අතරමගදී කඹය කැඩෙයි

              නුවරඑළිය සිට මාවනැල්ල දක්‌වා ගමන් ගත් මෝටර් රථයක්‌ අධික වර්ෂාව සමග ගම්පොල ගල්ගෙඩියාව වංගුවෙන් ඉවතට පැන අඩි 150 ක්‌ පමණ පහතින් ඇති ඔයට පෙරළී එහි පහළට ගසාගෙන ගොස්‌ ඇත. එම මෝටර් රථයේ සිරවී සිටි එක කාන්තාවක්‌ මියගොස්‌ තවත් තිදෙනකු තුවාල ලබා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

පෙරේදා (30 දා) රාත්‍රි සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මාවනැල්ල හිඟුල පදිංචි සමෘද්ධි කළමනාකාරවරියක වන අජන්තා අයිරාංගනී නමැති 45 හැවිරිදි දෙදරු මවකි.

මෝටර් රථය ඔයට පෙරළෙන අවස්‌ථාවේ එහි මව පියා ඔවුන්ගේ කුඩා දියණිය හා ඇගේ සීයා ගමන් කොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

නොනැවතී පැවැති අධික වර්ෂාවත් සමග පහළට වැටී ඇති මෝටර් රථයේ සිටි පිරිස ඉවතට ගැනීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක්‌ ගෙන තිබුණි.

කඹ දමා ලොරියක ආධාරයෙන් මෝටර් රථය ඇළ ඉවුරට ගෙන තිබේ. පසුව පිරිස ඉවතට ගැනීම සඳහා ලොක්‌ වී තිබූ එක්‌ දොරක්‌ ඉතා අපහසුවෙන් විවෘත කොට ඇත. කුඩා දියණිය සීයා හා ඇගේ පියා ඉවතට ගත්තද ජල පහරේ සැර නිසා කඹය කැඩී එහි සිරවී සිටි කුඩා දියණියගේ මව මෝටර් රථය සමග පහළට ගසාගෙන ගොස්‌ ගල් ඇන්දක හිරවී ඇත.

අධික බෑවුම නිසා එම ස්‌ථානයට ළඟා විය නොහැකි වූ අතර තවත් කඹ කීපයක්‌ රැගෙන විසිපස්‌ දෙනකු පමණ එම ස්‌ථානයට ගොස්‌ මෝටර් රථයේ සිරවී සිටි කාන්තාව ඉවතට ගෙන රෝහලට ගෙන ගියද ඇය මියගොස්‌ තිබුණි.

ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන්ගත් වෙනත් වාහනවල පිරිස්‌ හා පොලිසිය එක්‌වී පැයක පමණ කාලයක්‌ මෙම කාන්තාව ගොඩ ගැනීම සඳහා වෙහෙස මහන්සි වී තිබුණි.

අනතුර සිදුවූ ස්‌ථානයේ සවිකර තිබූ ආරක්‍ෂිත වැට මාර්ග සංවර්ධන නිලධාරීන් විසින් ගලවාගෙන ගොස්‌ ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙම වසරේදී පමණක්‌ මෙම ස්‌ථානයේ අනතුරු 3 ක්‌ සිදුව ඇති බවද ඔවුහු සඳහන් කරති.

මෙම මෝටර් රථය මියගිය කාන්තාවගේ සැමියා පදවාගෙනවිත් ඇති අතර ඔහුට නින්ද යැම නිසා මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.

 

සුරංග දිල්හාන්car (1)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY