ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු සහ කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම නිසා නවසීලන්ත සංචාරයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද (07) පියවර ගත්තේය.

ශ‍්‍රී ලංකාවේදී පසුගිය ජූලි මස පැවැති පාකිස්තානු සංචාරයේදී කුසල් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තහනම් උත්තේජක පරීක්‍ෂාවට සහභාගි වී ඇති අතර එම පරීක්‍ෂාවේදී කුසල්ගේ ශරීරයේ තහනම් උත්තේජක ශරීරගත වී ඇති බවට තහවුරු වී ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව කුසල් පෙරේරා නැවත ක‍්‍රිකට් පිටියට ගෙන ඒමට දෙවැනි නියදිය පරීක්‍ෂා කිරීම ඇතුළු සියලූම ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙහිදී පළමු පියවර ලෙස දෙවැනි මුත‍්‍රා නියදිය පරීක්‍ෂාවට ලක්කරන ලෙස අන්ත්ර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කළ හැකිය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තහනම් උත්තේජක කමිටුවේ නිලධාරීහු තරගයක් අවසානයේ අහඹු ලෙස කණ්ඩායමකින් ක‍්‍රීඩකයන් දෙදෙනකු පරීක්‍ෂාවට තෝරාගෙන පරීක්‍ෂාවට ලක්කරයි.

ටෙස්ට් සංචිතයේ කුසල්ගේ ස්ථානයට කෞෂාල් සිල්වා ආදේශ කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. 25 හැවිරිදි වමත් පිතිකරු කුසල් මේ වන විට එක්දින තරග 51 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 1259 ක් ද, ටෙස්ට් තරග තුනකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 169 ක් ද, රැස්කිරීමට සමත්ව සිටියි.

 

යොහාන් භාසුර

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY