“දරු හය දෙනා ආපහු නොදුන්නොත් මං ගඟට පැනලා මැරෙනවා”

0
2120

මාතලේ වල්ලි අම්මාගේ දරු කඳුළු –පොලිසියෙන් පරිවාසයට දැමූ දරුවන් ඉල්ලයි

මිත්ත­ණිය
රංග­මුත්තු වල්ලි­අම්මා

වැදූ දරුවන් උණුසුමේ ම ගෙල සිරකර මරා දමන, තම ජාතක දරුවන් ග‍ඟේ මුහුදේ දමා පලා යන අම්මාවරුන් ‍ගැන ඉඳහිට හෝ වාර්තාවන සමාජයක තම දරුවන් ඉල්ලා හඬා වැටෙන අම්මා කෙනෙකු සහ මිත්තණියක පිළිබඳ මේ පුවත සැල‍වන්නේ මාතලේ ඇල්වල ප්‍රදේශයෙනි‍.

අතුරුදන් දරුවන් ගැන කඳුළු සැලූ අම්මාවරුන්ගේ යුගයක් අපේ මවුබිම පිරී තිබුණි. ඒ මතකය ඔස්සේ ඒ අම්මාවරුන් අදටත් පසුවන්නේ හැඬූ කඳුළිණි. ඒ අම්මාවරුන්ගේ හැටිය.

මාතලේ ඇල්වල කතාවට මුල්වන්නේ දරුවන් හය දෙනෙකු පොලිස් භාරයට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කොට පරිවාසයට පත්කළ පුවතකි.

පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් සහ ගැහැනු දරුවන් සිව් ‍දෙනෙකුගෙන් සමන්විත වූ මෙම දරු පිරිස එකම පවුලක අයියා නඟාලා ගේ දරුවන් ය‍. පොලිස් භාරයට ගත් මෙම දරුවන් හය දෙනාට අමතරව එම නි‍ෙවසේ තවත් දියණියෝ ‍තිදෙනෙකි. ඔවුන් එදින පාසල් ගොස් සිටි නිසා පොලිස් භාරයට පත්ව නැත.

“අම්මලා රට. බලාගන්නේ වයසක අත්තම්මා. කැලෑබද ප්‍රදේශයක ල‍ෑලි මඩුවක පුංචි දරු පිරිසක් ඉබි යතුරු දාලා වහලා. මූලික පහසුකම්වත් ඒ ළමයින්ට නෑ.”

මාධ්‍ය වාර්තා අනුව මේ පුවත කටින් කට ගියේ එලෙසිනි.

පහසුකම් අවම වුව ද, කිසිසේත් ප්‍රමාණවත් නොවුණ ද, මේ නිවස 3/බී අංකය යටතේ ඇල්වල ග්‍රාමසේවා වසමේ ලියාපදිංචි වූවකි. වල්ලිඅම්මා, කෝනේශ්වරි සහ ප්‍රියන්ත එහි ලියාපපදිංචි ඡන්දදායකයෝ ය. දසකයකට ආසන්න කාලයක් කවුන්සලේට මහ ඇත්තන් පත්කර යැවීමට ඔවුන් කතිරය ගැසුවේ මේ ලෑලි ගෙදර පදිංචිකරුවන් ලෙසිනි‍.

පවිත්‍රා සහ ප්‍රියංකා

වසර එකොළහක පමණ කාලයක් මේ නි‍ෙවසේ හැදුණු වැඩුණු මේ දරු පිරිස පොලිස් භාරයට ගෙන ඇත්තේ ඇයි? ජීවත්වීමට ඇති අවම පහසුකම් එයට හේතු වී ඇති බව පෙනේ. පොලිස් භාරයට පත් ළමයින් හය දෙනා මේ වනවිට ළමා නිවාස දෙකක ජීවත්වන අතර පාසල් ගොස් සිටි නිසා එදින පොලිස් භාරයට පත් නොවූ දරුවන් තිදෙනෙක් මේ වනවිට ඒ නි‍ෙවසේ ම වල්ලිඅම්මලාගේ රැකවරණය යටතේ පසුවෙති. වල්ලිඅම්මා, කෝනේශ්වරී අද හඬා වැටෙන්නේ ඒ දරුවන් අතරට ළමා නිවාසවලට යොමුකර ඇති දරුවන් හය දෙනා ද එවන ලෙස ඉල්ලමිනි.

“දරුවෝ නැතිව මට ඉන්න බැහැ. දරු තුන් දෙනෙක් අපි ගාව. ඉතිරි හය දෙනා ළමා නිවාසවල, මට මේක උහුලන්න බැහැ. පිරිමි දරුවෝ දෙන්න කීප විටක් ම ළමා නිවාසයෙන් පැනලා ගෙදර ආවා. අපේ ළමයි අපට දෙන්න. නැත්නම් ගඟට පැනලා හරි මැරෙනවා.”

මවුපිය සෙනෙහස අහිමියි

මිත්තණියවූ රංගමුත්තු වල්ලිඅම්මාගේ හඬයි ඒ. වැන්දඹුවක් වන 54 හැවිරිදි වල්ලිඅම්මා මේ දරු පිරිසේ අත්තම්මා ය. තම පුතාගේත්, දියණියන් දෙදෙනාගේත් දරුවන් නව දෙනෙකුට රැකවරණය දුන්නේ මේ වල්ලිඅම්මා ය. මවු සෙනෙහස සහ පිය සෙනෙහස අහිමි මේ දරු පිරිසට එසේවීමට බලපෑ විවිධ හේතු තිබේ. තම පුතුගේ පුතුන් දෙදෙනා සහ දියණියකගේ දියණියන් සිවුදෙනෙකුට අම්මා කෙනෙකුවීමට වල්ලිඅම්මාට සිදුවූවේ එබැවිනි.

වල්ලිඅම්මාගේ බාල දියණිය සිය පුරුෂයා සමඟ වෙසෙන්නේ ද මේ නි‍ෙවසේම ය. ඒ දියණිය ද දැනට වසරකට වැඩි කලක් සවුදියේ ගෘහ සේවයේ රැකියාවකට ගොස් සිටි බැවින් ඒ පවුලේ දියණියන් තිදෙනාට ද අම්මා වී සිටියේ මේ වල්ලි අම්මා ය. මෙම නි‍ෙවසේම සිටි බාල දියණියගේ පුරුෂයා වූ ප්‍රියන්ත ද මේ පවුලේ ජීවන බරට කරදී සිටියේ එදිනෙදා කුලී වැඩක යෙදෙමිනි.

දරුවන් ඉල්ලා හඬා වැටෙන වල්ලිඅම්මා සිය කටහඬ අවදිකළේ මෙලෙසිනි.

“පසුගිය දෙසැම්බර් 17 වැනිදා තමයි පොලිසිය ඇවිත් දරුවන් හයදෙනා අරන් ගිහින් තිබෙන්නේ. එදා ළමයි තුන් දෙනෙක් පාසල් යවලා මම ගෙදරින් පිටවෙලා ගියේ දුවලා එවපු මුදල් ලබා ගන්නයි. මමත් ගෙවල්වල ඉවුම් පිසුම්වලට යනවා. ඒ ඕඩරයක් ‍ගැන කතා කර ගන්නත් තිබුණා. ඒ කටයුතු ඉවරවෙලා ගෙදර එනකොට තමයි මම දැනගත්තේ පොලිසිය ඇවිත් දරුවන් අරන් ගිය බව.

ඊට පස්සේ මං පොලිසියට ගියා. ළමයි ටික මට බාරදෙයි කියලයි මම සිතුවේ. මගෙන් ළමයිගේ විස්තර දැනගත්තා විතරයි‍. දරුවෝ ටික උසාවි දාලා ළමා නිවාසවලට දැම්මා කියල දැනගත්තේ පස්සෙයි. පුතාගේ පුතාල දෙන්නයි, ලොකු දුවගේ දූවරු හතර දෙනයි. බාල දුවගේ දූවරු තුන්දෙනයි මේ දරුවෝ නව දෙනාම බලගත්තේ මමයි. අපි දුප්පත් වුණත් මේ ළමයි බඩගින්නේ තිබ්බේ නැහැ. මේ ළමයි ටික නැතිව මට ඉන්න බැහැ මහත්තයෝ. ළමයි නැති වුණොත් මම ගඟට පැනලා මැරෙනවා.”

සවුදියේ ගෘහ සේවයට ගොස් සිටි මේ දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ‘පට්ටනී කෝනේෂ්වරි’ නැවත සියරට බලා ආවේ මේ සිද්ධියෙන් පසුව ය. මේ ඇයගේ හඬයි.

“මගේ මහත්තයා මේ සිද්ධිය මට දැනුම් දුන්නා. මම ගෙදර එන කොට දරුවෝ දෙන්නෙක් හිටියේ ළමා නිවාසේ පාසල් යන එක දරුවයි ගෙදර සිටියේ. මම රට ගිහින් අවුරුද්දයි මාස නවයක් වෙනවා. මේ සිද්ධිය කියලා එන්න බැරි නිසා මම ඒ ගෙදරට බොරුවක් කීවා. මගේ ළමයි අනතුරකට ලක්වෙලා රෝහලේ කියල. එ‍හෙමයි හදිසියේ රට ඉඳන් ආවේ.

පඩි සල්ලිවත් අරන් එන්න විදිහක් තිබුණේ නැහැ. ළමයින්ට උගන්වන්නයි පුංචි ගෙයක් හදාගන්නයි සිතාගෙන තමයි මම රට ගියේ. මේ සිද්ධිය නිසා මට රට ඉඳන් එන්න වුණේ හිස් අතින්. ඒ නිසා අද මගේ සිහින සියල්ල බොඳවෙලා ගිහින් ඉවරයි. මොනවා උනත් කමක් නැහැ අපිට ළමයි ටික දෙන්න කියලයි මම ඉල්ලන්නේ. බඩගින්නේ හරි ළමයි එක්ක ඉන්න එක සැපයි. ළමයි බලාගෙන මම ඉන්නවා. ආයේ රට යන්නේ නැහැ…”

එම නි‍ෙවසේ පදිංචිව සිටි ආර්.පී. ප්‍රියන්ත කුමාර වල්ලිඅම්මාගේ බාල දියණියගේ පුරුෂයායි. ප්‍රියන්ත මේ ගැන කියන්නේ මොනවා දැයි සොයා බලමු.

මව – පට්ටනි කෝනේ­ෂ්වරි

 පියා – ආර්. පී. ප්‍රියන්ත කුමාර

“මම කරන්නේ කුලී වැඩ. එදා උදේම මමත් ගෙදරින් ගියා. ඊට පස්සේ තමයි ළමයි අරන් ගිහින් තියෙන්නේ. පාසල් ගිහින් සිටි නිසා එක දුවක් විතරක් ඉන්නවා. අනිත් දුවලා දෙන්නා ළමා නිවාසවල.

මේ සිද්ධියෙන් පසු රට හිටපු බිරිය මම ගෙන්වා ගත්තා. අපි දුප්පත් තමයි‍. ඒත් ළමයිට කන්න බොන්න අපි නොදී සිටියේ නැහැ. මේ සිද්ධියට පස්සේ පත්තරවල ටීවීවල ගිය දේවල් අදහා ගන්නවත් බැහැ. ඇයි මහත්තයෝ! දුප්පත් අපි ගැන මෙහෙම ලියන්නේ? පොඩිවට හරි ගෙයක් හදාගෙන, ළමයිට උගන්වගෙන ඉන්නයි අපේ ‍බලාපොරොත්තුව වුණේ” ඒ ප්‍රියන්තගේ හඬයි.

අපේ කතාබහ අතර නිවස ඉදිරිපස වූ පුංචි කඳු ගැටය තරණය කරමින් ඉදිරියට එන හුරු බුහුටි පාසල් දැරිවියන් දෙදෙනකු මගේ නෙත ගැටුණි.

“මහත්තයෝ අර එන්නේ ඉස්කෝලේ ගිය නෝනාගේ අක්කාගේ දුවල දෙන්නා තමයි.”

ප්‍රියන්ත දුර තියා ඒ දරුවන් මට හඳුන්වා ‍දුන්නේ එලෙසිනි.

එදින නි‍ෙවසේ රැඳී සිටි ප්‍රියන්ත හා කෝනේශ්වරීගේ වැඩිමහල් දියණිය 12 හැවිරිදි, ප්‍රියන්ති කුමාරි ඉගෙනුම ලබන්නේ ඇල්වල විදුහලේ 6 වන ශ්‍රේණියේයි. මේ වනවිට ඇයගේ නැගණියන් දෙදෙනා සිටින්නේ ළමා නිවාසයේ ය. පුංචි ප්‍රියන්ති මා ඉදිරියේ පැවසුවේ මෙවැන්නකි.

“මගේ නංගිලා දෙන්නා විතරක් නොවෙයි. අනෙක් අයියලා නංගිලාත් ඉක්මනට අපි ගාවට එවන්න කියලයි මම ඉල්ලන්නේ. ඒ අය නැතිව අපට ඉන්න බැහැ.”

මේ නි‍ෙවසේ සම්පත් අවම බව ජීවත්වීමේ ගැටලුවට හේතුවක් බව සැබෑවකි. එයට පිළියම ළමයින් සතුන් මෙන් අල්ලාගෙන ගොස් තැන තැන දමා දරු සෙනෙහසට, මා පිය සෙනෙහසට විලංගු දැමීම නම් නොවේ. දුප්පතුන්ට අත හිත දෙන රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඕනෑ තරම් අපේ රටේ තිබේ. දානපතියන් ඕනෑ තරම් සිටී. ඒ කිසිවකුගේ අවධානය මේ පවුල වෙත යොමුවන්නේ නම් එය අඳුරේ අනාගතය දකින්නට වෙර දරන මේ හුරුබුහුටි දරු පැංචන්ට මහත් ආලෝකයකි.

ගේ දොර, බඩු මුට්ටු දෙස බලමින් මිනිසුන් වර්ගීකරණය කරන සමාජයක වල්ලිඅම්මලා ගැනත් විවිධාකාරයෙන් සිතන පතන උදවියගේ අඩුවක් නොතිබෙන්නට පුළුවන. කෙසේ වුව ද විවිධාකාරවූ සමාජ විෂමතාවන් හේතුවෙන් අසරණ බව උරුම කර ගත් මේ දරු පැංචන් වෙනුවෙන් වැටී සිටින්නට නි‍ෙවසක් සහ ඒ තුළ අවම පහසුකම් සපුරාදීමට හැකි පිං සිත් ඇත්තන් ද නැතිවාම නොවේ.‍

පහත ලිපිනයෙන් සහ දුරකථන අංකයෙන් මේ පවුල ඇමතිය හැකිය. 3/බී, ඇල්වල, උකුවෙල. 0778470158

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY