂා පරිවර්තකයකු පමණක්‌ බවත් ඇයට හිමිවූ දඬුවම සම්බන්ධව සෞදි ආරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම්දීමෙන් පසු රජයේ උපදෙස්‌ මත නීතිඥයෙකු අධිකරණයේ පෙනී සිටිමින් අභියාචනයක්‌ ඉදිරිපත් කළ බවත් මෙහිදී වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

 

උපාලි ද සේරම්

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY