තවමත් අත්අඩංගුවට ගෙන නොමැති මුත්, මේ වන විට හෙළිව ඇති තොරතුරුවලට අනුව මෙම තිරශ්චීන ඝාතනයේ වගකීම බැර ව ඇත්තේ කැප්ටන් තිස්ස නම් ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරියාට ය.

කැප්ටන් තිස්ස, යුද හමුදාවේ නිත්‍ය සාමාජිකයකු දැයි තවම පැහැදිලි නොමැති මුත්, ඔහු හිටපු ජනාධිපතිවරයාගේ විශ්වාසය උපරීම ලෙස දිනාගත් පුද්ගලයකු බව කියවේ. ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කළ කැප්ටන් තිස්සගේ රාජකාරිමය වපසරිය රියදුරකුගේ සිට රස පරීක්ෂකවරයකු ගේ තත්ත්වය තෙක් පුළුල් පරාසයක පැතිර තිබූ බව වාර්තා වේ.

ඔහු ඒ තරමටම හිටපු ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත සේවකයෙක් විය. කෙසේ වෙතත් රාජපක්ෂ පාලනයේ සිය අවසානයට ළඟා වෙමින් තිබියදී තිස්ස තම සේවය වැඩි වශයෙන් සැපයුවේ ශිරන්ති රාජපක්ෂ, නාමල් හා යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් බව වාර්තා වේ. සරලව පැවසුවහොත් කැප්ටන් තිස්ස යනු රාජපක්ෂවරුන්ගේ ඕනෑම අවශ්‍යතාවක් ඉටුකිරීමට සැදී පැහැදී සිටි පුද්ගලයෙක් විය. කෙසේ වෙතත් මේ සියල්ල ඉතිහාස කතාය.

                                  සැලසුම්සහගත ඝාතනයක්

රාජපක්ෂවරුනගේ සුවච කීකරු ගෝලයකු වූ තිස්සගේ නම, තාජුඩීන්ගේ ඝාතනයට ගෑවුණේ, අපූරු ආකාරයටය. යහපාලන රජය බලයට පත්ව තාජුඩීන්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ යළි ඇරැඹීමෙන් පසු අපරාධ පරීක්ෂකයන් අතිදක්ෂ පැහැබර අනාගතයක් තිබූ, රගර් ක්‍රීඩකයාගේ මෝටර් රථය ගිනි ගනිද්දී ඒ ස්ථානයට පැමිණි තිස්දෙනකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගැනීමට කටයුතු කරන ලදී.

එම සාක්ෂි විමසීමේදී සාක්ෂිකරුවන් කිහිප දෙනකුම පවසා තිබුණේ තාජුඩීන්ගේ මෝටර් රථය ගිනිගන්නා අවස්ථාවේදී ඒ අසල ඩිෆෙන්ඩර් රථ දෙකක්, නතර කර තිබූ බවය. එම රථවල සිටි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ ඝාතනයට නම කියවුණු හා ඊට සහාය වූවා යැයි කියවුණ පුද්ගලයින් රැසකගේ ඡායාරූප පෙන්වද්දී සාක්ෂිකරුවකු, දෙදෙනකු නොව කිහිප දෙනකුම තිස්ස වැනි පුද්ගලයකු සිටි බව හඳුනාගෙන තිබිණි.

අපරාධ පරීක්ෂකයන් හමුවේ එම සාක්ෂිකරුවන් ලබා දී ඇති සාක්ෂි ඔවුන් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මෙය කෙතරම් සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් දැයි මනාව පෙනි යයි.

එම සාක්ෂිකරුවන් පවසන අන්දමට තාජුඩීන්ගේ මෝටර් රථය ගිනි ගනිද්දී ඩිෆෙන්ඩර් රථවල සිටි පුද්ගලයන් ඒ අසලට නොයන ලෙස අවට රැස්ව සිටියවුන්ට දැනුම් දී තිබේ. ඒ කුමන හෝ මොහොතක මෝටර් රථය පුපුරා යා හැකි බව කියමිනි. ඔවුන් එසේ පවසන්නට ඇත්තේ, තාජුඩීන්ගේ දිවි බේරා ගැනීමට අවසන් මොහොතේ හෝ කිසිවකු උත්සාහ කළේනම්, එය වළකාලීමේ අර්ථයෙන් බව පැහැදිලිය.

මේ අතර මේ අවාසනාවන්ත සිදුවීම වූ දින කිරුළපන මංසන්ධියෙන් ලබාගත් සී සී ටීවී දර්ශනවලින් ද තාජුඩීන්ගේ මෝටර් රථය වැනි රථයක් පිටුපස තවත් රථ කිහිපයක් ලුහුබඳින ආකාරය පරීක්ෂකයන් අනාවරණය කරගෙන ඇත. කෙසේ වෙතත් එම වාහනවල අංක හා ඒවා තුළ සිටින්නන් පැහැදිලි නැති බැවින් අදාළ වැඩිදුර හඳුනා ගැනීම් සඳහා එම සී සී ටීවී දර්ශන, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය වෙත මේ වන විට යොමුකර තිබේ.

එම සී සී ටීවි දර්ශන අපැහැදිලි මුත්, තමන් ලුහු බඳින්නන්ගෙන් බේරී පැන යාමට මෝටර් රථය පදවන්නා උත්සාහ කරන ආකාරය අවබෝධ කරගැනීමට අපරාධ පරීක්ෂකයකු වීම අවශ්‍ය නැත. එයින් එක් දෙයක් පැහැදිලිය. ඒ තමන්ට තර්ජනයක් ඇති බව තාජුඩීන් දැන සිටි බවය. ඔහුගේ දුරකථන වාර්තා වැදගත් වනුයේ එවැනි පසුබිමක ය.

තජුඩීන් ඝාතනය පිළිබඳ මීළග නඩු විභාගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ ජනවාරි විසි වැනි දිනය. නමුත් මේ සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් සිදුකරන ලෙස අධිකරණය දැනුම් දී ඇති බැවින්, ජනවාරි විසි වන දිනට පෙර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතී. තාජුඩීන් ඝාතන නඩුව මෙතෙක් ඇසූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්, මාතර දිසා විනිසුරුවරයා ලෙස උසස්වීමක් ලබා යන බැවින්, ජනවාරියේ මේ පිළිබඳ නඩු විභාගය ඇරැඹෙනුයේ නව විනිසුරුවරයකු ඉදිරියේය.

නව විනිසුරුවරයාට මේ නඩු ගොනුව අධ්‍යයනය කිරීමට යම් සාධාරණ කාලයක් අවශ්‍ය බැවින්, මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ලබාදීමට අමතර කාලයක් වැයවීම නොවැළැක්විය හැකි කාරණයක් වීම අනිවාර්යය. එය ද සඳහන් කළ යුතුය. සාමාන්‍ය විනිසුරු මාරුවීම් ක්‍රමවේදය යටතේ නිශාන්ත පීරිස් මහතාට මේ මාරුවීම ලැබී ඇති මුත්, ඒ පිළිබඳව පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී ද කථාබහට ලක්ව තිබේ.

ජනතා අවධානය වැඩි වශයෙන් යොමුව ඇති සංවේදී කාරණයක් පිළිබඳව නඩු විභාගයක් පැවැත්වෙමින් තිබූ මොහොතක අවම තරමින් තවත් මාස 06 ක දිගුවක් නිශාන්ත පීරිස් මහතාට ලබාදිය යුතුව තිබූ බවට එහිදී මතයක් පැන නැඟුණ ද දැන් ඒ පිළිබදව කිසිවක් කළ නොහැක්කේ විනිසුරු මාරුවීම්, පිළිබඳ සම්පූර්ණ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ අධිකරණ සේවා කොමිසමට ලැබී ඇති බැවිනි.

කැප්ටන් තිස්ස පිළිබඳ ප්‍රධාන දහරාවේ මාධ්‍ය මෑතක සිට කතා කළ ද විකල්ප දහරාවේ වෙබ් අඩවි මීට අවුරුදු තුන හතරකට පෙර ඔහුගේ තෝම්බුව දිග හැර තිබිණි. 2012 සැප්තැම්බර් 27 වැනි දින ඉඹුල්ගොඩ දී සිදු වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනාගේ මරණ එකල සයිබර් අවකාශයේ ඇති විකල්ප දහරාවේ වෙබ් අඩවි කිහිපයක්ම බැර කර තිබුණේ තිස්සගේ නම ඉදිරියේය.

යතුරුපැදි අනතුරක් බව පෙන්වමින් අන්තරයේ ක්‍රියාකාරීන් දෙදෙනාම ඝාතනය කළ බවට තිස්සට එදා චෝදනා එල්ල විය. මීට අමතරව ඔඩෙල් සාප්පු සංකීර්ණයේ රථ ගාලේ දී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට පහර දීම හා ගල්කිස්සේ දී අධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධවත් ඇඟිල්ල දිගු වී තිබුණේ තිස්සටය.

මාධ්‍ය, එසේ කොතෙක් චෝදනා එල්ල කළ ද තිස්සලාට අභියෝග කළ හැකි තත්ත්වයක් ජනවාරි අට වැනිදා තෙක් රටේ තිබුණේ නැත. ඔවුන්ගේ ගණන්කාරකම, පාදඩකම අබිබවා යා හැකි බලයක් එදා නොවිය. නමුත් ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ සමීප කවය තුළ සිටි බොහෝ දෙනකුට මෙන් තිස්සට ද කණකොකා හඬන්නට විය.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර රාජකාරිවලින් යුද හමුදාව ඉවත් කළ පසු සෑහෙන කලක් කොළඹට වී සිටි කැප්ටන් තිස්සට ද උතුරේ රාජකාරිවල යෙදීමට සිදුවිණි. ඒ අනුව ඔහු මේ වන විට යාපනයේ හමුදා කඳවුරක, රාජකාරි කටයුතු සිදුකරන බව වාර්තා වේ.

තාජුඩීන්ගේ ඝාතනයට නම ගෑවී ඇති බැවින්, තිස්ස පිළිබඳව හමුදා බලධාරීහු දැඩි පරීක්ෂාවෙන් පසුවෙන බව පැවසෙන අතර තාජුඩීන් ඝාතනය සම්බන්ධ තොරතුරු ස්ථිවරම තහවුරු කරගත් පසු ළඟදීම ඔහු අත්අඩංගුවට ගැනීම සිදුවන බව කියවෙයි.

 

චාමර ලක්ෂාන් කුමාර

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY