කළුඑබේ සිව්දරු මව ඝාතනය

 

මුදාහැර සිටි එළගවයන් රැගෙන ඒමට ගලෙන්බිඳුණුවැව කළුඑබේ ඔය අසල වනයට ගොස්‌ සිටියදී අතුරුදන් වූ හතළිස්‌ නව හැවිරිදි සිව්දරු මවගේ ගෙල කපා ඝාතනය කොට කළුඑබේ ඔයේ දියමත පාකර හරිනු ලැබූ බව කියන සැකකරු ගලෙන්බිඳුණුවැව පොලිසිය මගින් පෙරේදා (24 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

ගලෙන්බිඳුණු වැව, මෙගොඩවැව, කළුඑබේ ප්‍රදේශයේ පදිංචිව සිටි ටී. බී. චන්ද්‍රවතී නමැති එම කාන්තාව ගෙල කපා ඝාතනය කොට ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබිණි.

එම කාන්තාව සිය ගවයන් රැගෙන ඒමට කළුඑබේ ඔය අසල පිහිටි වනයට ඉකුත් 20 වැනිදා ගිය අවස්‌ථාවේ අතුරුදන්ව සිටි අතර පසුව ඉකුත් 23 වැනිදා ඇගේ සිරුර කළුඑබේ ඔයේ පාවෙමින් තිබියදී පොලිසිය විසින්  ගොඩගනු ලැබීය.

ඉන් අනතුරුව සිදු කළ විමර්ශනවලට අනුව ගලෙන්බිඳුණුවැව, පොලිසිය විසින් කළුඑබේ ප්‍රදේශයේ පදිංචි පනස්‌තුන් හැවිරිදි විවාහක පුද්ගලයකු වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු කලක සිට ඝාතනයට ලක්‌වූ කාන්තාව සමඟ ඇසුරක්‌ පවත්වා ගැනීමට දැරූ ප්‍රයත්නයක්‌ අසාර්ථක වීම නිසා ඉකුත් 20 වැනිදා ගවයන් රැගෙන ඒමට කළුඑබේ ඔය අසල වනයට ගිය අවස්‌ථාවේ ඇය පසුපස හඹා ගොස්‌ ලිංගික අතවර කිරීමට උත්සාහ කර තිබේ.

එම අවස්‌ථාවේ ඔහුගෙන් බේරුණු ඇය ඒ පිළිබඳව තම සැමියාට සහ පොලිසියට පැමිණිලි කරන බව පැවැසීම නිසා තම සන්තකයේ තිබූ උල්පිහියෙන් ගෙල කපා ඇය ඝාතනය කොට කළුඑබේ ඔය දිගේ ඇදගෙන ගොස්‌ මළ සිරුර ඔයේ ඉවුරේ සැඟවූ බව සැකකරු පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කොට ඇත.

සැකකරු විසින් එම කාන්තාව ඝාතනය කිරීමට භාවිත කළ උල් පිහියද පොලිසිය භාරයට ගෙන තිබේ.

 

පර්සි කුරුනේරු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY