රාගමදී දුම්රිය රියෑදුරුට පහර දුන් සිවුදෙනා අල්ලන්න පරීක්‌ෂණ

රාගම දුම්රිය ස්ථානයේදී දුම්රිය නවතා ගෙන රියදුරු අසුනේ අසනීප තත්ත්වයෙන් සිටි රියදුරු අධික ලෙස බීමත්ව ඇති බවට වරදවා වටහාගෙන ඔහුට පහරදී දුම්රිය නියමු කුටියට හා මැදිරිවලට අලාභ සිදු කරමින් දුම්රිය මගීන් හැසිරුණු ආකාරය නොමනා ක්‍රියාවක් බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාගම දුම්රිය ස්‌ථානයේදී දුම්රිය රියෑදුරකුට පෙරේදා (23 වැනිදා) රාත්‍රි පහර දීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

රියෑදුරුට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිසිය ලබාදුන් පොරොන්දුව මත ඊයේ පෙරවරුවේ සිට ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය දහවල් වන විට නතර කිරීමට වෘත්තීය සමිති කටයුතු කර තිබිණි.

දුම්රිය මගින් පිරිසකගේ පහර කෑමට ලක්‌වූ 63 හැවිරිදි කේ. ඒ. ඩී.ටී. දසනායක මහතා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පහරකෑමට ලක්‌වූ දුම්රිය රියෑදුරු සිද්ධිය වූ අවස්‌ථාවේ බීමත්ව නොසිටි බවත් ඔහු ඒ අවස්‌ථාවේ දැඩි රෝගී තත්ත්වයකින් සිට ඇති බවත් වෛද්‍ය පරීක්‌ෂණයකින් අනාවරණය වී තිබිණි.

දුම්රිය රියෑදුරු විශ්‍රාම යැමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත රාජකාරි කළ අයකු බව පොලිසිය පවසයි.

රෝගී තත්ත්වයෙන් පෙළෙන විශ්‍රාමිකයන් දුම්රිය රියෑදුරු තනතුර සඳහා බඳවා ගැනීම දහස්‌ ගණන් මගී ජනතාවගේ ජීවිතවලට ද දැඩි අවධානමක්‌ බව මගී ජනතාව පවසති.

කොළඹ කොටුවෙන් සවස 6.50 ට ගමන් ආරම්භ කළ ශීඝ්‍රගාමී දුම්රිය රාත්‍රි 7.25 ට රාගම දුම්රිය ස්‌ථානයට ළඟාවී තිබේ.

එහිදී රාගම දුම්රිය ස්‌ථානාධිපතිවරයා මෙම රියෑදුරුට දැනුම් දී ඇත්තේ දුම්රිය ශීඝ්‍රගාමීව ධාවනය නොකර සෑම දුම්රිය ස්‌ථානයකම නතර කර ධාවනය කළ යුතු බවයි.

දුම්රිය ස්‌ථානාධිපතිවරයාගේ නියෝගයට විරුද්ධ වී ඇති රියෑදුරු එම දුම්රිය මන්දගාමීව ධාවනය කරන්නේ නැති බව පවසමින් දුම්රිය එංජිම කොටසේ වාඩි වී හිස බිමට හරවාගෙන සිට ඇත.

දුම්රිය ප්‍රමාදය ගැන කෝපයට පත්ව සිටි මගීන් රියෑදුරු දුම්රිය එංජිමේ බීමත්ව සිටින බව සිතා ඔහුට විරෝධය පළ කර ඇත.

ඒ අවස්‌ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය මත කිහිප දෙනෙක්‌ රියෑදුරුට පහර දී තිබේ.

අධික රුධිර පීඩනය සහ ශරීරයේ සීනි ප්‍රමාණය ඉහළ යැම නිසා දැඩි ලෙස රෝගීව සිට ඇති රියෑදුරු පහර කෑමෙන් පසු දැඩි අසීරුතාවට පත්ව ඇත.

පසුව දුම්රිය සේවකයන් විසින් ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී කළ වෛද්‍ය පරීක්‌ෂණ වලින් හෙළිවී ඇත්තේ රියෑදුරු අධික රුධිර පීඩනයෙන් සහ දැඩි උණ රෝගයෙන් පෙළෙන බවයි.

ඒ වනවිට පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ දුම්රිය ධාවනය ඇන හිට තිබූ අතර අනුරාධපුර, බදුල්ල සහ දුර බැහැර ප්‍රදේශ බලා ධාවනය වීමට නියමිත තවත් දුම්රිය රැසක්‌ රාගම දුම්රිය ස්‌ථානයට ආසන්නයේ නතර කර තිබී ඇත.

මගීන් පහන්දහසකට අධික ප්‍රමාණයක්‌ ඒ වනවිට රාගම දුම්රිය ස්‌ථානයේ සහ ආසන්නයේ නතර කර තිබූ දුම්රිය වල සිටියහ.

මෙම සිද්ධිය සැලවූ වහාම කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරි එච්. කේ. ආර්. ඒ. ගුණරත්න, රාගම පොලිස්‌ ස්‌ථානාධිපති ජී. කේ. හෙට්‌ටිආරච්චි මහත්වරු ඇතුළු නිලධාරීන් රාගම දුම්රිය ස්‌ථානය වෙත යවා ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

රියෑදුරකු නොමැති වීම නිසා රාගම දුම්රිය ස්‌ථානයේ නතර කර තිබූ කොළඹ කොටුවේ සිට රඹුක්‌කන බලා ධාවනය වන දුම්රියට වෙනත් රියෑදුරකු යොදවා එය පිටත් කර හැරීමට පසුව කටයුතු කර තිබේ.

 

හේමන්ත රන්දුණු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY