නව රජයේ මංගල අයවැයට පක්ෂව ඡන්දය දෙමින්, රජයට එක්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සූදානමින් සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. එම මන්ත්‍රීවරු සිව්දෙනාගෙන් එක් අයෙකු “මහින්ද සමග නැගිටිමු” ව්‍යාපාරයේ සිටි සාමාජිකයෙක් බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

        ඔවුන් රජයට එක්වීමට ඇති සූදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා සමග මේ වන විට සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති අතර, මලික් සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දී  ඇත.
අදාළ මන්ත්‍රීවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම මත යහපාලන රජයට එක්වනවාට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නැති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මෙලෙස ආණ්ඩුවට එක්වීමට නියමිත එක් මන්ත්‍රීවරයෙකුට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීමටද නියමිතව තිබේ.

ප්‍රධාන පක්ෂ දෙක අතර ජාතික රජයක් සඳහා ඇතිකර ගත් එකඟතාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි අමාත්‍ය ධුර කෝටාවට අනුව අදාළ කැබිනට් අමාත්‍ය ධුරය පිරිනැමීමට නියමිතව ඇත. මෙලෙස  එක්වන තවත් මන්ත්‍රීවරයෙකුට නියෝජ්‍ය  ඇමැති ධුරයක් දීමට නියමිත අතර ඉතිරි දෙදෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකුට දිස්ත්‍රික්  සංවිධායක කමිටු සම සභාපති ධුරයක් දීමට නියමිතව ඇත.
අදාළ මන්ත්‍රීවරු රජයට එක්වීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා  කිරීමට ද නියමිතව ඇත.

මේ අතර අයවැයට පක්ෂව ඡන්දය දෙමින් රජයට එක්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත්‍රීවරයෙකු කළ ඉල්ලීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්‍ෂේප කර තිබේ.
කුමන හේතුවක් මත හෝ අදාළ මන්ත්‍රීවරයා ජාතික රජයට එක්කර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ මන්ත්‍රීවරයා රජයට එක්වීම සම්බන්ධයෙන් එ.ජා.ප. සභාපති මලික් සමරවික්‍රම මහතාගෙන් අවස්ථා තුනකදී ඉල්ලීම් කර ඇති අතර තෙවන වතාවටද ඉල්ලීම්  කළ පසු සමරවික්‍රම මහතා ඒ බව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත. ඔහු යහපාලන රජයට කිසිලෙසකින්වත් ගැළපෙන්නේ නැති බැවින් අදාළ මන්ත්‍රීවරයා රජයට එකතු කර නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY