“එපා කරපු පිරිමින්ට” ලුහුබැඳ පහර දෙන ඉන්දියානු කෙල්ලන්ගේ රතු බළකාය

0
1107

මුළු බිම දූවිල්ලෙන් නෑවී ගොසිනි. දෙපා බිම ගැටෙද්දී නැ‍ඟෙන දූවිල්ල ඔවුනට වගේවගක් නැත. කෙතරම් දූවිලි පිරුණ ද එකිනෙකට ගාව පිහිටි ගෙවල් ගොන්න මැද්දෑවේ ඇති ඒ බිම ඔවුන්ගේ සටන් පුහුණු බිමය.

එතැන සිට හරඹ පානා ඒ යුවතියෝ සුන්දරය. හුරුබුහුටිය. උඩුකයට රතු කුර්තාවකින් හා යටිකයට කළු බුරුල් කලිසමකින් සැරසී සිටින ඒ සියල්ලන්ගේම ඇඳුම එක සමානය. ඉණ තදකර බැඳ ඇති සළුව නිසා ඔවුන් බැලූ බැල්මට පෙනෙන්නේ තරුණ ගැටවුන් පිරිසක් ලෙසය.

ඉන්දියාවේ ලක්නව් නගරයට ආසන්න ගමක යාබදව පිහිටි නිවෙස් සමූහයක් අතර වූ ඒ ඉඩකඩේ සිට ඔවුහු ‘කරාටේ’ හෙවත් ආත්මාරක්ෂක සටන් පුහුණුව ලබති. ගැහැනිය නිතරම ගෙයි මුල්ලට කර තැබීමට වළි කන ඉන්දියාව වැනි රටක මේ සුන්දර යුවතියන්ගේ පෙරට ඒම සැබැවින්ම පුදුමයකි.

මේ කෙළි රෑනේ ගුරුතුමිය ඌෂා ය. විසිපස් හැවිරිදි ඌෂා විශ්වකර්මා මුලින්ම සිය මිතුරියන් කීප දෙනකුට ආත්මාරක්ෂක සටන් ශිල්ප දුන්නේ ඔවුන්ගේම ආරක්ෂාවටය. ඌෂාගේ උපදෙස් අනුව දූවිලි බිමේ දෙපා මෑත් කර සමබරව සිටගෙන සිටිනා මේ යුවතියෝ සිතින් මවාගත් ප්‍රතිමල්ලවයන් හා හරඹ කරති. අතමිට මොළවා ඉදිරියට පහර දෙති. යළිත් පයක් පසුපසට තබා පැත්තට පහර දෙති. ඒ පහරත් සමඟ ඔවුන්ගේ මුවින් නැ‍ඟෙන්නේ දිරිය වඩන හඬකි.

ඇතැම් අවස්ථාවල තරුණයෝ ද මොවුන්ට සහයෝගය දෙමින් සටන් පුහුණුව ලබා දෙති.

යකෙකුටවත් බය නැති කෙල්ලක වීමේ අදිටනින් ඌෂාගේ සිතුවිල්ලක් මල්පල දරමින් එතැන ඒ පුහුණු වීම් කරනුයේ කෙල්ලන්ගේ රතු බළකායයි. ඔවුන් සිය පරම සතුරන් සේ සලකනුයේ ගැහැනුන්ට කුමන ආකාරයකින් හෝ අඩන්තේට්ටම් හෝ අපහරණයට ලක් කරන පිරිමින්ය.

දිල්ලි අගනුවර දී සිසුවියක බස්රියක් තුළ දී පිරිමින් හය දෙනකු විසින් සමූහ ලිංගික අපහරණයට ලක් කිරීමේ සිද්ධියත් සමඟ ඉන්දියාව ලොව පුරා කූප්‍රකට වූයේ කාන්තා ලිංගික අතවර බහුල රටක් ලෙසය. ඌෂාගේ සිතෙහි රතු බළකාය පිහිටුවීමේ අදහස රෝපණය වීමට එම සිද්ධිය ද බලපෑවේය. කෙල්ලන්ගේ රතු බළකායට එක්වී ආත්මාරක්ෂක සටන් පුහුණුව ලබන තරුණියන්ගෙන් අති බහුතරය පිරිමින් වෙතින් කුමන හෝ අතවරයකට ලක්වූවෝ වෙති.

ඌෂා ද එවැන්නියකි. ඒ අප්‍රසන්න සිදුවීම ඇගේ පාසල් කාලයේ සිදු වූවකි. “ඔහු මගේ පාසලේ ගුරුවරයෙක්. දිනක් ඔහු එක්වරම මා වැලඳගෙන මට අතවර කරන්න තැත් කළා. ඒ හැසිරීමෙන් පුදුමයට පත් වූ මා ඔහුගේ උදරයට පයින් පහර දුන්නා. දෙවැනි වර එසේ පහර දෙද්දී ඔහු බිම ඇද වැටුණා. මා එතැනින් පැන ගත්තා” ඌෂා පවසන්නීය.

එම සිද්ධිය ඇය විසින් පාසලේ ගුරු මණ්ඩලයට පවසනු ලැබුව ද එයට පිළිගැනීමක් නොලැබිණි. සිදු වූයේ අදාළ ගුරුවරයා ද එක්ව ඌෂා වනචර කෙල්ලක ලෙස පාසලේ හංවඩු ගැසීම පමණි. ඉන්දියාවේ සිදුවන කාන්තා අතවරවලින් බොහොමයක තත්ත්වය එසේය. ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා නොවෙන්නා සේම පොලීසිය සහ පිරිමි පාර්ශ්වය එවැනි පැමිණිලි කෙරෙහි දක්වන ප්‍රතිචාරය නිසා බොහෝ කාන්තාවෝ ලිංගික අතවර පිළිබඳ පැමිණිලි කිරීමට ද ඉදිරිපත් නොවෙති. එලෙස යටපත් වන ලිංගික අපහරණ ක්‍රියාවල ප්‍රතිඵලය වී ඇත්තේ එරට පුරා තවමත් දිනපතා ළදරු වියේ සිට මහලු විය දක්වාම කාන්තා පාර්ශ්වය දිගින් දිගටම ලිංගික අපහරණයට ලක්වීමයි.

“මට සිද්ධ වුණේ පැමිණිල්ල මටම පාරාවළල්ලක් වීමයි. පොලීසිය රාත්‍රියේ ඇවිත් අපේ ගෙදර පරීක්ෂා කළේ මං බඩු වගයක් හොරකම් කළා කියලයි. එදා පටන් මට මුහුණදීමට සිදුවන කරදර නිමක් නැහැ.”

ඌෂා කාන්තා හිංසනයට එරෙහිව හඬ නඟන්නියක බවට පත්වන්නේ එතැන් පටන්ය. එහෙත් සමාජයෙන් ඇයට සහයෝගය වෙනුවට එල්ල වෙනුයේ බාධා කිරීම්ය. නැදෑයන් පවා ඇයට බලපෑම් කළේ මේ උද්ඝෝෂණය නවත්වන ලෙසටය.

“මුළු රට පුරාම කාන්තාවන්ට සිදුවන කරදර නිසා තමයි මං මේ විදිහට කෙල්ලන්ගේ රතු බළකායක් හදන්න තීරණය කළේ. මං ප්‍රචණ්ඩත්වයට කැමති නෑ. මට අවශ්‍ය වුණේ මා වගේම අනෙක් තරුණියන්ගේ ද ආරක්ෂාවයි. මා වගේම පිරිමින්ගේ අතවරවලට ලක්වූ කෙල්ලන් ටිකක් මාත් එක්ක එකතු වුණා. අපේ රතු කුර්තාවෙන් සංකේතවත් කරන්නේ අනතුරයි. කළු කලිසමෙන් අපේ විරෝධය පෙන්නුම් කරනවා” යැයි ඌෂා පවසයි.

ඉන්දියානු යුවතියෝ ලජ්ජාශීලීය. එනිසාම ඔවුහු පිරිමින් ඉදිරියේ විරෝධය පෑමට එඩිතර නොවෙති. එහෙත්, ඌෂාගේ රතු බළකායේ තරුණියන් පුහුණු කරනුයේ එවැනි අතවරයක් සිදු වූ අවස්ථාවේදී හැකිළී බියවී පිටුපසට නොයා විරෝධය පළ කිරීමය. තරුණියකට කුමන ආකාරයක හෝ අතවරයක් වූ පසු රතු බළකාය පළමුව ඒ සඳහා විරෝධය පළ කරති.

එහෙත් අදාළ පිරිමියා එම විරෝධය නොතකා දිගින් දිගටම ඒ ක්‍රියාවේ යෙදේනම් රතු බළකාය මීළඟට කරන්නේ ඒ පිරිමියාගේ නිවෙස සොයා යෑමය. පළමුව ඒ පුද්ගලයාගේ ඥාතීන්ට සිදුවීම දන්වා එහි වැරැද්ද පහදා දෙයි. අදාළ පිරිමියා ඉන් ද නොනැවතුණේ නම් මීළඟ පියවර ගන්නේ කෙල්ලන්ගේ රතු බළකායයි.

“අපි ඊළඟට කරන්නේ සවස් ජාමේ මිනිහාගේ ගෙදරට යන එකයි. ගිහින් ගේ ඉස්සරහට වෙලා කෑ ගහනවා. එතකොට ඒ පුද්ගලයාගේ පවුලේ අයයි, වටපිටේ අයයි මුළු ගමයි මිනිහා මේ විදිහේ කෙනෙක් කියා දැනගන්නවා. මේ විදිහට අපහාස කරලත් නැවතුණේ නැත්නම් අපි ඊළඟ පියවරට යනවා. කවදාවත් පොලීසිය අපට උදවු කරන්නේවත් එවැනි පිරිමින්ට වරද පහදා දෙන්නේවත් නෑ. ඒ නිසා අපට ඊළඟ පියවරට යන්නම වෙනවා” ඌෂා පවසයි.

කෙල්ලන්ගේ රතු බළකායේ මීළඟ පියවර තරමක් දරුණුය. එසේ ම ඉන්දියාව වැනි රටක කෙල්ලන්ට තරමක් අමාරුය. එහෙත් රතු බළකායේ කෙල්ලෝ එඩිතරය. අධිෂ්ඨානශීලීය.

කාන්තාවන්ට අයුතු යෝජනා ගෙනෙමින් බලපෑම් කරන එක් පුද්ගලයකු පදිංචිව සිටියේ ලක්නව්හි මදියාම් මුඩුක්කු ප්‍රදේශයේය.

ඒ දවස අඳුරුය. අදාළ පුද්ගලයා සිය මුඩුක්කු නිවෙස ඉදිරිපිට බිම ඇනතියාගෙන බීඩියක් උරමින් සිටියේ වෙන්න යන දේ ගැන කිසිවක් නොදැනය. ඉදිරියෙන් ගිය තරුණ කතකට ඔහු ඒ මොහොතේත් අසැබි වදනක් දෙඩුවේය. ගත වූයේ මොහොතකි. ඔහු ඉදිරිපිටට කඩා පිනුයේ රතු කුර්තා ඇඳගත් කෙල්ලන් පිරිසකි. ඔහු වටකර සෙරෙප්පුවලින් පහර දුන් කෙල්ලෝ ඔහු අල්ලා උස්සා බිම අත්හැරියහ. ඒ මොහොතේ කෙල්ලන්ගෙන් මිදුණු මිනිසා පැන දිව්වේ කොර ගසමින් යළි දිවි හිමියෙන් එවැනි ක්‍රියාවකට යොමු නොවන බවට දිවුරමිනි. ගැහැනුන් මුල්ලකට කර තැබීමට උත්සාහ දරන ඉන්දියානු සමාජයේ පිරිමින් වට කර සෙරෙප්පුවලින් තැළීම තරමක් හිතුවක්කාරී පියවරකි. එහෙත් කෙල්ලන්ගේ රතු බළකාය බිය නැත.

දීපිකා තවමත් එකොළොස් හැවිරිදිය. ඇය රාත්‍රී නිදි පැදුරේ දී අතවරයට ලක්වූයේ ඇගේම මාමා කෙනෙකු අතිනි. මේ සිද්ධිය කනවැකුණු ඌෂාට ඉහිලුම් නැති විය. ඇය වහාම ඇගේ බළකා සාමාජිකාවන් කීප දෙනෙකු දීපිකාගේ මාමාගේ නිවෙසට පිටත් කර හැරියාය. ඒ පවුලේ සාමාජිකයන්ගෙන් මුලදී තරුණියන්ට විරෝධතා එල්ල වුවද පසුව ඔවුහු යළිත් එවැන්නකට ඉඩ නොතබන බවට බළකාය ඉදිරියේ පොරොන්දු වූහ.

ඌෂාගේ රතු බළකා සාමාජිකා සංඛ්‍යාව දැන් සියය ද ඉක්මවයි. ඒ සැවොම කුමන හෝ අපහරණයකට ලක් වූවෝය. අතපත ගෑමේ සිට බලහත්කාරයෙන් සිප වැලඳ ගැනීම් හා දරුණු ආකාරයේ ලිංගික අපහරණයට ලක්වූ තරුණියෝ ද එහි වෙති. ඔවුහු දැන් තමන්ට ඉඩ ලද සැම විටම ඌෂාගේ ආත්මාරක්ෂක සටන් ක්‍රම හදාරති.

ලක්ෂ්මී ද එවැන්නියකි. ඇය 16 හැවිරිදිය. “සමහර පිරිමි ළමයි මට කැත කතා කියන්න පටන් ගත්තා. මං නිහඬව සිටිද්දී ඔවුන් එය දිගටම කළා. අන්තිමේදී මං ඒ එකෙකුගේ කනට ගැහුවා. මෙයට එකම පිළියම ලෙස මා දකින්නේ සටන් ක්‍රම ඉගෙන ගැනීමයි” ලක්ෂ්මී පවසයි.

ඉන්දියාවේ දිල්ලි නුවර පමණක් මේ වසරේ පමණක් ලිංගික අතවර 463 ක් වාර්තා වී ඇත්තේය. වාර්තා නොවූ අපහරණ සිද්ධි ඊටත් වැඩිය. 2011 වසරේදී පමණක් එරට වාර්තා වූ ලිංගික අපහරණ සිද්ධි 24000 කි. ඌෂා සටන් කරන්නේ මෙවැනි සිද්ධිවලට එරෙහිවය.

“බොහෝ ඉන්දියානු මිනිසුන් ගැහැනියක් පාවා ගන්නේ ඔවුන්ගේ වැඩ කරගන්නයි. ඉන්දියානු ගැහැනියටත් අවශ්‍ය විවාහ වී පවුල් පන්සල් වීම මිස කාන්තා අයිතීන් උදෙසා සටන් කිරීමට නොවෙයි. එහෙත්, මට ඕනැ ආඥාදායකු වැනි සැමියකු නොවෙයි මා තේරුම් ගත් සහකාරයකුයි.” ඌෂා පවසයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY